ඉන්දියානු සම්භවයක් තිබුණත් හදවතින්ම ශ්‍රී ලාංකිකයි-හමීෂා දේවි

gossiplanka image 1
 මේ දිනවල විකාශය වන ‘මහ උළු ගෙදර’ සහ ‘මානාවාරී’ යන ටෙලිනාට්‍ය ඔස්සේ එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිත දෙකකින් ප්‍රේක්ෂක අවධානය දිනාගෙන සිටින දක්ෂ නවක රංගන ශිල්පිනියක ලෙස හමීෂා දේවි හැඳින්විය හැකිය. රසඳුන පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇය සිය පෞද්ගලික පසුබිම, කලා ගමන සහ ඉදිරි නිර්මාණ පිළිබඳව මෙලෙස අදහස් දක්වා තිබුණි.


හමීෂා දේවි යනු කවුරුන්ද?


මම ශ්‍රී ලංකාව වැනි බහු සංස්කෘතික සමාජයක් තුළ ජීවත් වන, දමිළ ජාතිකයෙකු වුවත් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ ජාතික අනන්‍යතා දෙකක් අතර හැදී වැඩුණු කෙනෙක්. කලාවට බෙහෙවින් ආදරය කරන, කලාව සොයා යන, ඒ වගේම පවුලට ගොඩක් ආදරය කරන කෙනෙක්. මා වටා සිටින සෑම දෙනාම සිනහවෙන් සිටිය යුතු යැයි නිතරම බලාපොරොත්තු වෙනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධිය සම්පූර්ණ කර, මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියක් හැදෑරීමට සූදානමින් සිටින ආධුනික රංගන ශිල්පිනියක් ලෙස මාව හඳුන්වන්න පුළුවන්.


ඔබට ඉන්දියානු සම්භවයක් තිබෙනවා නේද? ඒ පිළිබඳව සඳහන් කළොත්?


ඔව්, මට ඉන්දියානු සම්භවයක් තිබෙනවා. නමුත් එය මට සෘජුවම සම්බන්ධ වන්නේ නැහැ. මගේ පියා ශ්‍රී ලාංකිකයෙක්. ඉන්දියානු පුරවැසියෙකු වන්නේ මගේ පියාගේ පියා, එනම් මගේ සීයායි. ඒ වගේම මගේ මව මුස්ලිම් ජාතික කාන්තාවක් වන අතර පියා හින්දු භක්තිකයෙක්. ඒ නිසා රටවල් වශයෙන් මෙන්ම ජාතීන් වශයෙන්ද මා තුළ සංකලනයක් තිබෙනවා. මම මගේ ජීවිතයේ ඉතාමත් ආදරය කරන සහ කැමැත්තක් දක්වන කොටසක් තමයි එය. සීයා නිසා ඉන්දියානු සම්භවයක් තිබුණත් මම හදවතින්ම ශ්‍රී ලාංකිකයි.


කලා ක්ෂේත්‍රයට පිවිසීමට පෙර ගෙවුණු කුඩා කාලය සහ පාසල් ජීවිතය පිළිබඳ මතකයන් මොනවාද?


මම පාසල් තුනක අධ්‍යාපනය ලැබුවා. ඒ ශ්‍රී රේවත රාජකීය විද්‍යාලය, මහරගම මධ්‍ය මහා විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලයයි. උසස් පෙළ හැදෑරීම සඳහා මම ලුම්බිණි විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී නාට්‍ය හා රංග කලාව, නර්තනය සහ මාධ්‍ය අධ්‍යයනය යන විෂයයන් තෝරා ගත්තා. නිළියක් වීමේ ප්‍රවේශය මට හිමිවුණේ එතැනින්. නිළියක් වීමේ සිහිනය මට කුඩා කාලයේ සිටම තිබුණා. එය සැබෑ කර ගැනීමට මට උපකාර කළේ උසස් පෙළට නාට්‍ය හා රංග කලාව ඉගැන්වූ පුබුදු ගමගේ ගුරුතුමායි. අද ආධුනික නිළියක ලෙස හෝ විශ්වාසයකින් යුතුව ක්ෂේත්‍රයේ රැඳී සිටීමට මට හැකි වී ඇත්තේ එතුමා නිසයි.


