සෙට් එකේදී තාත්තා මට අනිත් අයටත් වඩා සැර වුණා-ශෙනුකි දිෂල්‍යා

gossiplanka image 1
 


ඇතැම් මතකයන් හදවතේ සදාකාලිකවම තැන්පත් වන්නේ අමතක නොවන ඡායාරූප සටහන් තබමිනි. ඒ මතක සමුදායන් හිමිකාරිනිය අන් කවරෙකුවත් නොව, ජිම්නාස්ටික් පිටියේදී ලක් මවට රන් පදක්කමක අභිමානය එක්කළ ජාත්‍යන්තර රණශූරිය ශෙනුකි දිෂල්‍යාය. ‘මදර් ලංකා්’ හරහා සිනමාවෙන් රංගන දිවිය ඇරඹූ ඇය, මේ දිනවල ‘අවසන් ඡායාරූපය’ ටෙලිනාට්‍යයේ ‘සසදි’ වී ප්‍රේක්ෂක හදවත් අතරට ඇවිත්. කුලු‍ඳුල් ටෙලි රංගනයෙන්ම කාගේත් අවධානය දිනාගත් ශෙනුකි සමඟ, ඇගේ ඒ මතක සටහන් අවදි කළ මොහොතයි මේ…Sri Lanka Latest News


මේ දවස්වල ඔබේ රංගනය ගැන ගොඩ දෙනෙක් කතා කරනවා?

ඔව්. මම ටෙලිනාට්‍ය රංගනයට එක්වන පළමු වතාව තමයි මේ. ‘අවසන් ඡායාරූපය’ ටෙලිනාට්‍යය සතියේ දිනවල ‘අහස’ රූපවාහිනියේ විකාශය වෙනවා. ‘අවසන් ඡායාරූපය’ රනිල් කුලසිංහගේ නිර්මාණයක්. සසදි චරිතය හරහා තමයි මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් අතරට මම සමීප වෙන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි මගේ පළමු ටෙලිනාට්‍ය රංගනයට ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් මම ගොඩක් ස්තුතිය පුද කරනවා මාව මේ චරිතය වෙනුවෙන් තෝරාගත්ත එකට ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂතුමන්ට.

මේ විදියට කුලුඳුල් රංගනයට දොර විවර වුණේ කොහොමද?

මගේ මවුපියන් හරහා තමයි මට අවස්ථාව ලැබෙන්නේ. අම්මයි තාත්තයි ඇහුවා ටෙලිනාට්‍යයක රඟපාන්න කැමැතිද කියලා. මොකද මගේ ක්‍රීඩා කටයුතු සහ ඉගෙනීමේ කටයුතු නිසා. ලොකු කාලයක් යොදවන්න අපහසුයි ටෙලිනාට්‍යයක් වෙනුවෙන්. හැබැයි චරිතයට තිබුණු ආශාව නිසාම මම හා කියලා කිව්වා.

ආදරණීය පියාණන්ගේ නිර්මාණයක් හරහා තමයි ශෙනුකි සිනමාවට පිවිසෙන්නේ?

මගේ තාත්තා තමයි සංජීව එදිරිමුණි. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වගේම නිෂ්පාදකවරයෙක්. ඔහුගේ ‘මදර් ලංකා’ චිත්‍රපටයේ එමිලියා චරිතය හරහා තමයි මම සිනමාවට සම්බන්ධ වෙන්නේ.

ගෙදර පරිසරයට වඩා ලොකු වෙනසක් දැනෙන්න ඇති තාත්තාගේ අධ්‍යක්ෂණයේදී?

ගොඩ දෙනෙක් හිතනවා ඇති පහසු දෙයක් කියලා තාත්තා අධ්‍යක්ෂණය කරපු නිසා මට රඟපාන්න. හැබැයි ගෙදර ඉන්න තාත්තා නෙවෙයි ලොකේෂන් එකේදි මම දැක්කේ. තාත්තා මට සෙට් එකේදි වැඩ කරන්න ඕනේ විදිය මුලදිම අවබෝධ කරලා දුන්නා. එතැනදී තාත්තා වුණත් මාව හැසිරුවේ දුවෙක් විදියට නෙවෙයි රංගන ශිල්පිනියක් විදියට. හැබැයි අනෙකුත් ශිල්පීන්ට වඩා තාත්තා මට ගොඩක් සැර වුණා.

‘අවසන් ඡායාරූපය’ කියලා නම අහනකොට හිතට පොඩි වෙනසක් දැනෙනවා. ඒ වෙනස ශෙනුකිට දැනුණේ කොහොමද?

පිටපත බලනකොට මට දැනුණේ ක්‍රීඩාවත් එක්ක බැඳුණු කතාවක් කියලා. හැබැයි මට රනිල් අයියා කතාව චරිතය ගැන අවබෝධයක් ලබාදෙන කොට මම හිතුවට වඩා වෙනස්ම විදියේ කතාවක් ‘අවසන් ඡායාරූපය’ තුළ ගැබ්වෙලා තියෙනවා කියලා දැනුණා. කිසිම පැත්තකින් මම අහලා නැති දැකලා නැති විදියේ පැතිකඩක් ටච් කරලා තියෙනවා මේ සිදුවීම් මාලාව තුළ.

කොහොමද සසදි සමග අඹතැන්නේ ගෙවපු ජීවිතය?

ඇත්තටම මම පරිසරය සමග ජීවත් වෙන්න ගොඩක් කැමැති කෙනෙක්. ඒ ගෙවපු කාලය ලොකු වෙනසක් දැනුණා. කැලෑවක් ඇතුළේ තමයි රූගත කිරීම් වැඩිපුර තිබුණේ.

කඩියෙක් කරපු හරියක් අවසානේ නතර වුණේ නොසිතූ තැනක?

මට කූඹි, කඩි කෑවොත් ඇලජික්. දවසක් කැලේදි මාව කඩියෙක් කාලා මට ගොඩක් අමාරු වෙලා මාව හොස්පිට්ල් අරගෙන ගියා. එදා ඉතින් ෂූටින් කැන්සල් කළා. මට තිබුණු අසනීප තත්ත්වය නිසා. සනීප වෙලා ඉතින් මම කඩින්ගෙන් කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වෙලා රූගත කිරීම්වලට නැවත සම්බන්ධ වුණා.




ටෙලිනාට්‍ය රංගනයට ලොකු කැමැත්තක් නැති හැඩයි?

ඒ මම කලින් පැවසූ විදියට මගේ ක්‍රීඩා කටයුතු නිසා. ඒ වගේම මගේ බලාපොරොත්තුව තිබුණේ සිනමාව පැත්තෙන් ඉදිරියට යන්න තමයි. ටෙලිනාට්‍ය රංගනයට අකැමැත්තක් නෙවෙයි. මෙයට පෙර මට ටෙලිනාට්‍ය කිහිපයකින් ආරාධනා ලැබුණා.

පොඩි කාලයේ ඉඳලා වැඩිපුර කැමැත්ත තිබුණේ ක්‍රීඩාවට?

ඔව්. මට වයස අවුරුදු හතරෙදි තමයි මම ජිම්නාස්ටික් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ. 2025 තමයි මම රංගනය පැත්තට යොමු වෙන්නේ. කුඩා කාලයේ පටන්ගත්ත ගමන මම තවමත් ඉදිරියට යනවා. මේ දවස්වල දෙසැම්බර්වල පවත්වන ජාත්‍යන්තර තරගයකට පුහුණුවීම් කරගෙන යනවා.


වසන්ත විතාරණගේ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post