මම ආසයි ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැදෙන කෙනෙක් වෙන්න -කැලුම් ගම්ලත්

gossiplanka image 1
 


 ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය සහ හඬකැවීම් යන ක්ෂේත්‍ර ත්‍රිත්වයෙහිම කැපී පෙනෙන දක්ෂතා දක්වන රංගන ශිල්පිනී කැලුම් ගම්ලත් මේ දිනවල ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන්නේ අසංක සායක්කාරගේ 'මහ උළු ගෙදර', රංග ප්‍රේමරත්නගේ 'ජැග්නා ආදරය' සහ ශශ්‍යාම් ප්‍රනාන්දුගේ 'කොටුව පිටකොටුව' යන නිර්මාණ තුළිනි. සිය නවතම කලා කටයුතු සහ පෞද්ගලික ජීවිතයේ තොරතුරු පිළිබඳව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මෙලෙස අදහස් දක්වා තිබුණි.


මේ දිනවල ජීවිතය ගෙවෙන්නේ කෙසේද?


ජීවිතය ඉතා හොඳින් ගෙවී යනවා. රංගන කටයුතු සහ නිවසේ වැඩකටයුතු සියල්ලම සමඟ සතුටින් කාලය ගත කරනවා. විශේෂයෙන්ම ලොකු කලබලයකින් තොරව නිදහසේ මගේ වැඩකටයුතු කරගෙන යන කාලයක් තමයි මේ ගෙවෙන්නේ.


මේ දිනවල ඔබව දැකගත හැකි 'මහ උළු ගෙදර' නිර්මාණයට සම්බන්ධ වීම ගැන කතා කළොත්?


අසංක සායක්කාර අයියාගේ 'මහ උළු ගෙදර' ටෙලි නාට්‍යයට ඔහු මට ආරාධනා කළ අවස්ථාවේදී දෙවරක් නොසිතාම මම ඊට එකඟ වුණා. ඊට හේතුව මම වසර ගණනාවක් තිස්සේ ඔහුගේ නිර්මාණ සමඟ කටයුතු කර තිබීමත්, ඔහුගේ නිර්මාණ ශෛලිය හොඳින් හඳුනාගෙන සිටීමත්ය.


එම නාට්‍යයේ ඔබට හිමිවූ භූමිකාව කුමක්ද?


'මහ උළු ගෙදර' නාට්‍යයේ නයෝමිගේ චරිතය තමයි මට රඟපෑමට ලැබුණේ. අසංක අයියා එම චරිතය පිළිබඳව විස්තර කරද්දීම ඇත්තටම මට ඒ ගැන විශාල කැමැත්තක් ඇති වුණා. කතාවේ සිටින නයෝමි නිවසට මුදල් උපයන කෙනා නිසා නිවසේ සියලු වැඩකටයුතු සහ දරුවන්ගේ වැඩකටයුතු සැමියා විසින් කළ යුතු බව සිතන කෙනෙක්. ඇත්තටම නිවස පාලනය කරන්නේ ඇයයි. අනෙක් සියලු දෙනා සිටින්නේ ඇයගේ යටතේයි.


එම චරිතයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කෙබඳුද?


මේ වන විට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මෙය වෙනස්ම ආකාරයේ චරිතයක් බව ප්‍රේක්ෂකයන්ට දැනී තිබෙනවා. ඒ බව මට පෞද්ගලිකවම පැවසූ අයත් සිටිනවා. කොහොමත් මම නිතරම උත්සාහ කරන්නේ එකිනෙකට වෙනස් චරිත තෝරාගෙන විවිධත්වයෙන් යුතු නිර්මාණවලට දායක වීමටයි.


'මහ උළු ගෙදර' ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් ගෙන දෙයිද?


'මහ උළු ගෙදර' කතා සංකල්පය අප කවුරුත් හඳුනන රංගන ශිල්පියෙකු වන ඉසුරංග මල්ලිගේයි. එම කතා සංකල්පය තමයි අසංක අයියා මේ නිර්මාණයට පාදක කරගෙන තිබෙන්නේ. ජනවාර්ගික අර්බුදය අපට අලුත් අත්දැකීමක් නොවෙයි. එහි ඉතිහාසය දශක ගණනාවක් පිටුපසට දිව යනවා. මේ නිර්මාණය හරහා එම අර්බුදය නිවසක් ඇතුළට ගෙනැවිත් තිබෙනවා. සිංහල සහ දෙමළ යන ජනවර්ග දෙකට අයත් පවුල් දෙකක් එකම නිවසකට ගෙනැවිත් එකට ජීවත් කරවන නිර්මාණයක් ලෙස 'මහ උළු ගෙදර' හඳුන්වන්න පුළුවන්. අනෙක් අතට මෙලෙස එකම නිවසක් බෙදාගෙන ජීවත් වීමට සිදුවීමත් සමඟ හාස්‍යජනක, ගැටුම්කාරී, සුන්දර, ප්‍රේමණීය සහ හදවතට දැනෙන විවිධ අත්දැකීම් රැසක් ප්‍රේක්ෂකයාට විඳගැනීමට ලැබෙනවා.


මේ දිනවල ඔබව දැකගත හැකි අනෙකුත් නිර්මාණ මොනවාද?


මේ දිනවල 'ජැග්නා ආදරය' සහ 'කොටුව පිටකොටුව' යන නිර්මාණ විකාශනය වෙමින් පවතිනවා.


ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට ඔබව හමුවීමට නියමිත අලුත් නිර්මාණ මොනවාද?


චාමර පෙරේරාගේ 'දුඹුරු දූවිලි', කීර්ති කේ. රත්නායකගේ 'මූණු' සහ සමන් කෝරලගේ 'මල් බයිසිකල්' යන නිර්මාණ ඉදිරියේදී විකාශනය වීමට නියමිතව තිබෙනවා.


