නව පරපුරේ දක්ෂ, නැගීඑන රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින් සිටින ඉරේෂි හතුරුසිංහ, මේ වනවිට පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ සිය රංගන හැකියාව මැනැවින් ප්‍රදර්ශනය කරමින් සිටියි. සිරස නාලිකාවේ විකාශය වූ ‘වාව් මැඩම්’ සහ ‘ආලවන්ති’, හිරු නාලිකාවේ ‘පාට කුරුල්ලෝ’, ස්වර්ණවාහිනියේ ‘මා’ යන ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඇය, මේ දිනවල විකාශය වන ‘බැද්දේගම’ ටෙලිනාට්‍යයේ සුදුහාමි ලෙසත්, සිරස නාලිකාවේ විකාශය වන ‘අහංකාර ආදරේ’ ටෙලිනාට්‍යයේ සමාධි ලෙසත් ඔබේ ආලින්දයට සමීපය. විවිධ චරිත ඔස්සේ තමන්ගේම රංගන අනන්‍යතාවක් ගොඩනගා ගනිමින් ඉදිරියට යන මේ යොවුන් රංගන ශිල්පිනියගේ කලා දිවිය පිළිබඳවයි මේ කතාබහ.Sri Lanka Latest News
ඉරේෂි, කොහොමද කලාවට අවතීර්ණ වෙන්නේ කියන තැන ඉඳන් කතාබහ පටන්ගමු?
පුංචි කාලේ ඉඳන්ම මගේ හිතේ රංගනයට ලොකු ආසාවක් තිබුණ නිසාම උසස් පෙළට නාට්‍ය හා රංග කලාව විෂය තෝරාගත්තා. ඉන් පසුව මහේන්ද්‍ර පෙරේරා සර් සහ අකිල සපුමල් සර් යටතේ රංගනය පිළිබඳ වැඩිදුර හැදෑරීම් කළා. ඒ වගේම අසංග සායක්කාර සර්, අනෝජා වීරසිංහ මැඩම් වැනි කලාවේ ප්‍රවීණයන් විසින් පවත්වනු ලැබූ වැඩමුළුවලටත් සහභාගි වුණා. ඒ අත්දැකීම් මගේ රංගන ගමනට ලොකු පන්නරයක් ලබාදුන්නා. මම මුලින්ම රංගනයෙන් දායක වුණේ අකිල සපුමල් සර්ගේ ‘පැන්ස තුන’ වේදිකා නාට්‍යයේ ජෙනීගේ චරිතයෙන්. පුංචි තිරයට පිවිසීමට අවස්ථාව ලැබුණේ සිරස නාළිකාවේ විකාශය වූ ‘වාව් මැඩම්’ ටෙලිනාට්‍යයේ පිළිගැනීමේ නිලධාරිනියකගේ චරිතයෙන්.
ඔබේ පදිංචිය?
ඉපදුණේ පුංචි බොරැල්ලේ. ගම කිරිඳිවැල පැපිලිවල සහ දැනට පදිංචියත් එහේ තමයි.
ඔබේ පවුලේ අයත් කලාවට සම්බන්ධද?
මගේ අක්කා නම් නර්තනයට සම්බන්ධයි. ඒත් අපේ පවුලේ වෙනත් කිසිම කෙනෙක් රංගනයට සම්බන්ධ නැහැ. මම තමයි පවුලෙන් රංගන ක්ෂේත්රයට ආපු කෙනා.
රංගනයේදී ඔබටම කියලා සීමාවන් තියෙනවාද?
ඇත්තටම මට රංගනයේදී එහෙම විශේෂ සීමාවක් නැහැ. මම තවමත් ක්ෂේත්රයේ ඉදිරියට යමින් සිටින ආධුනික රංගන ශිල්පිනියක් නිසා සීමාවන් පනවාගෙන ගමනක් යන්න අමාරුයි. විශේෂයෙන්ම බැද්දේගම නාට්‍යයේ වගේ පොළොවේ පය ගහලා ජීවත් වෙන, සැබෑ ජීවිතයට සමීප චරිත රඟපාන්න මම ගොඩක් කැමැතියි.
ඒ කියන්නේ ඔබ ලැබෙන ඕනෑම චරිතයක් බාර ගන්න කැමැතියි කියන එකද?
චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා නම්, ඒ චරිතය භාරගන්න මම කැමැතියි.
ඉරේෂි ඔබට මුහුණ දෙන්න වුණු අභියෝගයත් ඇති?
‘බැද්දේගම’ වැනි ටෙලිනාට්‍යයක ප්‍රවීණ කලාකරුවන් සමග එකට වැඩ කරන්න ලැබීමම මට විශාල අභියෝගයක්. ඒ වගේම ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගනිමින් මගේ රංගන හැකියාව තවදුරටත් වර්ධනය කරගන්නත් ඒක හොඳ අවස්ථාවක්.
ඔබේ මේ දක්වා ආ ගමනෙදි වඩාත් සතුටුවූ අවස්ථාව මොකක්ද?
රංගනය පිළිබඳ හැදෑරීම් කරමින්, වැඩමුළු ගණනාවකට සහභාගි වෙමින් ආපු ගමන දිහා අද ආපසු හැරිලා බලද්දී මම මේ ඉන්න තැන ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. ඒ මහන්සියේ ප්‍රතිඵල අද මට ලැබෙමින් තිබෙනවා කියලා දැනෙන එකම මට ලොකු සතුටක්.
ඔබේ ජීවිතයේ ශක්තියක් වෙමින් නිතරම ඔබ ළඟින් ඉන්නේ කවුද?
මගේ ජීවිතයේ ලොකුම ශක්තිය මගේ අම්මා. මම යන මේ ගමනේදී මට හයියක් වෙමින්, හැම වෙලාවකම මගේ ළඟින් ඉන්නේ අම්මා සහ මගේ පවුලේ හැමදෙනාමත්.
ඉදිරියේදී ඔබව දැකගන්න ලැබෙන අලුත් නිර්මාණ මොනවාද?
ඉදිරියේදී ‘සෙවනැලි’ සහ ‘පළඟැටියා’ කියන ටෙලිනාට්‍ය දෙක විකාශය වීමට නියමිතයි. ඒ වගේම සරත් කොතලාවල මහත්මයාගේ සිනමා නිර්මාණයකටත් මම දායක වෙලා තියෙනවා. එම නිර්මාණයත් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙයි.