වෙඩින් එකක් ගන්නවා කියන්නේ ඔළුවට ලොකු බරක් - ලෝචනා ජයකොඩි

gossiplanka image 1
 සමාජ මාධ්‍ය හරහා ගමනක් අරඹා මේ වනවිට පුංචි තිරයටත් රිදී තිරයටත් පිවිසීමට ඇය සමත් වී සිටින්නීය. ටික්ටොක් (TikTok) වීඩියෝ නිර්මාණය කරමින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඇය, ඉන්පසුව යූටියුබ් (YouTube) ඔස්සේ ද සිය නිර්මාණ ගමන ඉදිරියට ගෙන ගියාය. එතැනින් නොනැවතුණු ඇය අද වනවිට ටෙලිනාට්‍ය සහ චිත්‍රපට හරහා සිය රංගන හැකියාවන් ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එමින් සිටින්නීය. සමාජ මාධ්‍ය නිර්මාණ ශිල්පිනියක ලෙස ආරම්භ කළ ඒ ගමනේදී නව අත්දැකීම් රැසක් එක්කර ගනිමින් කලා ක්ෂේත්‍රයේ ඉදිරියටම යන ඇය, කවුරුත් ආදරයට හඳුනන ‘ලෝචි’ හෙවත් ලෝචනා ජයකොඩිය. මේ ඇය සමග කළ සුහද කතාබහයි.


ටික්ටොක් ඔස්සේ පටන් ගත් ගමන අද වනවිට සිනමාව දක්වාම ඇවිත් තිබෙනවා නේද ලෝචි? මේ දිනවල ඒ වැඩකටයුතුත් එක්ක ඔබ ගොඩක් කාර්යබහුල වෙලා නේද ඉන්නේ?


ඔව්, ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. මම මෑතකදී රංගනයෙන් දායක වුණු චිත්‍රපටයේ වැඩකටයුතුත් එක්ක තමයි මේ දිනවල කාලය ගතවෙන්නේ. ඉතින් ටිකක් විතර කාර්යබහුලයි. මේ දවස්වල ඒ චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු කරගෙන යනවා. ඊට අමතරව මගේ යූටියුබ් නාලිකාවේ වැඩ සහ සමාජ මාධ්‍ය වැඩකටයුතුත් සාමාන්‍ය විදිහට කරගෙන යනවා. ඒ වගේම අපේ ප්‍රසංගයක් ළඟදීම බහරේන්වල පැවැත්වෙන්න නියමිතයි. ඒ වෙනුවෙන් පුහුණුවීම් කරන ගමන් එහේ යන්නත් සූදානම් වෙලා ඉන්නවා.


ඔබට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?


මම මුලින්ම රඟපෑවේ ‘රේස්’ ටෙලිනාට්‍යයේ. ටික්ටොක් කළ නිසා තමයි මට ඒ අවස්ථාව හිමිවුණේ. ඊට කලිනුත් මට ආරාධනා කිහිපයක්ම ලැබිලා තිබුණා. නමුත් මම ඒවාට සම්බන්ධ නොවුණේ විශේෂ හේතුවක් නිසයි. 2018, 2019 කාලයේ රූපවාහිනී නාලිකාවලින් මට කිව්වා ඔවුන්ගේ නාට්‍යවල රඟපානවා නම් ටික්ටොක් කරන එක නවත්වන්න ඕනේ කියලා. මම ඒ නීතිවලට කැමැති වුණේ නැහැ. මොකද මම ප්‍රේක්ෂකයන් අතරට ආවේ එතැනින්. ඊටපස්සේ තමයි මට රේස් ටෙලිනාට්‍යයට කතා කළේ. ඒකෙදි කිසිම කෙනෙක් මට ඒ වගේ නීති දාන්න ආවේ නැහැ. ඊට කලින් මම කවදාවත් නාට්‍ය කට්ටලයක වැඩ කරලා තිබුණේ නැහැ. වෙළෙඳ දැන්වීමක් කළාම ඒක එක දවසකින් ඉවරයිනේ. හැබැයි ටෙලිනාට්‍යයකින් ලැබෙන අත්දැකීම ඊට වඩා වෙනස්. කාලයක් තිස්සේ එකම තැනකට ගිහින් ප්‍රවීණ පිරිසක් එක්ක වැඩ කරන්න එතැනදි අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඒ අත්දැකීම ලබාගන්න මට ලොකු වුවමනාවක් තිබුණා.