පාසල් කාලය ගැන කියනවා නම් මම අධ්‍යාපනය හැදෑරුවේ සිංහල මාධ්‍යයෙන්. නිවසේදී දෙමළ භාෂාව කතා කළත් පාසලේදී දිගටම සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්තා. මම සිංහල භාෂාවට කොතරම් ආදරය කළාද කියනවා නම් සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල සහ බුද්ධාගම යන විෂයයන් දෙකටම ‘A’ සාමාර්ථ ලබා ගත්තා. කුඩා කාලයේ සිටම පොත් කියවීමට හුරු වී සිටි මම අදටත් සිංහල පොත් බොහොමයක් කියවනවා.


කලා ක්ෂේත්‍රයට ඔබේ පිවිසීම සිදුවුණේ කෙසේද?


මුලින්ම එයට අඩිතාලම සකසා දුන්නේ මගේ නාට්‍ය ගුරුතුමා වූ පුබුදු ගමගේ මහතායි. පාසල් කාලයේදීම නිළියක් වීම සඳහා මා තුළ ආත්ම විශ්වාසය ගොඩනැගුවේ ඔහුයි. ඉන්පසු මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරී පත්වුණා. ගුණාත්මක රංගන ශිල්පිනියක ලෙස ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය පන්නරය මම විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තා. මම සෑම විටම උත්සාහ කරන්නේ හොඳ චරිතාංග නිළියක් වීමටයි. ඒ වෙනුවෙන් මම තවමත් මහන්සි වෙනවා. මේ වන විට කෙටි චිත්‍රපට මෙන්ම වේදිකා නාට්‍ය රැසකටද මම දායක වී තිබෙනවා.


මම මුලින්ම ‘ගර්භ’ නමින් සිංහල සහ දෙමළ භාෂා මිශ්‍ර වූ ඒකාංගික නාට්‍යයක් රචනා කර අධ්‍යක්ෂණය කළා. එම නාට්‍යය වෙනුවෙන් මට හොඳම නිළියට හිමි සම්මානයද හිමිවුණා. එම නාට්‍යය නැරඹීමෙන් පසුව විය හැකියි දර්ශන් ධර්මරාජ් අයියා මාව ටෙලිනාට්‍ය සඳහා යෝජනා කළේ. ඒ ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලිනාට්‍යයයි. මම මගේ ප්‍රථම ටෙලිනාට්‍යයේ රඟපෑවේ වයස අවුරුදු 22 දීයි.


කලාවට යොමුවීම සඳහා පවුලෙන් ලැබුණු සහයෝගය කෙබඳුද?


මෙහිදී විශේෂයෙන්ම කිව යුත්තේ මගේ පවුලේ කිසිවෙකු කලාවට සම්බන්ධ නොමැති බවයි. මම සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක හැදී වැඩුණු කෙනෙක්. එම පවුල් පසුබිම තුළ පවුලේ බර කියන දේ මම බොහෝ අවස්ථාවලදී අත්දැක තිබෙනවා. මට සැමවිටම අවශ්‍ය වුණේ පවුලේ අය සතුටින් තබා ගනිමින් මගේ සිහින කරා ගමන් කිරීමටයි. ඒ සඳහා පවුලෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. ගැහැනු ළමයෙකු ලෙස ඔවුන් මාව හොඳින් තේරුම් ගත්තා. විශේෂයෙන්ම මගේ ලොකු අක්කා මගේ ජීවිතයේ සෑම දෙයකදීම දෙවැනි මවක මෙන් ළඟින් සිටිමින් සොයා බැලුවා. සම්මුඛ පරීක්ෂණයක් ඇති බව කී සැණින් කොතරම් දුරක් වුවත් ඇය මාව ත්‍රීරෝද රථයකින් එහි රැගෙන යනවා. මගේ මව තමයි මගේ හොඳම රසිකාවිය. මම කුමන නිර්මාණයක් කළත් එය මුලින්ම නරඹන්නේ ඇයයි.


