ජිගලෝ’ සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ දුන් රැන්ඩි සෙනෙවිරත්න

gossiplanka image 1
  සිනමාව යනු හුදෙක් රූප රාමු එකතුවක් පමණක් නොව, මිනිස් ජීවිතයේ සැඟවුණු පැතිකඩ නිරාවරණය කරන මාධ්‍යයකි. සමාජය විවෘතව කතා කිරීමට මැළි වන මාතෘකා තිරයට ගෙන එමින් ප්‍රේක්ෂක අවධානය දිනාගත් ‘ජිගලෝ’ (වේසාවා) සිනමාපටය හරහා රැන්ඩි සෙනෙවිරත්න මේ වන විට ප්‍රේක්ෂක අවධානයට ලක්ව සිටියි. ඔහු නවක රංගන ශිල්පියෙකු ලෙස පමණක් නොව, අභියෝගාත්මක චරිතයක් තුළින් සිය රංගන හැකියාව පෙන්වූ කලාකරුවෙකු ලෙසද කැපී පෙනෙයි.


සමාජයේ බොහෝ දෙනා විවෘතව කතා නොකරන ජීවන යථාර්ථයක් නිරූපණය කරමින් ‘ජිගලෝ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන රැන්ඩි, මෙහිදී ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු සමඟ රංගනයෙන් එක්වෙයි. ආදරය, ආර්ථික අර්බුදය, සමාජයේ සැඟවුණු යථාර්ථයන් සහ අබිරහස් මරණයක් වටා ගෙතුණු මෙම සිනමා නිර්මාණය පිළිබඳව සහ සිය ජීවිතයේ තොරතුරු පිළිබඳව රැන්ඩි සෙනෙවිරත්න සමඟ පැවති සංවාදයකි මේ.


මේ ඔබ සිනමාපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරන පළමු අවස්ථාවද?


ඔව්. මීට පෙර ජැක්සන් ඇන්තනීගේ ‘ඇඩ්‍රස් නෑ’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මහ රජ ගැමුණු’ යන සිනමා නිර්මාණවලට සහ ‘Girls & Boys’ ටෙලිනාට්‍යය ඇතුළු නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වීමට මට අවස්ථාව ලැබුණි. පාසල් සමයේදී මම නාට්‍යවල රඟපා ඇති අතර පිටපත් රචනයේ සහ අධ්‍යක්ෂණයේද නිරත වුණෙමි. මයික්‍රෆෝනය අතට ගතහොත් බිම නොතබන තරමටම නිවේදන අංශයෙන්ද කැපී පෙනුණෙමි. ක්‍රීඩාව, කලාව සහ අධ්‍යාපනය යන සියල්ලම සමබරව කරගෙන ගිය අතර, ප්‍රධාන චරිතයක් රඟපෑමට අවස්ථාව ලැබුණු පළමු අවස්ථාව මෙයයි.


‘ජිගලෝ’ චිත්‍රපටයේ මහේන්ගේ චරිතය ඔබට දැනෙන්නේ කෙසේද?


ශ්‍රී ලංකාව වැනි රටවලට තරමක් නුහුරු වුවද විදේශීය රටවල ‘ජිගලෝ’ යනු නීත්‍යනුකූලව සිදු කෙරෙන වෘත්තියකි. මෙහිදී සිදුවන්නේ පිරිමින් ගණිකා වෘත්තියේ නියැළීමයි. මහේන් යනු කුතුහලයෙන් පිරි චරිතයකි. ඔහු මුදල් ඉපයීමේ අරමුණින් රංගනයට පිවිසෙන අතර ව්‍යායාම මධ්‍යස්ථානයක සේවය කරන්නේද එම පරමාර්ථයෙනි. අවසානයේ ඔහු ජිගලෝ කෙනෙකු ලෙස කටයුතු කිරීමට පෙලඹෙයි. මවක්, පුතෙක් සහ ඔහුගේ පෙම්වතිය යන චරිත වටා ගෙතෙන මෙම කතාව මිනීමැරුමක් සොයා යන ගමනක් ලෙස දිගහැරෙයි.


මෙම සිනමා නිර්මාණයට ඔබට ආරාධනා ලැබුණේ කෙසේද?


මම පවත්වාගෙන යන ව්‍යායාම මධ්‍යස්ථානයේ කටයුතු සඳහා උදාර පල්ලියගුරු මහතා සම්බන්ධ වෙයි. ඒ හරහා අප අතර හිතවත්කමක් ගොඩනැඟී තිබුණි. මම රංගනයෙන් දායක වූ ‘මන්දාකිණි’ සංගීත වීඩියෝව ඔහු නරඹා තිබූ අතර, එය දැකීමෙන් පසුව ඔහු මට කතා කළේය. මහේන්ගේ චරිතය සඳහා මාව තෝරා ගත්තේ ඔහුයි. ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු සමඟ රඟපෑම මෙම චිත්‍රපටයේදී මට තිබූ ප්‍රධානම අභියෝගය විය. මෙය ස්වතන්ත්‍ර කතා තේමාවක් වන අතර විදෙස් රටකවත් මෙවැනි කතාවක් නිර්මාණය වී නොමැත. ඒ නිසා මට එම කතාව පිළිබඳව දැඩි කැමැත්තක් ඇති විය.


