මට දෙක වසරෙ ඉඳලා ගෑනු ළමයි හිටියා - රුවන් වික්‍රමසිංහ

Friday, January 15, 2021 , 0 Comments

 


රුවන් වික්‍රමසිංහ මේ රටේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු පසුගිය දිනක පිය පදවිය ලැබුවා. ඔහු ඔහුගේ අතීතය ගැන පුවත්පතකට පවසා තිබුනේ මේ ලෙසයි.


ඉතිං රුවන් කොහොමද ජිවිතේ?

මට නම් මේ අවුරුද්ද අභියෝගයක් විදිහට දැනෙන්නේ නැහැ අලුත් බලාපොරොත්තු නම් තියනවා. මගේ පුංචි පුතාට තාම මාස හයයි. එයාගේ දේවල් සම්බන්ධයෙන් සිහින ටික මේ අවුරුද්දේ තියනවා. එයා ඉක්මන්ට ඇවිදිනවා නම්, කතා කරනවා නම් වගේ බලාපොරොත්තු ටිකක් තියෙනවා. ඒ ඇරුණුකොට මේ අවුරුද්දට මට අභියෝග කියලා ලොකු දේවල් නැහැ.


ඒ කියන්නේ දැන් රුවන් යන්න ඕනේ ඉහළම මට්ටමට ඇවිත්?

මම ලද දෙයින් සතුටට පත්වෙන ජාතියේ මනුස්සයෙක්. මට ලොකු අහස් මාළිගා නැහැ. මට සතුටු වෙන්න පුළුවන් මට්ටමේ දේවල් ටිකක් ලැබුණා නම් මට ඒ ඇති. තව තව දේවල් ඕනේ කියලා පොදි ගහගන්න කෙනෙක් නෙමෙයි නිසා මට ජීවත් වෙන්න පහසුයි. 


පොඩි කාලේ රුවන්මග ජීවිතයේ අභියෝග ගැන කතා කරමු? 

මට පොඩි කාලේ ප්‍රශ්න එන්න ඇති. ඒත් ඒවා මට දැනිලා නැහැ. මගේ අම්මා, තාත්තා, අයියා, අක්කාලා තුන්දෙනා ඒ ප්‍රශ්න ආවරණය කරගෙන හිටියා. අපි ගත කරපු දුප්පත් පවුල් පරිසරය අස්සේ එයාලා මට දෙන්න පුළුවන් උපරීම සුඛෝපභෝගී ජීවිතය දුන්නා. මම පවුලේ බාලයා සහ මම පොඩි කාලෙ ඉඳන් ඉගෙනීමට දක්ෂයි. ඒ නිසා මට යම් අවධානයක් තිබුණා. අපි හිටපු පරිසරය ටිකක් වෙනස්. මම ඉපදුණේ නාරහේන්පිට දාඹරේ මාවතේ. ඒකට කියන්නේ මහවත්ත කියලා. මම පොඩි කාලේ ඒ පැත්තේ චන්ඩි එහෙම හිටපු ටිකක් බරපතළ පැත්තක්. ඝෝෂාකාරී, මිනිස්සු නිතරම ගැවසෙන, හරීම නාගරික පරිසරයක තමයි මම හැදුණේ. මගේ අම්මට අකුරු ලියන්න කියවන්න බැහැ. මගේ තාත්තා වෘත්තීය රියැදුරෙක්.  තාත්තට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනම කතා කරන්න පුළුවන්. ඒක යම්කිසි විදිහට බලපෑවා. මම ඉගෙනගත්තේ ගෙවල් ළඟම ඉස්කෝලෙ. නාරහේන්පිට ශ්‍රී පරාක්‍රමබාහු විද්‍යාලයේ. මගේ අම්මාට අකුරු ලියන්න කියන්න බැරි වුණාට, මට පොඩි කාලේ අකුරු කියලා දුන්නේ අම්මා. මම පෙරපාසල් ගියේ නැහැ .හෝඩිපොත තියාගෙන අයන්න ආයන්න කියලා අනිත් අය කියන හුරුවට අම්මා මට උගන්නලා තියෙන්නේ. මම හරිම ගෞරවයෙන් ඒක මතක් කරනවා. එක වසරේ ඉඳලා මම ඉගෙන ගන්න දක්ෂයි. ශිෂ්‍යත්වේ පාස්වෙලා මම කොළඹ රාජකීය විද්‍යාලයට ගියා.



රුවන්ට රාජකීයන් අභියෝගයක් වෙන්නැති?

