පසුගිය කාලයේ විශාල සමාජ කතිකාවක් ගොඩනැඟූ 'අසංධිමිත' ටෙලිනාට්‍යය ඔබට කවරාකාරයේ අත්දැකීමක් ගෙන දුන්නා ද?
මෑතකාලීනව මා සම්බන්ධ වූ ටෙලිනාට්‍ය අතරින් ප්‍රේක්ෂකයන්ගේ ඉහළම ආදරය මෙන්ම විචාරක පැසසුම් දිනාගත් නිර්මාණය බවට 'අසංධිමිත' පත්වුණා. එහි මගේ රංගනයට වගේම බාහිර පෙනුමටත් විශාල වශයෙන් යහපත් ප්‍රතිචාර ලැබුණා. සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයන් මාව නිතරම දකින්නේ කටකාර, දඟකාර සහ තරමක මැර චරිතවලින්. නමුත් මේ චරිතය ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සැමියෙකු ඉන් මුදා ගැනීමට වෙහෙසෙන අතරේ, දරුවන් තිදෙනෙකු ද සමඟින් ජීවිතය ගැටගසා ගැනීමට අරගල කරන කාන්තාවකගේ චරිතයක් මම එහි නිරූපණය කළා. පවුලේ ඉහළින්ම අධ්‍යාපනය ලැබූ තරුණියක වුවත්, මවුපියන්ට අකීකරුව සිදුකරගත් විවාහය නිසා අනේකවිධ දුක් ගැහැට විඳීමට ඇයට සිදුවෙනවා. මට මෙවැනි ගැඹුරු චරිතයක් ලබාදීම සම්බන්ධයෙන් මම ශලිනිට බෙහෙවින් ස්තුතිවන්ත විය යුතුයි. මට මේ චරිතය සාර්ථකව කළ හැකි බවත්, එයින් මගේ ගමනේ විශාල වෙනසක් සිදුවනු ඇති බවත් ඇය එදා පැවසුවා. ඇත්තෙන්ම එයින් විශාල වෙනසක් සිදුවුණා. මට මෙවැනි පුළුල් පරාසයක චරිත නිරූපණය කළ හැකි බව පවසමින් මා දිරිමත් කළ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ද මම ස්තුතිවන්ත වෙනවා.
'එයත් ලස්සනයි' ටෙලිනාට්‍යයට සම්බන්ධ වීම පිළිබඳව දැනෙන්නේ කොහොම ද?
'එයත් ලස්සනයි' යනු සාරංග මෙන්ඩිස් මහතාගේ අධ්‍යක්ෂණයක්. කාර්යාලයක් තුළ සිදුවන හාස්‍යජනක සිදුවීම් මාලාවක් වටා ගෙතුණු මෙම කතාවට බොහෝ දෙනෙක් මේ වනවිටත් ආකර්ෂණය වී සිටිනවා. මම එහි නිරූපණය කරන්නේ 'රවීනා' නම් වූ කාර්යාල සේවිකාවකගේ චරිතයයි. ඇය විලාසිතාවලට ප්‍රිය කරන, අලංකාරව ඇඳ පැළඳ සිටීමට කැමති යුවතියක්. ඒ නිසා මටත් ඒ හරහා විවිධ විලාසිතා කිරීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම රවීනා යනු පවුලේ වගකීම් කරට ගෙන කටයුතු කරන ශක්තිමත්, උගත් තරුණියක්. තරුණියකට පවුලේ බරත් දරාගෙන කොතරම් දුරක් ඉදිරියට යා හැකි ද යන්න ඇයගේ චරිතයෙන් මනාව පිළිඹිබු වෙනවා. ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරයක් ලැබෙන, මා ද ඉතාම ආසාවෙන් නිරූපණය කරන වෙනස් ම ආකාරයේ චරිතයක් ලෙස එය හැඳින්විය හැකියි. මෙවැනි අලංකාර නිර්මාණයකට මා සම්බන්ධ කරගැනීම ගැන මම සාරංග අයියාට සහ චාමිකා අක්කාට ස්තුතිවන්ත වන අතර, මට සහාය දැක්වූ සම්පූර්ණ නාට්‍ය කණ්ඩායම ද ආදරයෙන් සිහිපත් කරනවා.
මේ දිනවල ඔබ වේදිකා නාට්‍ය ක්ෂේත්රය තුළත් ඉතා සක්‍රීයව කටයුතු කරනවා නේද?