මේ වන විට ලැබෙන ප්‍රතිචාර කෙසේද?


ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙයි. මේ පිළිබඳව පළමු ප්‍රතිචාරයම ලැබුණේ රංජන් රාමනායක මහතාගෙනි.


රැන්ඩි සෙනෙවිරත්න යනු කවුද?


මම මාව හඳුන්වා දෙන්නේ ව්‍යවසායකයෙකු සහ ෆිට්නස් මාකටර්වරයෙකු ලෙසයි. මම මුලින්ම කායවර්ධනය පිළිබඳව ඉගෙන ගත්තේ 2003 වසරේදී උපදේශක සුභාෂ් සිරිවර්ධන යටතේය. එදා සිට අද දක්වාම නිවැරදිව ව්‍යායාමවල නිරත වීමට මම වගබලා ගනිමි. මට ඇත්තේ සියයට සියයක්ම ස්වාභාවික සිරුරක් වන අතර ඒ සඳහා කිසිදු ඖෂධයක් හෝ එන්නතක් භාවිත නොකරමි. කායික සහ මානසික නීරෝගිභාවය පවත්වාගෙන යෑමට මම සෑම විටම උත්සාහ කරමි. වෛද්‍යවරුන් රෝග සඳහා ඖෂධ ලබා දෙන අතර කායවර්ධන උපදේශකවරුන් ලෙස අප සිදු කරන්නේ රෝග වැලඳීම වළක්වා ගැනීමයි. නීරෝගී සිරුරක් පවත්වාගෙන යෑමට විශාල කැපවීමක් අවශ්‍ය වන අතර උපතින්ම එවැනි සිරුරක් තිබීම අවශ්‍ය නොවේ. 2009 වසරේදී මම බර ඉසිලීමේ ක්‍රීඩකයෙකු ලෙස නාවික හමුදා කායවර්ධන සංචිතයට එක්වූ අතර ජාතික සංචිතයේද සිටියෙමි. 2012 වසරේදී මම ඉන් ඉවත් වුණෙමි.


ඔබ නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධ වී සිටිනවාද?


නිරූපණ ක්ෂේත්‍රයටද මම පිවිසියේ ෆිට්නස් නිරූපණ ශිල්පියෙකු ලෙසයි. විලාසිතා දැක්මවල් සහ සංගීත වීඩියෝ කිහිපයකටම මම දායක වී සිටිමි. 2012 වසරේ සිටම ෆිට්නස් නිරූපණය හදාරන අතර කායවර්ධනය වෙනම හදාරමි. 2025 මිස්ටර් සෙලිබ්‍රිටි ලෙස තේරී පත්වීමෙන් පසු මිස්ටර් සෙලිබ්‍රිටි ජාත්‍යන්තර තරගයට ඉදිරිපත් වූ අතර, එහිදී රටවල් 130ක් අතරින් හොඳම සිරුර (Best Physique) හිමි තරගකරුවා ලෙස තේරී පත්වී අවසන් දසදෙනා අතරටද පැමිණියෙමි. මිස් ශ්‍රී ලංකා, මිසිස් ශ්‍රී ලංකා, මිස්ටර් ශ්‍රී ලංකා සහ මිස්ටර් ග්ලෝබල් වැනි තරගාවලිවල යෝග්‍යතා උපදේශක (Fitness Consultant) ලෙසත් සෙලිබ්‍රිටි පුහුණුකරුවෙකු ලෙසත් මම කටයුතු කරමි.


ඔබේ බිරිඳ පිළිබඳවත් යමක් සඳහන් කළොත්?


ඇයත් මගේ කායවර්ධන මධ්‍යස්ථානයට පැමිණි කෙනෙකි. ‘මන්දාකිණි’ සංගීත වීඩියෝවේ රඟපෑවේ අප දෙදෙනායි. අපි 2016 වසරේදී විවාහ වූ අතර ඇය ගුවන් සේවා නිලධාරිනියක ලෙස සේවය කරයි.


ENGLISH SUMMARY: Sri Lankan actor, entrepreneur, and fitness marketer Randy Seneviratne recently discussed his first lead cinema role in the Sinhala film Gigolo, where he plays Mahen alongside veteran internationally award-winning actress Neeta Fernando. Centered on love, economic hardship, hidden social realities, and a murder investigation, the film marks a major milestone for Seneviratne, who previously appeared in Jackson Anthony’s Address Na, Jayantha Chandrasiri’s Maharaja Gemunu, and the teledrama Girls & Boys. He was cast by Udara Palliyaguru after appearing in the Mandakini music video, and received his very first positive response from Ranjan Ramanayake. Beyond acting, Seneviratne began bodybuilding in 2003 under Subhash Siriwardena, served in the Sri Lanka Navy bodybuilding pool as a powerlifter from 2009 to 2012, and maintains a completely natural physique. Crowned Mr. Celebrity 2025, he won Best Physique and placed in the Top 10 among 130 countries at Mr. Celebrity International. He also works as a celebrity trainer and fitness consultant for Miss Sri Lanka, Mrs. Sri Lanka, Mr. Sri Lanka, and Mr. Global. Seneviratne married his wife, an aviation officer whom he met at his gym and starred with in Mandakini, in 2016.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post