ඇය රංගනයෙන් දායක වන ප්‍රථම ටෙලිනාට්‍යය මෙය වන අතර, නවකතාවේ එන චරිතයේ නම මෙන්ම ඇගේ සැබෑ නමද මීනා වීම විශේෂත්වයකි. ආශිර්වාදිනි හෙට්ටිආරච්චි සමඟ පැවති සිය පළමු පුවත්පත් සාකච්ඡාවේදී මීනා ශ්‍රී සිය කලා ගමන සහ පෞද්ගලික තොරතුරු පිළිබඳව මෙලෙස අදහස් පළ කර තිබුණි.
මීනාගේ චරිතය ඔබට හිමිවූ ආකාරය කෙබඳුද?
රංගනවේදිනී නිරන්ජනී ශන්මුගරාජා මහත්මිය හරහා තමයි මට මෙම චරිතය ලැබුණේ. දිනක් මට දුරකතන ඇමතුමක් ලබා දුන් ඇය පැවසුවේ ටෙලිනාට්‍යයක් තිබෙන බවත්, එහි ප්‍රධාන නළුවාගේ නැඟණියගේ චරිතය මට හොඳින්ම ගැළපෙන නිසා මාව ඒ සඳහා යෝජනා කරන බවත්ය. මුලින්ම මම සිතුවේ එය සුළු චරිතයක් වනු ඇති කියාය. නමුත් රංග අයියා හමුවූ පසු ඔහු මට මීනාගේ චරිතය පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් සිදු කළා. ජැෆ්නාදරය ටෙලිනාට්‍යය තුළ මීනාට වටිනා චරිතයක් හිමිවන බව ඔහු එහිදී පැවසුවා.
සිංහල ටෙලිනාට්‍යයකදී මට කෙබඳු පිළිගැනීමක් ලැබේවිද, ප්‍රේක්ෂකයන් මාව කෙසේ භාරගනීවිද යන්න පිළිබඳව මට කිසිදු අදහසක් තිබුණේ නැහැ. ඒ නිසා සිතේ පුංචි බියක් සහ චකිතයක් තිබුණා. එහෙත් මුලින් මගේ සිතේ මැවුණු ඒ අදහස් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. 'ජැෆ්නාදරය' ටෙලිනාට්‍යයේ මීනාගේ චරිතයට ඉතා හොඳ පිළිගැනීමක් ලැබුණා වගේම පෞද්ගලිකවත් මට ඉහළ ප්‍රතිචාර ගලා එන්නට පටන් ගත්තා. මෙහි සෑම රූපගත කිරීමක්ම මට විශේෂයි. විශේෂයෙන්ම මම උදැල්ලකින් පහර දීමට යන දර්ශනයක් මෙහි තිබෙනවා. එම කොටස විකාශය වීමෙන් අනතුරුව මම කවුදැයි බොහෝ දෙනා සොයා බලන්නට පටන් ගත්තා. සමාජ මාධ්‍ය ජාල ඔස්සේද ඉතා හොඳ ප්‍රතිචාර සහ පැසසුම් හැම අතින්ම මට ලැබුණා.
වීණා ජයකොඩි වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ රංගනයේ යෙදීමට ලැබුණු අත්දැකීම කෙබඳුද?
මුලින්ම මට යම් බියක් දැනුණා, ඔවුන් මාව කෙසේ පිළිගනීවිද කියා. වීණා ජයකොඩි රංගන ශිල්පිනියට මම කතා කරන්නේ 'අම්මා' කියායි. ඇයත් මාව දියණියක ලෙසින්ම රැකබලා ගත්තා. අප දෙදෙනාට වැඩිපුරම එකට රඟපෑමට අවස්ථාව ලැබුණු අතර, අපි එකම පිඟානේ ආහාර පවා ගත්තා. ඇය සිය අතීත අත්දැකීම් අප සමඟ බෙදාගන්නා අතරම රංගනයට අවශ්‍ය අවවාද හා උපදෙස්ද ලබා දෙනවා. ඇගේ දියණිය වන අංජනා අක්කාත් මට 'තංගච්චි' කියා ආමන්ත්‍රණය කරනවා. ඒ වගේම දුෂේනිත් ඇගේ අත්දැකීම් අප සමඟ බෙදා හදා ගන්නවා.
සුදර්ශන් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන නිසා මම කුඩා කාලයේ සිටම ඔහුව දැක තිබෙනවා. එවැනි වැඩසටහන් ඉදිරිපත් කළ අයෙකු සමඟ රංගනයේ යෙදීමට ලැබීමත් දෛවෝපගත සිදුවීමක්. ඔහුත් මට බොහෝ උදව් උපකාර කළා. මෙහි අධ්යක්ෂ රංග ප්‍රේමරත්න නෞකාවක් මෙහෙයවන නායකයෙකු මෙන් අප සැම සුහද ගමනක් රැගෙන ගියා.
ටෙලිනාට්‍ය ක්ෂේත්රයට අලුත් මුහුණක් නිසා ප්‍රේක්ෂකයන් ඔබ ගැන දැනගැනීමට කැමැත්තෙන් ඇති. මීනා කියන්නේ කවුද?
මගේ ගම පුත්තලම. මම පුත්තලමේ මෙන්ම යාපනයේ පාසල්වලිනුත් අධ්‍යාපනය ලබා තිබෙනවා. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය (බයෝ ටෙක්) අංශයෙන් විභාගයට පෙනී සිට මම ලංකාවෙන්ම සිව්වැනි ස්ථානයට පත්වුණා. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක් හැදෑරීමට මට වරම් හිමිවුණා. නමුත් පසුව තොරතුරු තාක්ෂණ අංශයට එතරම් කැමැත්තක් නොදැක්වූ නිසා මම කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ බාහිර උපාධියක් හැදෑරීම ආරම්භ කළා.
මම මුලින්ම මාධ්‍ය ක්ෂේත්රයට පිවිසියේ නදීක කරුණානායක ප්‍රධානත්වය දැරූ Vtv නාළිකාවේ ප්රවෘත්ති නිවේදිකාවක ලෙසයි. භාෂා දෙකකින් විකාශය වන එම නාළිකාවේ දෙමළ අංශයේ මම සේවය කළා. ඉන්පසුව ලයිකා ප්‍රඩක්ෂන් ආයතනය මඟින් පවත්වාගෙන ගිය Tamil FM ගුවන් විදුලි නාළිකාව සමඟ සම්බන්ධ වුණා. අනතුරුව නිදහස් මාධ්‍යවේදිනියක ලෙස දෙබස් කැවීම්, උත්සව මෙහෙයවීම්, වැඩසටහන් ඉදිරිපත් කිරීම් සහ නිරූපණ කටයුතු සියල්ලම සිදු කළා. වර්තමානයේ මම නේත්‍රා ටීවී නාළිකාවේ සේවය කරන අතර නිර්මාණාත්මක අන්තර්ගතයන් (Content Creation) නිර්මාණය කිරීමේ කටයුතුවලද නිරත වෙනවා.
සිංහල භාෂාවෙන් නිර්මාණය වන නිර්මාණ සඳහා දායක වීමට ඔබ කැමතිද?
ඔව්, මම ඒ සඳහා ඉතා කැමැත්තෙන් සිටිනවා. මට කිසිදු භාෂා භේදයක් නැහැ. මේ වන විට සිංහල ප්‍රේක්ෂකයන් අතරින් මට ඉතා හොඳ පිළිගැනීමක් ලැබී තිබෙනවා.
ඔබ සිංහල භාෂාව චතුර ලෙස හැසිරවීමට හුරුවූයේ කෙසේද?
පාසලේදී දෙවන බස ලෙස මම සිංහල ඉගෙන ගත්තා. ඒ කාලයේ ලියන්න සහ කියවන්න හැකියාව තිබුණත් කතා කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. මගේ පළමු රැකියාව වූ Vtv ආයතනයේ සේවය කරන අතරතුර භාෂා දෙකම කතා කරන පිරිස් සිටි නිසා මම ටිකෙන් ටික සිංහල කතා කිරීමට හුරුවුණා. සිංහල ජනතාව මාව ඉතා සහෝදරත්වයෙන් පිළිගන්නා නිසා මමත් ඉතා කැමැත්තෙන් එම භාෂාව ඉගෙන ගත්තා. මම කැඩුණු සිංහලෙන් කතා කරන විට ඔවුන් චතුර ලෙස සිංහල කතා කරනවා. ඒ හැරුණු විට සිංහල ජනතාව සමඟ වෙනත් කිසිදු භේදයක් මට දැනෙන්නේ නැහැ.
කලා නිර්මාණ සඳහා දායක වීමට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කෙබඳුද?
මගේ පවුලේ අයගේ කිසිදු විරුද්ධත්වයක් නැහැ. අපේ පවුල්වල කිසිවෙකු කලා ක්ෂේත්රයට සම්බන්ධ නැති අතර, අපේ පරම්පරාවෙන් කලා ලෝකයට පිවිසි පළමු තැනැත්තිය මමයි. මමත්, මගේ නැඟණියත්, මල්ලීත් යන තිදෙනාම විශ්වවිද්‍යාල වරම් ලැබූ අය. නැඟණිය රජරට විශ්වවිද්‍යාලයේත්, මල්ලී ත්‍රිකුණාමල විශ්වවිද්‍යාලයේත් අධ්‍යාපනය ලබනවා. අපේ පවුල් අතරින් මුලින්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් ලැබුවේත් අපේ පවුලේ අයයි. මේ වන විට මගේ අම්මාත් මා සමඟ කොළඹ පදිංචිව සිටිනවා.
ENGLISH SUMMARY: Sri Lankan actress and media personality Meena Sri has shared insights into her acting debut and personal background in her first newspaper interview, conducted by Ashirwadini Hettiarachchi. Meena Sri currently portrays the character Meena in the popular Swarnavahini teledrama Jaffnadaraya, directed by Ranga Premaratne and scripted by Aruna Premaratne, based on Priscilla Godahewa's novel inspired by a 1978 true story. Recommended for the role by actress Niranjani Shanmugaraja, Meena Sri gained widespread attention on social media following a dramatic scene involving a hoe. She spoke warmly about acting alongside veteran actress Veena Jayakody, as well as Anjana, Dusheni, and Sudarshan. Originally from Puttalam and educated in both Puttalam and Jaffna, Meena Sri ranked fourth in Sri Lanka in the A/L Bio-Tech stream. After being selected for an IT degree at the University of Colombo, she pursued an external Business Management degree at the University of Kelaniya. Her media career began as a Tamil news anchor at Vtv under Nadeeka Karunanayake, followed by Tamil FM under Lyca Productions, freelance work, and her current role as a content creator at Nethra TV. Fluent in Sinhala through her workplace experiences, she receives full support from her family, with her sister studying at Rajarata University, her brother at Trincomalee University, and her mother currently living with her in Colombo.