ඔව්, මේ දිනවල මගේ වැඩි කාලයක් වෙන්වන්නේ වේදිකාව වෙනුවෙන්. එහිදී සුජීව ප්‍රියලාල්ගේ අධ්‍යක්ෂණයක් සහ මිහිර සිරිතිලකගේ පිටපතක් වන 'අදර ගෙදර' වේදිකා නාට්‍යය විශේෂයෙන් මතක් කළ යුතුයි. සාමාජිකයන් හය දෙනෙකුගෙන් යුත් පවුලක කතාවක් වන එහි, මම 'රාණි' නම් දෙමළ තරුණියකගේ චරිතයට පණ පොවනවා. එය මට ඉතා සුවිශේෂී අත්දැකීමක්. ලොකු කුඩා සැමට එකට හිඳ නැරඹිය හැකි සිනා සාගරයක් බඳු මෙම නාට්‍යය මේ වනවිටත් ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැලඳගෙන අවසන්. මා සමඟින් සුජීව ප්‍රියලාල්, දුලීකා මාරපන, ශෂී හේවාවිතාරණ, තාරුකී මෙන්ඩිස් සහ සේරි නවාංජනා යන ශිල්පීන් මීට දායක වෙනවා. ප්‍රේක්ෂක ඉල්ලීම් මත එය මේ දිනවල ඉතා සාර්ථකව වේදිකාගත කෙරෙනවා. ඊට අමතරව, දීගු කාලයක් පුහුණුවීම් සිදුකළ මංජුල කෝනාරගේ 'දීගෙකයි' වේදිකා නාට්‍යයත් මේ දිනවල වේදිකාගත වන අතර, තවත් නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වීමට මා බලාපොරොත්තු වෙනවා.
ක්ෂේත්රය තුළ ඔබ සැමදාමත් එකම ආකාරයට ප්‍රේක්ෂක ආදරය දිනාගත් ශිල්පිනියක්. ඒ පිළිබඳව ඔබට දැනෙන්නේ කුමක් ද?
මා කලා ක්ෂේත්රයට සම්බන්ධ වී මේ වනවිට වසර 15ක් පමණ ගතවී තිබෙනවා. ඒ ගෙවී ගිය කාලය පුරාවටම මා නිරූපණය කළ සෑම චරිතයකටම පාහේ ප්රේක්ෂකයන්ගෙන් නොඅඩුව ආදරය හිමිවුණා. වේදිකාව, පුංචි තිරය හෝ සිනමාව වේවා, මා රඟපෑ චරිතයක් ප්‍රේක්ෂකයන් මතක තබාගෙන ඒ ගැන මා සමඟ කතා කරන විට මට දැනෙන්නේ විශාල සතුටක්. මගේ පවුලේ අම්මා, තාත්තා සහ අක්කාගෙන් ලැබෙන ශක්තිය නිසා තමයි අදටත් මම මේ ක්ෂේත්රය තුළ ස්ථාවරව රැඳී සිටින්නේ. ඔවුන්ව මා මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මම මගේ ප්රේක්ෂකයන්ටත් ගොඩක් ආදරෙයි. ඔවුන් මට ලබාදෙන ආදරයට මම හරිම ලෝබයි. ඒ ආදරය අඩුවෙනවාට මම කොහෙත්ම කැමති නැහැ. ඉදිරියටත් මට හැකි උපරිමයෙන් හොඳ නිර්මාණ සඳහා දායක වෙමින් ප්‍රේක්ෂකයන් සමඟම රැඳී සිටීමයි මගේ එකම බලාපොරොත්තුව.
ENGLISH SUMMARY:
Sri Lankan actress Dhananji Tharuka is currently making waves across both television and stage. She recently gained widespread acclaim for her challenging role in the popular teledrama "Asandhimiththa," where she portrayed a struggling mother dealing with an addicted husband, a departure from her usual feisty character roles. Tharuka expressed her gratitude to Shalini for entrusting her with this profound performance. She also stars as Raveena, a stylish and responsible office worker, in the hit teledrama "Eyath Lassanai," directed by Saranga Mendis and co-produced by Chamika. In addition to her television success, Tharuka is highly active in theater. She currently plays the role of a Tamil girl named Rani in the family comedy stage play "Adara Gedara," directed by Sujeewa Priyalal and written by Mihira Sirithilaka, starring alongside Duleeka Marapana, Shashi Hewawitharana, Tharuki Mendis, and Seri Nawanjana. She is also part of Manjula Konara's stage play "Deegekai." Celebrating 15 years in the entertainment industry, Dhananji Tharuka credits her family for her enduring success and remains deeply grateful to her fans for their unwavering love.