මෙතෙක් ඔබ රඟපෑ චරිත පිළිබඳව කෙටියෙන් සඳහන් කළොත්?


මම බොහෝ විට අතිරේක චරිතවලට තමයි දායක වුණේ. නමුත් ඒ සෑම චරිතයක්ම මම කළේ ඉතාම ආසාවෙන්. මට බොහෝ අවස්ථාවලදී දෙමළ චරිත ලැබුණේ නැහැ. රජ කාලයේ කතාවක තරුණියක ලෙසත්, පොලිස් නිලධාරිනියක ලෙසත් විවිධ අතිරේක චරිත මම රඟපා තිබෙනවා. නමුත් ප්‍රේක්ෂක මතකයේ රැඳුණු පළමු චරිතය වූයේ ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලිනාට්‍යයේ ‘රූ’ගේ චරිතයයි. එය ඉතාම දුෂ්ට චරිතයක් වූ නිසා ප්‍රේක්ෂකයින්ගෙන් විශාල ලෙස දෝෂාරෝපණ එල්ල වුණා. ප්‍රේක්ෂකයන් එලෙස බැණ වැදුණේ මම එම චරිතය සාර්ථකව ඉටු කළ නිසා බව මට වැටහුණා. ඉන්පසු ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ ‘සාරා’ගේ චරිතය රසිකයන් ඉතා ආදරයෙන් වැලඳ ගත් අතර ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා.


මේ දිනවල ඔබ ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන නිර්මාණ මොනවාද?


මේ වන විට සියත රූපවාහිනී නාලිකාවේ විකාශය වන අසංක සායක්කාරගේ ‘මහ උළු ගෙදර’ ටෙලිනාට්‍යයේ ‘රේඛා’ගේ භූමිකාව මම නිරූපණය කරනවා. එය තම සැමියාට බෙහෙවින් ආදරය කරන සහ ආදරය බලාපොරොත්තු වන යාපනයේ තරුණියකගේ චරිතයක්. ඊට අමතරව මේ දිනවල ‘අහස’ රූපවාහිනී නාලිකාවේ විකාශය වන ‘මානාවාරී’ ටෙලිනාට්‍යයේත් මට ඉතාම වෙනස් චරිතයක් හිමිවී තිබෙනවා. එය තරමක් යකින්නකගේ ස්වරූපය ගත් චරිතයක්.


ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකගත හැකි ඔබේ නවතම නිර්මාණ මොනවාද?


මේ වන විට චිත්‍රපට දෙකක රූගත කිරීම් අවසන් කර තිබෙනවා. ඉන් එකක් ඉඳුවර සූරිය බණ්ඩාරගේ ‘නම්බර් ප්ලේට්’ චිත්‍රපටය වන අතර අනෙක උපාලි ගම්ලත් මහතාගේ ‘බැක් ටු හෝම්’ චිත්‍රපටයයි.


ENGLISH SUMMARY:


Rising Sri Lankan actress Hameesha Devi recently spoke in an interview with Rasanduna about her multicultural background, education, and growing career in Sinhala teledramas and cinema. Currently gaining attention for two contrasting television roles—playing Rekha, a young woman from Jaffna, in Asanka Sayakkara’s Maha Ulu Gedara on Siyatha TV, and a fierce, demon-like character in Manawari on Ahasa TV—Hameesha shared that despite having Indian heritage through her paternal grandfather and being born to a Hindu father and Muslim mother, she considers herself Sri Lankan at heart.


Educated in the Sinhala medium at Sri Revatha Royal College, Maharagama Central College, and Lumbini College in Colombo, she credited her Advanced Level drama teacher Pubudu Gamage for building her confidence. A drama graduate from the University of the Visual and Performing Arts who is preparing for an MA at the University of Kelaniya, she won Best Actress for her bilingual one-act play Garbha. Recommended for television by actor Darshan Dharmaraj, she debuted at age 22 in Ralla Weralata Adarei as Roo and later won fans as Sara in Deweni Inima. Supported closely by her mother and eldest sister, Hameesha has also completed filming two upcoming movies: Number Plate by Induwara Sooriya Bandara and Back to Home by Upali Gamlath.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post