අන්න එතන තමයි මගේ හැරවුම් ලක්ෂය. එතනදී තමයි මට ජීවිතයේ බර දැනෙන්න ගත්තේ. පොඩි කාලේ ඉඳලම මම හරිම විනෝදෙන් ගත කළේ. මොකද මගේ වටේ හිටියේ මම වගේම ළමයි ටිකක්. මම වගේම ආර්ථික මටිටමි අධ්‍යාපන මට්ටම් සමාන ළමයි ටිකක් මම ඇසුරු කළේ. රාජකීය විදයාලයට ගියාම ඒක සම්පූර්ණයෙන් වෙනස් වුණා. අපි ලෝක දෙකක ළමයි. මගේ වාසනාවට ශිෂ්‍යත්වේ පාස් වෙලා දුර පළාත්වලින් ආපු මම වගේම දුප්පත් ළමයි ටිකක් හිටියා. මම හය වසරේ ඉඳලා විශ්වවිදයාලය ඉවර වෙනකන්ම ඉගෙනගත්තෙ රජයේ සල්ලිවලින්. රාජකීය විද්‍යාලයට ගිය පළමු වසරේදීම ඉංග්‍රීසි උගන්වපු සර් ඉංග්‍රීසි නොතේරුණු නිසා නිශ්ශබ්දව හිටියා කියලා මාව පන්තියෙන් එළියට දැම්මා. එදා මම හිතුවා ඉංග්‍රීසිවලින්ම තමයි මම කවදාහරි "වැඩි දෙන්නෙ" කියලා. මම අද වෙනකොට ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඒ වගේම තව දෙයක් තියෙනවා. මගේ පන්තියේ ළමයි පාවිච්චි කරපු පෑන්, පැන්සල්වලට වඩා මම පාවිච්චි කරපු ඒවා වෙනස්. මගේ අයියලා අක්කලාට හම්බෙන ලස්සන පෑන්, පැන්සල්, පොත් ඔක්කොම නොමසුරුව මට දීලා පරණ දේවල් එයාලා පාවිච්චි කරනවා. සපත්තු මට දීලා එයාලා සෙරප්පු දානවා. ඒ කාලේ මට හිතුණා මිනිස්සු මනුස්සකමින් උගත් වෙන්න ඉගෙන ගන්න ඕනේ නැහැ කියන එක. ගෙදර සහ වටපිටාවේ අය මට ඉගෙනගන්න පරිසරය හැදුවා. ඒ හරහා ටික ටික ඉගෙන ගෙන ජීවිතාවබෝධයක් එක්ක වෙනස් විදිහේ කෙනෙක් වුණා. මම උසස් පෙළ කරලා ගෙදර ඉන්න කාලේ තාත්තා ලෞඩ ඇඳට වැටුණා. එතකොට අයියලා අක්කලා ඔක්කොම විවාහ වෙලා. මටයි අමිමාටයි තමයි හැමදේම කරන්නෙ වුණේ. මගේ අම්මා බත් පැකට්, කොළකැඳ විකුණලා තියෙනවා, ඒ හැමදේටම අම්මාට මම උදවු කළා. උදේ ඉස්කෝලේ යන්න කලින් කොළකැඳ ගෙවල්වලට බෙදලා මම ඉස්කෝලෙට ගියේ. අපේ පුංචි ගෙදර පාඩම් කරන්න ඉඩ නැහැ. අම්මා මට කලින් නිදාගන්න කියලා, ගෙදර අය නිදාගත්තාම නැගිට්ටවලා පාඩම් කරන්න කියනවා. ගෙදර ඉස්සරහා ටීවී එක දැම්මම, කුස්සියට ගිහිල්ලා අම්මා වැඩ කරන තැන ඉඳන් මම පාඩම් කළේ. 


විශ්වවිද්‍යාල අත්දැකීම වෙනස් ඇති? 

මම කොළඹ විශ්වවිදයාලයේ විදයා පීඨයේ. ඒ කාලය වෙනකොට යම් යම් දේවල්වලින් මගේ ජීවිතය යකඩයක් වගේ හොඳ පන්නරයක් ලැබුවා. විශ්වවිද්‍යාලයට එනකොට මට ආර්ථික ප්‍රශ්න කියන ඒවා මහලොකු නැහැ. උසස් පෙළින් පස්සේ මම ටියුෂන් පන්ති කරන්න පටන් ගත්තා. මම ඉස්සෙල්ලම ටියුෂන් කළේ තාත්තගේ බොගෙ ළමයින්ට. ඒක මට ලොකු ආඩමිබරයක් වුණා. මම එයාලට ඉංග්‍රීසියෙන් සිංහල ඉගැන්නුවා. විශ්වවිදයාලය කාලෙත් මම ටියුෂන් පංති කළා.  