ඔබව නිතරම නිර්මාණ ඔස්සේ දැකගැනීමට නොලැබෙන්නේ ඇයි?


ඊට හේතුව වන්නේ මම චරිත තෝරා බේරාගෙන රඟපෑම නිසා විය හැකියි. සාමාන්‍යයෙන් නිර්මාණයකට සම්බන්ධ වීමේදී ඒ චරිතය කෙබඳු එකක්ද යන්න පිළිබඳව මම සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම මම මීට පෙර රඟපා ඇති චරිතයකට සමාන චරිතයක් නව නාට්‍යයකින් ලැබුණහොත් එය මඟහරින අවස්ථා වැඩියි.


චරිත තෝරාගැනීමේදී ඔබ වැඩි අවධානයක් යොමු කරන්නේ මොන වගේ දේවල් කෙරෙහිද?


මම මීට පෙර සිදු නොකළ, මට අභියෝගයක් වන ආකාරයේ චරිත තෝරාගැනීමට වැඩි සැලකිල්ලක් දක්වනවා. ඊට හේතුව මම රංගනයෙන් සතුටක් ලබන කෙනෙකු වීමයි. මට ලැබෙන ඕනෑම චරිතයක් නිවැරදිව කිරීමට මම බොහෝ වෙහෙසෙනවා. එසේ කළ චරිතය හරියාකාරව සිදු කළ බව මටම දැනුණු විට මම ජීවත් වෙනවා යන හැඟීම මට දැනෙනවා.


ඔබේ වෘත්තීය ජීවිතය ගැනත් සඳහන් කළොත්?


මේ දිනවල මම රැකියාවෙන් නිවාඩු ලබාගෙන සිටිනවා. පොඩි විවේකයක් අවශ්‍ය වූ නිසයි එසේ කළේ. නැවත කාර්යාලයට යාමට නියමිතව තිබෙන්නේ ලබන වසරේදීයි.


පුංචි පුතා සමඟ ගෙවෙන ජීවිතය කෙබඳුද?


අපේ පුතා රූප් පීරිස්. දැන් ඔහුට වයස අවුරුදු පහහමාරක් වෙනවා. ඔහු මේ වන විට පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දරුවෙක්. ඔහු සමඟ ගෙවන ජීවිතය ඉතා රසවත් වගේම විවිධත්වයෙන් පිරී තිබෙනවා. රූප් ඉතා හොඳ දරුවෙක්.


ඔබේ කලා ජීවිතයට සැමියා ඇතුළු පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කෙබඳුද?


මගේ සැමියා සුපුන් පීරිස්. ඔහු සංගීත ශිල්පියෙක්. බටනලා සහ සැක්සෆෝන් වාදන ශිල්පියෙකු ලෙස ඔහු කටයුතු කරනවා. මගේ හොඳම ප්‍රේක්ෂකයා වන්නේත් ඔහුයි. හැමදේටම මට ශක්තියක් වෙමින් මාව දිරිමත් කරන්නේ ඔහුයි. විශේෂයෙන්ම මම වැඩකටයුතු සඳහා යන දිනවලදී පුතාගේ සියලුම වැඩකටයුතු බලාගන්නේ ඔහුයි. කලා කටයුතු සඳහා මට වැඩ යෙදෙන අවස්ථාවලදී ඔහු මාව නිවසේ වැඩකටයුතුවලින් සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


හැමදාම පවසන පරිදි මට ලොකු බලාපොරොත්තු නැහැ. කිසිවෙකුටත් කරදරයක් නොවී මේ ගෙවන මොහොත සතුටින් ගත කිරීමට මම කැමතියි. ඒ වගේම සිනමා නිර්මාණයකට රංගනයෙන් දායක වීමේ බලාපොරොත්තුවකුත් තිබෙනවා. එය මම දකින සිහිනයක්. එම සිහිනය සැබෑ වන තුරු මම ඉවසීමෙන් බලා සිටිනවා.


ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට පැවසීමට ඇත්තේ කුමක්ද?


මට ලැබෙන චරිතවලට උපරිමයෙන් සාධාරණයක් ඉටු කිරීමට මම නිතරම උත්සාහ කරනවා. මෙතෙක් කාලයක් මා සමඟ රැඳී සිටියා සේම ඉදිරියටත් මගේ නිර්මාණ නරඹා ඒවායේ ගුණදොස් මා සමඟ බෙදාගන්නා ලෙස ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.


අනුෂා රණසිංහ


ENGLISH SUMMARY: Sri Lankan actress Kelum Gamlath, known for her work across teledramas, stage dramas, and dubbing, recently spoke about her current television projects and personal life in an interview with Anusha Ranasinghe. She is currently appearing in Asanka Sayakkara's teledrama 'Maha Ulu Gedara', Ranga Premarathna's 'Jagna Adaraya', and Shashyam Fernando's 'Kotuwa Pitakotuwa'. In 'Maha Ulu Gedara'—based on a story concept by actor Isuranga about a Sinhala and Tamil family sharing the same house—Kelum plays Nayomi, a breadwinning wife who controls the household. She noted that she is selective about roles, preferring challenging characters different from her previous work, and is set to appear in upcoming teledramas including Chamara Perera's 'Dumburu Duwili', Keerthi K. Ratnayake's 'Moonu', and Saman Korala's 'Mal Bicycle'. Currently on a break from her office job until next year, Kelum praised her husband, musician and flute and saxophone player Supun Peiris, for being her biggest supporter and taking care of their five-and-a-half-year-old son, Roop Peiris, and household duties whenever she is busy with acting. Looking ahead, she hopes to live happily in the present and fulfill her dream of acting in a film.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post