මේ දිනවල ඔබේ නව කලා කටයුතු කෙසේද?
මේ දිනවල මම නව ගීත කිහිපයක් වෙනුවෙන් සූදානම් වෙමින් සිටිනවා. පසුගියදා මගේ නවතම ආදර ගීතය වන "ඉල්මාසේ වැස්සේ" එළිදැක්වූවා. ටීවී දෙරණ නාලිකාව මගින් නිර්මාණය කළ එම ගීතය "සංගීතේ" ටෙලිනාට්‍යය වෙනුවෙන් ගායනා කළ එකක්.
ඒ අතරතුර ඔබ ප්‍රසංග වේදිකාවේද දකින්නට ලැබෙනවාද?
ඔව්, ප්‍රසංග සඳහාත් ආරාධනා ලැබෙනවා. ඒවාටත් මම සහභාගි වෙනවා.
"දෙරණ ඩ්‍රීම් ස්ටාර්" 12 වැනි අදියරේ ජයග්‍රාහිකාව ලෙස එම ජයග්රහණයෙන් පසු ඔබේ ජීවිතය වෙනස් වූයේ කෙසේද?
ඩ්‍රීම් ස්ටාර් ජයග්රහණයෙන් පසු මගේ ජීවිතයට බොහෝ දේ හිමි වුණා. ඒ අතරින් මට ලැබුණු වටිනාම දෙය වන්නේ මගේ හඬට ආදරය කරන රසික රසිකාවියන් පිරිසක් බිහිවීමයි. ඒ නිසා මේ වන විට ගායන ක්ෂේත්රයේ ඉතා සුන්දර ගමනක් යාමට මට හැකියාව ලැබී තිබෙනවා. මේ අවස්ථාවේදී "දෙරණ" පවුලේ සැමටත්, මගේ ගායන සිහිනය හැඩ කළ "දෙරණ ඩ්‍රීම් ස්ටාර්" වේදිකාවටත් බොහෝ ආදරයෙන් ස්තූතිවන්ත වෙනවා.
එදා අවසන් මහා තරගයට පිවිසෙන විට ජයග්‍රහණය ඔබට හිමි වේ යැයි සිතුවාද?
අවසන් තරගය දක්වා පැමිණීමම ජයග්‍රහණයක් ලෙසයි මම එදා දුටුවේ. මන්ද අපේ රටේ ගායනයට දක්ෂ ලක්ෂ ගණනක් අතරින් තමයි මම අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ. ඒ නිසා කුමන ප්‍රතිඵලයක් ලැබුණත් එය භාරගැනීමට මම සූදානමින් සිටියා. නමුත් වාසනාවට එදා මට ජයග්‍රහණය හිමි වුණා.
ඩ්‍රීම් ස්ටාර් ජයග්‍රාහිකාව ඔබ බව නිවේදනය කළ මොහොතේ කුමක්ද හැඟුණේ?
එය හරියට සිහිනයක් වගෙයි. ඩ්‍රීම් ස්ටාර් කිරුළ හිමි වූ ඒ සතුට අදටත් වචනවලට පෙරළා ගැනීමට මට අපහසුයි.
ඔබ කුඩා කාලයේදී "දෙරණ ලිට්ල් ස්ටාර්" රියැලිටි තරගයටද සහභාගි වී තිබෙනවා නේද?
ඔව්, මම මුලින්ම ලිට්ල් ස්ටාර් 07 වැනි අදියරට ඉදිරිපත් වුණා. එහිදී අවුරුදු 12න් පහළ ගායන අංශයෙන් අවසන් හත්දෙනා අතරට පැමිණ තරගයෙන් ඉවත් වීමට සිදු වුණා. ඉන්පසු 2016 වසරේ පැවති 08 වැනි අදියරට ඉදිරිපත් වී අවුරුදු 12න් පහළ ගායන අංශයේ අනුශූරතාව දිනාගැනීමට මට හැකි වුණා.
