සිනමාව වෙනුවෙන් නිරුවත් වීමට මා කැමැති නැහැ – සුලෝ හැරපත්දෙණිය

gossiplanka image 1
  ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ රංගන හා නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන සුලෝචනා හැරපත්දෙණිය නැතහොත් සුලෝ හැරපත්දෙණිය, පසුගිය කාලයේ පුංචි තිරයේ බෙහෙවින් ජනප්‍රිය වූ 'කොටු' ටෙලිනාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනාගත්තාය. රංගනයට පිවිසීමට පෙර රැකියා කිහිපයකම නිරත වී ඇති ඇය, මේ දිනවල 'දූවිලි', 'කොටුව පිටකොටුව', 'කොළඹ කට්ටිය' සහ 'එහෙව් හිතන ආදරයක්' වැනි ටෙලිනිර්මාණ රැසකින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙයි. මේ අතර 'කොටු' චිත්‍රපටය හරහා ඇය සිය පළමු සිනමා අත්දැකීමද ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කිරීමට සමත්ව සිටී.


සුලෝ 'කොටු' සමඟින් සිනමාවටත් පිවිසුණා එහෙනම්?


'කොටු' ටෙලිනාට්‍යයේ මුල් කොටස් දහය තුළ මා රංගනයෙන් දායක වුණා. එම ටෙලිනාට්‍යය ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය වන බව දැනගත් අවස්ථාවේදී අධ්‍යක්ෂ සායා අයියා මට පැවසුවා මා චිත්‍රපටයේත් සිටින බව. ඇත්තෙන්ම ටෙලිනාට්‍යයෙන් පසුව මට චිත්‍රපටය සඳහාත් ආරාධනා ලැබුණා.


'කොටු' චිත්‍රපටය මේ වන විට තිරගත වීම ආරම්භ වී තිබෙනවා නේද?


ඇත්තෙන්ම 'කොටු' ටෙලිනාට්‍යයට වඩා චිත්‍රපටයේ කතාව හාත්පසින්ම වෙනස්. මා මීට පෙර චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වී තිබෙනවා. එහෙත් මුලින්ම තිරගත වන්නේ 'කොටු' චිත්‍රපටයයි. ටෙලිනාට්‍යය හරහා මට පෞද්ගලිකව විශාල ජනතා ආදරයක් සහ ආකර්ෂණයක් ලැබුණා. චිත්‍රපටය නිසා එම ආදරය තවත් වැඩි වනු ඇතැයි මා විශ්වාස කරනවා.


ටෙලිනාට්‍යයේ සිටි 'මිහිරි' චරිතයමද රිදී තිරයෙනුත් දැකගත හැක්කේ?


නම 'මිහිරි' වුවත් එය චරිත දෙකක්. ටෙලිනාට්‍යයේ සිටි මිහිරි නොවෙයි චිත්‍රපටයේ සිටින්නේ. මෙහි දැකගත හැක්කේ වෙනස්ම මිහිරි කෙනෙක්.


මුල්වරට සිනමාවට පිවිසීම පිළිබඳව මොන වගේ හැඟීමක්ද ඇති වන්නේ?


එය මගේ ජීවිතයේ සෑහෙන කාලයක සිට දුටු සිහිනයක් සැබෑ වීමක්. මෙතැන් සිට මගේ සිනමා ගමන සාර්ථකව ඉදිරියට ගෙන යාමට උත්සාහ කරනවා. සිනමාව තමයි මගේ පළමු ආදරය. සිනමාවට පැමිණීමට මා දැඩි ආශාවෙන් සිටියත් ඒ සඳහා යම් කාලයක් ගත වුණා. හොඳම දේවල් ලැබෙන්නේ හොඳම කාලයේදී බව කියනවානේ. මේ කාලය තමයි හොඳම කාලය.


ඔබව රිදී තිරයෙන් දකින විට මොන වගේ හැඟීමක්ද සිතට දැනුණේ?


ඇත්තෙන්ම මට විශාල සතුටක් දැනුණා. එය තුළ මා වසර ගණනාවක් පුරා කළ කැපකිරීම් සියල්ලම තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සිහින දකින කෙනෙකු ලෙස මා මෙය මගේ පළමු පියවර ලෙසයි දකින්නේ.


කුඩා කාලයේ සිටම සිනමා ගමනක් පිළිබඳ සිහිනයක් තිබුණාද?


මා මේ කතාව හැමවිටම පවසා තිබෙනවා. සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් නැරඹීමට මා බෙහෙවින් ආශා කරනවා. කුඩා කාලයේදී මගේ අම්මා මාව 'සූරියඅරණ' සහ 'සරෝජා' වැනි චිත්‍රපට නැරඹීමට රැගෙන ගියා. තේරෙන වයසට පැමිණි පසු අප දෙදෙනාටම නැරඹිය හැකි චිත්‍රපට බැලුවා. රූපවාහිනියේ කොපමණ ටෙලිනාට්‍ය නැරඹුවත් මගේ සිත තිබුණේ චිත්‍රපට කෙරෙහියි. ටෙලිනාට්‍ය අවතක්සේරු කර කතා කරනවා නොවෙයි, නමුත් මගේ සිහිනය තිබුණේ සිනමාව තුළයි. පුළුල් තිරයේ මාව දැකීමට මා දැඩි ආශාවෙන් සිටියා. එම සිහිනයට ළඟා වන්නේ කෙසේද යන්න පිළිබඳව මට එදා දැනුමක් තිබුණේ නැහැ. එහෙත් කාලයත් සමඟ මා එතැනට පැමිණියා.


මීට පෙර රඟපෑ චිත්‍රපට පිළිබඳවත් සඳහන් කළොත්?


මා මීට පෙර චමින්ද ඉලුක්වෙලගේ 'මාගම්සෝලි' සිනමා නිර්මාණයේ නීටා ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, අකලංක ප්‍රභාෂ්වර, සුජානි මේනකා, අනුරුද්ධිකා පාදුක්කගේ, ජගත් බෙනරගම සහ නලින් ප්‍රදීප් උඩවෙල වැනි ප්‍රවීණයන් රැසක් සමඟ රඟපෑමට අවස්ථාව ලැබුණා. එහෙත් එය තවම තිරගත වී නැහැ. මා එයට රංගනයෙන් දායක වූයේ 2023 වසරේදීයි. 'කොටු' චිත්‍රපටයට දායක වූයේ 2026 වසරේදීයි. 'මාගම්සෝලි' චිත්‍රපටයෙන් පසුව 'යකඩ මනමාලි' නමැති චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. එයත් තවම තිරගත වී නැහැ. මේ සියල්ලටම පෙර අවසානයටම රඟපෑ චිත්‍රපටය මුලින්ම තිරගත වුණා.


මේ දිනවල කලා කටයුතු කෙසේද?


මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වනවා. ඒ අතරින් 'කොළඹ කට්ටිය' ටෙලිනාට්‍යය පිළිබඳව බොහෝ දෙනා කතාබහ කරනවා. එමෙන්ම අහස ටීවී නාලිකාවේ විකාශනය වන ශ්‍යාම් ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක් වන 'කොටුව පිටකොටුව' සහ 'එයත් ලස්සනයි' යන ටෙලිනාට්‍යත් විකාශනය වනවා. සියත නාලිකාවේ 'දූවිලි' ටෙලිනාට්‍යයත් විකාශනය වනවා.


ටෙලිනාට්‍ය සඳහා ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කෙබඳුද?


හොඳ සහ නරක යන දෙපැත්තෙන්ම මට ප්‍රතිචාර ලැබෙනවා. මා ඒ දෙකම භාරගන්නවා. මගේ ටෙලිනාට්‍ය මා අනිවාර්යයෙන්ම නරඹනවා. මා ක්ෂේත්‍රයට අලුතින් පැමිණි කෙනෙක් නිසා මගේ අඩුපාඩු සකසා ගත යුතුයි. කවුරුන් හෝ මගේ අඩුපාඩුවක් පෙන්වා දුන්නොත් මා එය පිළිගන්නවා. දැන් පෙර මෙන් නොවෙයි, පාරට බැස යන විට යම් පිරිසක් මාව හඳුනාගන්නවා. එයත් මට ඇත්තෙන්ම විශාල සතුටක්.


චිත්‍රපටයෙන් පසු කාලය යහපත් වී ඇති බව පෙනෙනවාද?


එයට ප්‍රධානම හේතුව වූයේ 'කොටු' ටෙලිනාට්‍යයේ මිහිරි චරිතයයි. එම චරිතය බොහෝ දෙනා අතරට ගොස් තිබුණා. දෙවැනි වරට මා ක්ෂේත්‍රයට පැමිණෙන විට මෙම ගමන ආරම්භ වන්නේ 'කොටු' හරහායි. ඒ නිසා සායක්කාර අයියා ඇතුළු පිරිසට, කාර්යමණ්ඩලයට මෙන්ම එම නිර්මාණයට සම්බන්ධ වූ සියලුම දෙනාට මා ස්තූතිවන්ත වනවා. අදටත් මට 'මිහිරි' යනුවෙන් කතා කරන පිරිසක් සිටිනවා.


'දූවිලි' ටෙලිනාට්‍යය පිළිබඳවත් කතා කරමුද?


එය හොඳ ප්‍රතිචාර ලැබෙන ටෙලිනාට්‍යයක්. චන්දන හේවාපතිරණගේ අධ්‍යක්ෂණය යටතේ රඟපෑමට ලැබීමත් මට ලැබුණු විශාල අවස්ථාවක්. එහි ඉතා සුහදශීලී නිෂ්පාදක කණ්ඩායමක් සිටිනවා.


'කොටුව පිටකොටුව' ටෙලිනාට්‍යය පිළිබඳව සඳහන් කළොත්?


එය ශ්‍යාම් ප්‍රනාන්දු අයියාගේ ටෙලිනාට්‍යයක්. එය වෙනස්ම නිර්මාණයක් වන අතර මා මෙතෙක් නිරූපණය නොකළ චරිතයක් තමයි එහි රඟපාන්නේ. මා ශ්‍යාම් අයියාව මුලින්ම හඳුනාගත්තේ කෙටි චිත්‍රපටයක් හරහායි.


'කොළඹ කට්ටිය' සමඟ ගෙවෙන අත්දැකීම කෙබඳුද?


'කොළඹ කට්ටිය' ටෙලිනාට්‍යයේ රූගත කිරීම් මේ දිනවල සිදු කෙරෙනවා. එහි මා නිරූපණය කරන්නේ ගැමි චරිතයක්.


ටෙලිනාට්‍ය රැසක් එකවර විකාශනය වීම අවාසියක් ලෙස ඔබට සිතෙනවාද?


එසේ අවාසියක් ලෙස මට සිතෙන්නේ නැහැ. මන්ද එකිනෙකට වෙනස් චරිත තුනක් සහ වෙනස් නාලිකාවලයි ඒවා විකාශනය වන්නේ. ඒ නිසා එය අපරාධයක් යැයි කිසිසේත්ම සිතන්නේ නැහැ. මා සතුටින් වැඩ කරන අතර මේ ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ ඉතා ආශාවෙනුයි.


මේ අතර හිරු නාලිකාවේ 'ඔබ එන්න ඇවිත් යන්න' නමින් ටෙලිනාට්‍යයකුත් විකාශනය වනවා නේද?


ඔව්. එහි සම්පූර්ණයෙන්ම නවීන තරුණියකගේ චරිතයක් තමයි මට ලැබී තිබෙන්නේ. එහිදී මට බොහෝ විට රඟපෑමට තිබෙන්නේ මාධනී මල්වත්ත අක්කා සමඟයි. මාධනී මල්වත්ත යනු මගේ පළමු නාට්‍ය ගුරුවරියයි. මා ක්ෂේත්‍රයට පැමිණියේ වැඩමුළුවක් හරහායි.