ඒ කාලේ ජීවිතයේ තිබුණු ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

 පුළුවන් තරම් අමිමාටයි තාත්තටයි සැප දෙන එක තමයි ඒ කාලේ බලාපොරොත්තුව. මම විශ්වවිදයාලයට යද්දි අම්මගේ කනේ කරේ එක රත්තරන් බඩුවක්වත් නැහැ. තාත්තාත් ලෙඩ වෙලා. මට ඕනේ වුණා අම්මාව රත්තරනින් වහන්න. මගේ අම්මා මැරෙනකොට රත්තරන් පුරෝගෙන හිටියේ. මම රස්සාවක් කරලා පළමුවෙනි පඩියෙන් කළේ අම්මාටයි තාත්තටයි මුදු දෙකක් අරන් දීපු එක.



ඒ කාලේ ප්‍රේම සබඳතාත් තියෙන්න ඇති? 

මට දෙක වසරෙ ඉඳලා ගෑනු ළමයි හිටියා. ඒ කාලේ මට ප්‍රශ්න දැනුනෙත් නැහැනේ. මම ගිය පොඩි ඉස්කෝලේ මට කැමැත්තක් තිබුණා අසරා කියලා ගෑනු ළමයෙක් ගැන. එයා එයි කියලා ඉක්මනින් දත් මදින්නේ නැතුව ඉස්කෝලේ ගියා මම. ශිෂ්‍යත්වෙන් පස්සේ මම එයා ගැන දන්නේ නැහැ. ඉන්පසුව මට ජීවිතයේ විවිධ කාලවල ගෑනු ළමයි හිටියා. විශ්වවිදයාලයට යනකොට මම තදින්ම තීරණය කළා එහෙදි ප්‍රේම සබඳතා ඇති කරගන්නේ නැහැ කියලා. තාත්තා ලෙඩ වීමත් එක්ක මගේ අරමුණ වුණේ තාත්තා නැති වෙන්න කලින් එයාට සැප දෙන්න ඕනේ කියන එක. ඒ කාලේ මට ගෑනු ළමයෙක්ට වැය කරන කාලය තිබුණේ නැහැ.


ඒ වෙද්දි රුවන් හොඳ ආර්ථික මට්ටමක ඉන්න ඇති? 

ඉතුරු කරන්න මට ලොකු පුරුද්දක් තිබුණෙ නැහැ. මම හම්බ කරපු දෙය මගේ පවුලෙ හැමෝටම වියදම් කළා. විශ්වවිද්‍යාලෙ ඉවර වෙද්දී අපි හොදට කාලා බීලා අම්මාව වන්දනා ගමන් යවලා හොඳට හිටියා. විශ්වවිද්‍යාල ඉවරවෙලා රස්සාව කරලා අවුරුදු තුනකින් මම අම්මට ඕන හැම රත්තරන් බඩුවක් හදලා දුන්නා. අල්මාරියක් අරගෙන සාරිවලින් ඒ අල්මර්යම පුරවලා දුන්නා. තාත්තාටත් එහෙමම කළා. අපේ ගෙදරට ඕන්නේ හැම විදුලි උපකරණයන්ම මගේ සල්ලිවලින් ගත්තේ. මගේ තාත්තා ජීවිතේට නැෂනල් එකක් ඇඳලා තිබුණේ නැහැ. තාත්තාගේ බලාපොරොත්තුව වුණේ එයාගේ මිනියට නැෂනල් එක අන්දවන එක. ඊට කලින් මම ඉංග්‍රීසි මාධ්‍යයන් අභිධර්මය ඩිප්ලෝමාවක් හදාරලා ලංකාවෙන්ම පළමුවැනියා වෙලා ඒ උපාධි ප්‍රදානෝත්සවයට යන අම්මාට සුදු ඔසරියකුයි තාත්තාටයි නැෂනල් එකයි අදීන්න ඕනේ වුණා. මම ඒ ඇඳුම් ලෑස්ති කරලා දුන්නා. ඒ උත්සවයට කලින් දවසේ තාත්තා නැති වුණා. ඒ නැෂනල් එක තමයි තාත්තාගේ මිනියට ඇන්දුවේ. මම ඒ සම්මානය ගන්න ගියේ තාත්තගේ මිනිය ගෙදර තියාගෙන.



