චරිතාංග නළුවකු විදියට ටෙලි තිරය තුළ නොමැකෙන මතක සටහන් තැබූ හර්ෂ තෙන්නකෝන් ප්‍රවීණ නිළි යශෝධා විමලධර්ම සමග ‘ආදරණීය බොරු’ ගොතන්න මේ දවස්වල වේදිකාවට ගොඩවෙනවා කියන ආරංචිය සෝෂල් මීඩියා අතර පවා හෝගාලා වයිරල් වෙනවා.Sri Lanka Latest News
මොකක්ද ඔය කියන ‘ආදරණීය බොරු’ ගැන කතාව? ඒ ප්‍රවීණ නිර්මාණකරු හේමන්ත ප්‍රසාද්ගේ අලුත්ම වේදිකා නාට්‍යය. සම්මානනීය ප්රවිණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම ඇතුළු තවත් ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් සමග හර්ෂ එහි ප්‍රධාන චරිතයක් රඟපානවා. ඒක බොහෝවිට අලුත් තාලේ ආරංචියක් නිසාමයි හර්ෂ එක්ක ඒ ගැන හදවතින්ම කතාකරන්න අදහසක් හිතට ආවේ.
ඉතින් ඉතින් හර්ෂ කොහොමද අලුත් තොරතුරු?
වෙනසක් නැහැ ඉතින් ලොකුවට. පුරුදු පරිදි රූගත කිරීම් අතර දවස ගෙවෙනවා. අලුතින් කියන්න වෙනසකට තියෙන්නේ ‘ආදරණීය බොරු’ වේදිකා නාට්‍යය ගැන තමයි.
ඉතින් කියමු අපටත් ඒ ‘ආදරණීය බොරු’ ගැන කතාව?
ප්‍රවීණ නාට්‍ය ශිල්පී හේමන්ත ප්‍රසාද්ගේ අනගි මෙහෙවරක්. යශෝධා විමලධර්ම, ප්‍රසන්නජිත් අබේසූරිය, ජනක කුඹුකගේ, උපුල් නිශාන්ත, චරිත් මධුරංග ප්‍රවීණයන් සහ තවත් සෙසු රංගන ශිල්පීන් සමග මම එහි චරිත රංගනයෙහි යෙදෙනවා.
අසීමිත සතුටකින් සහ උනන්දුවකින් ඔබ ඒ ගැන කතා කරන හැඩයි පෙනෙන්නේ?
ඇත්තටම කියනවා නම් හේමන්ත ප්‍රසාද් වැනි ප්‍රවීණයකු සමග වගේම විශිෂ්ට ගණයේ රංගන ශිල්පීන් පිරිසකගේ දායකත්වයෙන් ‘ආදරණීය බොරු’ වේදිකා නාට්‍යයට මම එක්වුණේ බොහොම ලොකු ඇල්මකින්.
වේදිකාව කොහොමත් ඔබට නුහුරු තැනක් නෙවෙයි?
වේදිකාවේ ඇසූපිරූ තැන් ඇති, වේදිකාව උඩුයටිකරු කළ ඉතාම අලංකාර ප්‍රවීණ ශිල්පීන් සමග නවකයකු ලෙස මම වේදිකාව සමග එක්වුණේ මීට වසර ගණනාවකට ඉහතයි. ඔවුන් වෙතින් මා ලද පන්නරය කිසි විටෙක මිල කරන්න බැහැ.
කොහොමද ‘ආදරණීය බොරු’ නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?
ඔක්තෝබර් මස 21 වැනි දින එය අතිසාර්ථක ලෙස වේදිකාගත වුණා. සත්තකින්ම ප්‍රතිචාර සතුටුදායකයි.
පසුගිය කාලය තුළ හර්ෂ ටෙලිනාට්‍ය රංගනයෙන් ඈත්ව හිටියා?
මම පසුගිය දවස්වල ලංකාවේ හිටියේ නැහැ. ඒ නිසා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න බැරි වුණා.
මෑතක ඉඳන් ඔබ හිටිඅඩියේ කාර්යබහුල වුණා?
ටෙලි කිහිපයක වගේම වේදිකා නාට්‍ය කිහිපයකටද ආරාධනා ලැබුණා. ඒ අතර චිත්‍රපට කිහිපයක වැඩ ඉවර කරන්න තිබුණා. ඔය සේරටම මැදිවුණාම ඉතින් ටිකක් කාර්යබහුල වුණා කිව්වොත් හරි.
ඔබට එන සමහර තිරපිටපත් ඔබ රිජෙක්ට් කරන හේතුව?
හේතු විවිධාකාරයි. සීමාවක් නැතිව දිගින් දිගට දුවන ටෙලිනාට්‍ය මම භාරගන්න අවස්ථා බොහොම අඩුයි. ඒ වගේ වැඩ කරන්න පහසු අය එක්ක ඇග්රිමන්ට් සයින් කරන්න තමයි මං හුඟක්ම උනන්දු වෙන්නේ. මිල ගණන් පිළිවෙළට ගෙවන්නේ නැති නිෂ්පාදකවරු සමග හවුල් වෙන්නත් මම මනාප නැහැ ඇත්තටම.
ඒ කියන්නේ වැඩ අරගෙන පොලු තියපු ඒ අයට ඔබ අහුවෙලා තියෙනවා?