සුලෝ මේ වන විට කාර්යබහුල රංගන ශිල්පිනියක් බවට පත්ව සිටිනවාද?


මට කළ හැකි ප්‍රමාණයට පමණයි මා නිර්මාණ භාරගන්නේ. එක් නිර්මාණයක නිරතව සිටින විට තවත් වැඩක් භාරගැනීමට පෙර දෙවරක් සිතනවා. මට ලොකු කලබලයක් නැහැ. ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශනය වුවත් ඒවාට මට ලබාදිය හැකි සහයෝගය අනුවයි මා වැඩ භාරගෙන තිබෙන්නේ. මා වැඩ මඟහරින කෙනෙකු නොවෙයි.


භාරගත් නිර්මාණ අතරමග දමා ගිය අවස්ථා තිබෙනවාද?


නැහැ. නිර්මාණයකට කතා කර මාව විශ්වාස කර එය භාරදෙනවා නම් එය මගේ වගකීමක්. එම වගකීම දැරීමට මා කැමැතියි. මා මේ ක්ෂේත්‍රයට පැමිණියේ රඟපෑමට ඇති කැමැත්ත නිසයි. එමෙන්ම මට එසේ වැඩ අතහැර යාමට අවශ්‍යතාවකුත් නැහැ. මේ ක්ෂේත්‍රයේ පැවැත්මක් ඇතිව ඉදිරියට යා යුතු නිසා සෑම විටම හොඳ ගතිපැවතුම් රැකගනිමින් මෙම ගමන යාමටයි උත්සාහ කරන්නේ.


රංගන ජීවිතයේදී මුහුණ දෙන අභියෝග මොනවාද?


අභියෝග තිබෙනවා. මට කුඩා දරුවෙකු සිටිනවා. පවුල් ජීවිතයත් සමබරව පවත්වාගනිමින් මෙම ගමන යාම තමයි මගේ විශාලතම ජයග්‍රහණය. ඒ සඳහා මට නිවසින් විශාල සහයෝගයක් ලැබෙනවා. ක්ෂේත්‍රය තුළදී ලැබෙන සෑම චරිතයක්ම අභියෝගයක් තමයි.


ඉදිරියේදී දිගටම සිනමාවේ රැඳී සිටීමටද සූදානම් වන්නේ?


සිනමාවේ ඉදිරියට යාමට අවස්ථාව ලැබෙනවා නම් මා කැමැතියි. ඒ වෙනුවෙන් මගේ පැත්තෙන් කළ යුතු කැපකිරීම් කිරීමටත් සූදානම්. ඇත්තෙන්ම මට චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණා. එහෙත් මා පෞද්ගලිකව අකැමැති ඇතැම් දේවල් එම පිටපත්වල අඩංගු වී තිබුණා. සිනමාව වෙනුවෙන් නිරුවත් වීමට මා කැමැති නැහැ. මා මගේ ගමන යා යුතුයි. ඒ නිසාම මට ලැබුණු ඇතැම් පිටපත් මා ප්‍රතික්ෂේප කළා. නමුත් ඉදිරියේදී ආරාධනා ලැබෙන හොඳ පිටපතකට දායකත්වය ලබාදීමට කැමැතියි.


රඟපෑමට පිවිසීමට පෙර ඔබ නිරත වූයේ මොනවාද?


රඟපෑමට පැමිණීමට පෙර මා රැකියා කිහිපයක්ම කළා. ඒ සියල්ලම එපා වී 2019 වසරේ අගභාගයේදී රැකියාවෙන් ඉවත් වුණා. නැවත කිසිදාක කා යටතේවත් රැකියාවකට නොයන බවටයි මා එදා සිතාගෙන සිටියේ. මා මූල්‍ය ආයතනයක ප්‍රධාන ශාඛාවක සේවය කළා. ඉන්පසු වොෂින් ගාමන්ට් ආයතනයක කම්හල් සම්බන්ධීකාරකවරියක ලෙසත් කටයුතු කළා. අවසානයටම සේවය කළේ පෞද්ගලික රෝහලක ගණකාධිකාරි අංශයේයි. රැකියා එපා වූයේ එතැනිනුයි.