රංගන ජීවිතයත් රුවන්ට අභියෝගයක් වෙන්න ඇති?

කලාව කියන එක සමාජීය වශයෙන් ගත්තාම, ඒක බොහොම හොඳ මිනිස්සු ඉන්න සමාජයක්. මගේ පළමුවැනි ටෙලිනාට්‍ය බොහොම සැහැල්ලුවෙන් සතුටින් වැඩ කළා. ඉන්පසුව මං ගැන මිනිස්සු ටිකක් කතා කරන්න ගත්තම මට තේරුණා ස්ත්‍රිය ඇතුළේ පොඩි කැපිල්ලක් එනවා කියලා. ඒ කාලේ මම රඟපෑම කළේ රැකියාවත් එක. රසාවයි රඟපෑමයි වසර තුන හමාරක් කළා. මම හොඳට චරිත කරපු නිසා රසාව කරළිත් වරුවෙන් මාව රගපාවවන්න බලාගෙන අධ්‍යක්ෂවරු හිටියා. ඒ වගේම මම ප්‍රතිපත්තියක් විදිහට කලා ක්ෂේත්‍රය තුළ ගැන්සිවල ඉන්නේ නැහැ. කාටත් මම පණ දෙන්න තරම් ආදරෙයි. ඕනේ උදවුවක් කරනවා. ඒත් මම ඒ යාළුකම් ගෙදර අරන් ආවේ නැහැ. රංගන ජීවිතයේ චරිත ගත්තාම මට අභියෝගයක් වුණේ වාහන පදවන්න තිබුණු චරිත. මට ලැබුණේම සල්ලිකාර චරිත. ඒත් මට වාහන පදවන්න බැහැ මම මන්ම කියලා වාහනයක් අරන් පදවන්න ඉගෙනගන්නවා කියලා පරමාර්ථයක් ඒ කාලේ තිබුණා. ඒත් මට ආපු ච හැම එකම සල්ලිකාර චරිත. ඒවායේදී වාහන පදවලා මගෙ අතින් ගොඩක් අනතුරු වෙන්න ගිහින් තියෙනවා. තවත් අවස්ථාවක මම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන ගිහිල්ලා වරද්දගත්තා. නිෂ්පාදන කාර්යය ගැන දන්නේ නැතුව මම ටෙලිනාට්‍යයකට විශාල මුදලක් ආයෝජනය කරලා ඒ සල්ලි වතුරේ ගියා. අදටත් මම ඒ ගැන පසුතැවෙනවා. එතකොට එකසැරේම මගේ සමේ පැහැය කළු වෙන්න ගත්තා. මානසික පීඩනයත් එක්ක මගෙ මුළු ස්වරූපයම වෙනස් වුණා. ඒ නිසා මම ඒ කාලේ කරපු චරිත ටික කරලා ටිකෙන් ටික රංගනයෙන් ඈත් වුණා. මම ක්ෂේත්‍රය ගැන ටිකක් කලකිරුණා. "ඔය ජනප්‍රියත්වය කියන එක තාවකාලිකයි. ඔයාගෙන් පස්සේ ඔය චරිතවලට වෙන කෙනෙක් එනවා" කියන එක මගේ අම්මා මුල ඉඳන්ම කිව්වා. ඒ කාලේ මම ඉක්මනින් ටියුෂන් පන්ති නැවත ආරම්භ කළා. ඒක මම අදටත් කරගෙන යනවා.


ඒ කියන්නේ රුවන්ගේ ජීවිතේ පාර කියන තාරකාව වුණේ අම්මා? 

මගේ අම්මා දැන් ජීවතුන් අතර නැහැ. ඒත් අම්මා මම මැරුණට පස්සේ කරන්න ඕන දේවල් ටිකත් මට උගන්වලා තමයි ගියේ. අද මම මගේ මළමිනියත් ආයුර්වේද වෛද්‍ය පීඨයට ලියලා ඉවරයි. මගේ අම්මාත් එයාගේ මිනිය එහෙම ලිව්වා. මම ඉපදුණ දවසේ ඉඳන් අම්මා මට කියලා දුන්න දේවල් එක්ක මට දැන් හිතෙනවා කොච්චර දේවල් නම් අමිමා සමාජය ගැන දන්නවද, දුර හිතලා තියෙනවාද කියලා. මම මැරුණාට පසුව මට මොකක්ද වෙන්නේ කියලාත් මම දැන් දනවා.