ඇයි නැත්තේ? එහෙම කනගාටුදායක අවස්ථා කලාකාරයන්ගේ ජීවිතවල මොන තරම් තියෙනවද? මටත් එහෙම තමයි. සමහර අය පිරිසගෙන් ඇඩ්වාන්ස් එකක් අරන් තමයි වැඩේට සම්බන්ධ වෙන්නේ.
ඔබටය කියලා සීමා වුණු මිලක් එහෙම තියෙනවද හර්ෂ?
මෙහෙමයි. යමක් කරන්න පුළුවන් අයගෙන් මම මගේ මිල හරියටම ගන්න තැන් තියෙනවා. ඒ වගේම හොඳ නිර්මාණයකට දායක වෙලා ඒ නිර්මාණය ඉදිරිපත් කරන්න තියෙන පිපාසය සහ හොඳ චේතනාව වෙනුවෙන් අමාරුවෙන් පිරිවැය දරන නිර්මාණකරුවන් හමුවේ මම මගේ මිල ගණන් වෙනස් කරන අවස්ථාද ඕනෑ තරම් තියෙනවා.
පෙම්වතාට කොටු වෙන්න ඔබ මනාප වුණේ නැහැ?
රස්තියාදුකාරයාට සහ දුෂ්ටයාට කොටුවෙන්නත් මම මනාප නැහැ. මම හෙව්වේ විවිධ චරිත නිරූපණයන්. යමක් කරන්න පුළුවන් චරිතයක් තමයි මම නිතරම හෙව්වේ. සීනි බෝල පාට්වලට මම කැමැති නැහැ.
හැබැයි හර්ෂ ඔබ ජනප්‍රිය වුණේ ‘අංගනාවෝ’හි තරුණ පෙම්වතාගේ චරිතයෙන්?
‘අංගනාවෝ’හි තරුණ පෙම්වතා සීනි බෝල චරිතයක් නෙවෙයි. ප්‍රවීණ නාට්‍ය නිර්මාණකරු නාලන් මෙන්දිස් ‘අංගනාවෝ’ පෙම්වතා වෙනුවෙන් හෙම්වේ පොත් කියවන, පොත් ගුල්ලෙක් වැනි තරුණයෙක්ව. ඔහු හදලා තිබුණේ නිතර පොත් කියවන සරල ගති පැවැතුම් ඇති උගත්, නිවුණු ආදරවන්තයෙක්ව.
එතකොට නාලන් මෙන්දිස් මහතා ඔබව තෝරාගත්තේ ඔබ පොත් ගුල්ලෙක් නිසාද?
සත්තකින්ම ඔව්. බොරුවට පොත් කියවනවයි කියලා නාට්‍යය තුළ මවාපෑමක් කරනවට වැඩිය ඇත්තටම පොතට ඇබ්බැහි වුණු තරුණයෙක්ව ඔහුට ඕනෑ වුණා. වේදිකා නාට්‍යවල සහ වැඩමුළුවලදී ලැබෙන විවේකය තුළ මම පොතට ඇබ්බැහිව සිටින ආකාරය නිරත ඒ වැඩමුළු සඳහා යන එන නාලන් මෙන්දිස් මහතා දුටුවා. අන්න එතැනදි තමයි ඔහු මට ආරාධනා කළේ.
පෙම්වතාට ඔබ කොටුවුණේ ඒ රංගනය සාර්ථක නිසයි?
බොහේ විට ඒක එහෙම වෙන්න ඇති. කොහොමත් ඉක්මනින් ඒ කොටුවීමෙන් මම මිදුණා. ඉන් පස්සේ දුෂ්ට සහ දාමරිකයාට කොටුවුණා. දාමරිකයාගෙන්ද මම ඉතා සියුම්ව මිදුණා. ඉන් පස්සේ වෙනත් විවිධ චරිත මා හමුවට ආවා. මම එයින් සෑහීමකට පත්වුණා. අදටත් එය එලෙසම සිදුවෙමින් පවතිනවා.
තවමත් එදා වාගෙම අවුරුදු 20-25 පෙම්වතා සඳහා ඔබට ආරාධනා එනවා?
දැන් මට 40ක්. අවුරුදු 20 පොඩි ළමයි එක්ක රංගනයට ආරාධනා එනවා. සුදුසුයි කියන මට්ටමේ චරිත පමණක් භාරගන්න සැලකිලිමත් වෙනවා.
ඔබ කලාවට සහ වේදිකාවට පය තිබ්බේ අධ්යක්ෂවරයකු වීමේ බලාපොරොත්තුවෙන්?
ඔව්. මගේ ආශාව සහ බලාපොරොත්තුව වුණේ එයයි.
නළුකම අහම්බයක් ලෙස පැමිණීම ගැන මොනවද හිතන්නේ?
අවුලක්, තැවීමක් හෝ කනගාටුවක් නැහැ. මම සතුටින් මගේ ගමන යනවා. හැකිතාක්. මට ඇති හෝ මාව කලාවට ඇතිය කියලා හිතෙනතුරු. හෙමින් ගමනක් යනවා. ඒ ගමන තුළ තරග නැහැ. ලොකු ටාගට් හෝ කා සමගවත් සටනක් නැහැ.
මල්මි කෞෂල්‍යා