ඉන්පසු මනාලියන් ලෙස හැඩගැන්වෙන නිරූපිකාවක ලෙස දිගටම කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා. 2022 වසරේ රූපවාහිනී අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වීමෙන් අනතුරුව රංගනයට ආරාධනා ලැබුණා. රඟපෑම ඉගෙන ගැනීමෙන් පසුවයි මා ක්ෂේත්‍රයට පැමිණියේ. ඉන්පසු වෙළෙඳ දැන්වීම් සඳහාත් ආරාධනා ලැබුණු අතර අවසානයේදී සිනමාවට පිවිසුණා.


ජීවිතය ජයගෙන ඇති බවක් ඔබට හැඟෙනවාද?


අතීතයේ සිදු වූ දේවල්වල වැරදි අඩුපාඩු තිබුණත් ඒ පිළිබඳව සිතා පසුතැවෙන කෙනෙකු නොවෙයි මා. මා බොහෝ සුබවාදීව සිතන කෙනෙක්. හොඳම දේවල් හොඳම වෙලාවට ලැබෙන බවයි මා සෑම විටම විශ්වාස කරන්නේ. අද මට හොඳම අවස්ථාවක් අහිමි වුවත් ඊළඟ අවස්ථාවේදී ඊට වඩා හොඳ අවස්ථාවක් ලැබෙන බව මා දන්නවා. මා එය අත්විඳ තිබෙනවා.


මේ ක්ෂේත්‍රය දෙස ඇතැම් පිරිස් බලන ආකාරය වෙනස් විය හැකියි. මගේ අම්මා පවා ඇතැම් අවස්ථාවලදී සමහර දේවල්වලට චෝදනා කරනවා. එහෙත් ඒ සියල්ලටම නිදහස ලබා දුන් හොඳ සැමියෙක් මට සිටිනවා. ඔහු සමඟ කතාබහ කර බොහෝ ගැටලු විසඳාගැනීමට මට හැකියාව තිබෙනවා. ක්ෂේත්‍රයේ සිටින විට කතා හැදීම සාමාන්‍ය දෙයක්. අප යා යුතු ගමන අප දන්නවා. මට ඉලක්කයක් සහ අරමුණක් තිබෙනවා. එයට ළඟා විය යුතු ආකාරය පිළිබඳ සැලසුමකුත් මගේ සිතේ තිබෙනවා. ඒ නිසා කලබලයකින් තොරව මා එම ගමන සෙමින් යනවා.


මූලාශ්‍රය – දිනේෂ් විතාන (ඡායාරූප – සජීව ලක්ෂාන්)


ENGLISH SUMMARY: Sri Lankan actress and model Sulochana Harapathdeniya, widely known as Sulo Harapathdeniya, has opened up about her transition to the silver screen, her current television projects, and her personal boundaries in cinema. Having gained popularity as Mihiri in the teledrama Kotu, she makes her first theatrical appearance in the 2026 film adaptation of Kotu, playing a completely different character with the same name. While she previously acted in Chaminda Ilukwela's Magamsoli in 2023 alongside veterans including Nita Fernando, Cletus Mendis, Dilhani Ekanayake, and Sujani Menaka, as well as the upcoming film Yakada Manamali, Kotu became her first release. On television, Sulo currently appears in Doowili directed by Chandana Hewapathirana on Siyatha TV, Shyam Fernando's Kotuwa Pitakotuwa on Ahasa TV, Kolamba Kattiya, Eyath Lassanai, and Oba Enna Awith Yanna on Hiru TV alongside her first drama teacher, Madhani Malwatte. Speaking about her career choices, she stated that she has rejected certain film scripts because she refuses to appear nude for cinema. Before entering acting through a 2022 television Avurudu competition and bridal modeling, Sulo worked in finance, garment manufacturing, and hospital accounting until late 2019. Balancing motherhood with acting, she credited her supportive husband and family for helping her pursue her long-held dream in Sri Lankan cinema.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6

Previous Post Next Post