ඒ අනුව ගායිකාවක් වීමේ සිහිනය ඔබට කුඩා කාලයේ සිටම තිබී තිබෙනවා?
ඇත්තෙන්ම මම කුඩා කාලයේ සිටම සිහින දැක්කේ ගායිකාවක් වීමටයි. ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන නිසා සිතුවාටත් වඩා ඉක්මනින් මට ඒ සිහිනය සැබෑ කරගැනීමට හැකි වුණා. ඒ පිළිබඳව මට විශාල සතුටක් තිබෙනවා.
ඔබට භාෂා කීයකින් ගීත ගායනා කිරීමට හැකියාව තිබේද?
සිංහල, හින්දි සහ දමිළ යන භාෂා තුනෙන්ම මට ගීත ගායනා කළ හැකියි.
ඇතැම් ගායක ගායිකාවන් තමන්ගේ ගීත වෙනත් අය ගායනා කරනවාට කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ වන විට ඔබේද ජනප්‍රිය ගීත කිහිපයක් තිබෙනවා. ඒවා වෙනත් නවකයෙකු ගායනා කළහොත් ඔබ ඊට කැමතිද?
ඒ සම්බන්ධයෙන් මගේ කිසිදු විරුද්ධත්වයක් නැහැ.
ගායනයට අමතරව අප නොදන්නා ඔබේ වෙනත් දක්ෂතා මොනවාද?
මගේ ප්‍රධානම දක්ෂතාව ගායනයයි. ඊට අමතරව තරමක් දුරට නර්තනයේ යෙදීමටත් මට හැකියාව තිබෙනවා.
ඔබේ රූපයත් සමඟ රංගනය සඳහා ආරාධනාවක් ලැබුණහොත් එය භාරගන්නවාද?
මම රංගනය පිළිබඳව දන්නේ නැහැ.
නමුත් ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් බිහි වූ ඇතැම් තරු අද වන විට නළු නිළියන් ලෙසද ජනප්‍රිය වී සිටිනවා?
එය ඇත්තක්. නමුත් මට රංගනය පිළිබඳ හැකියාවක් නැහැ. ඒ නිසා මට හැකියාව ඇති දෙය කරගෙන ඉදිරියට යනවා.
ඔබේ පවුලේ විස්තර පිළිබඳවත් සඳහන් කළහොත්?
මගේ පවුලේ සිටින්නේ අම්මා, තාත්තා, අක්කා සහ මල්ලි. ඔවුන් තමයි මගේ ශක්තිය. මගේ මේ ගමනට පවුලෙන් ඉතා විශාල සහයෝගයක් ලැබෙනවා.
ආදරය පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
ආදරය යනු සැබැවින්ම සුන්දර දෙයක්. මේ වන විට මගේ පවුලෙන්, මිතුරන්ගෙන් මෙන්ම මගේ ගීත රසවිඳින ආදරණීය ප්රේක්ෂකයන්ගෙන් මට ඒ ආදරය උපරිමයෙන් ලැබෙනවා.
ENGLISH SUMMARY: Sri Lankan singer Janani Imathma, the winner of TV Derana's reality show Derana Dream Star Season 12, recently shared insights into her musical career, personal life, and future plans in a media interview. Speaking about her latest projects, Janani revealed that she is working on several new songs and recently released a romantic track titled Ilmase Wesse, produced by TV Derana for the popular teledrama Sangeethe, alongside performing at live concerts. Reflecting on her Derana Dream Star victory, she noted that gaining a loyal fan base is her greatest reward and that she still finds it difficult to put the joy of winning into words. Before her Dream Star triumph, Janani competed in Derana Little Star, reaching the top seven in Season 7 and winning runner-up in the under-12 singing category in Season 8 in 2016. Capable of singing in Sinhala, Hindi, and Tamil, she stated she has no objection to newcomers covering her songs. While she can dance a little, Janani clarified that she does not plan to pursue acting as she prefers focusing on her strengths. Crediting her parents, older sister, and younger brother for their support, she added that she currently feels surrounded by love from her family, friends, and fans.