ඔබගේ පළමු සිනමා රංගනය වෙන්නේ ‘ඒක තමයි මේක’ චිත්‍රපටයයි. ඒ සඳහා ඔබට ආරාධනා ලැබුණේ කොහොමද?


මට ඒ චිත්‍රපටයට ආරාධනාව ලැබුණේ මම යූටියුබ් නිර්මාණකරුවෙක් නිසයි. ජනයි ප්‍රියයි දෙන්නා තමයි මට මුලින්ම කිව්වේ මේ වගේ චිත්‍රපටයකට සම්බන්ධ කරගන්න කතා කරනවා කියලා. ඊටපස්සේ තමයි සුරංග අයියා මට කතා කරලා චිත්‍රපටයට එන්න කියලා කිව්වේ.


යූටියුබ් නිර්මාණකරුවන් රැසක් සමග රඟපෑ ඒ චිත්‍රපටයේ වැඩකටයුතු වෙනස්ම අත්දැකීමක් වුණා නේද?


ඔව්, ඒක මගේ පළමු චිත්‍රපටය නිසා මට අලුත් අත්දැකීම් රාශියක් ලැබුණා. හැබැයි මේ අය එක්ක වැඩ කරන එකයි, මගේ යූටියුබ් යාළුවන් එක්ක වැඩ කරන එකයි අතරේ ලොකු වෙනසක් මට දැනුණේ නැහැ. මොකද අපි නිතරම එකට වැඩ කරන කට්ටියක්නේ. ඒ කාලය හරිම සුන්දරයි. උදේ ඉඳන් හවස් වෙනකන් එකට ඉන්නවා. ඒක පොඩි කණ්ඩායමක් නෙවෙයිනේ. විහිළු තහළු කරගෙන හරිම සතුටින් තමයි ඒ කාලය ගත කළේ. ඔවුන් එක්ක වැඩ කරන එක මට අලුත් දෙයක් වුණේ නැහැ, මොකද අපි හැමෝම මීට කලිනුත් එකට වැඩ කරලා තියෙන නිසා.


ඔබ අලුත්ම චිත්‍රපටයකට සම්බන්ධ වුණා කියලත් ආරංචියි?


ඔව්. ඒ චිත්‍රපටයේ නම ‘අග්නි ජය’. එහි නිෂ්පාදනය වගේම අධ්‍යක්ෂණය කරන්නේ මාංචන පීරිස්. මාංචන මට කතා කරලා කිව්වා මේ චරිතය ලියලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ලෝචි කියන චරිතයට ගැළපෙන විදිහටමයි කියලා. මාවම හිතේ තියාගෙන තමයි ඒක ලියලා තියෙන්නේ, ඒ නිසා පුළුවන් නම් සම්බන්ධ වෙන්න කියල ඔහු ආරාධනා කළා. ඉතින් ඒ විදිහට තමයි මම ඒ චිත්‍රපටයට සම්බන්ධ වුණේ.


අග්නි ජය චිත්‍රපටය ගැනත් යමක් කියමුද?


ඒක සාමාන්‍ය ආදර කතාවක් තියෙන චිත්‍රපටයක් නෙවෙයි. ඒක ක්‍රියාදාම චිත්‍රපටයක්. ත්‍රාසය, භීතිය සහ කුතුහලය පිරුණු, ඒ වගේම සමාජයට ලස්සන ආදර්ශයක් දෙන නිර්මාණයක්.


ලෝචි, මේ දවස්වල ඔබේ විවාහය ගැනත් විවිධ කතා අහන්න ලැබෙනවා. ඔබ දැන් විවාහයට සූදානම් වෙලාද ඉන්නේ?


ඇත්තටම තවම කිසිම දෙයක් සැලසුම් කරලා නැහැ. මට විවාහ යෝජනාව ආවට පස්සේ තමයි මම දැන් වෙඩින් එකක් ප්ලෑන් කරන්න ඕනේ නේද කියන අදහස මගේ ඔළුවට ආවේ. සාමාන්‍යයෙන් එහෙමනේ වෙන්නේ. දැන් තමයි මම වෙඩින් එකට අඳින්නේ මොකක්ද, ඒක ගන්නේ කොහේද කියන දේවල් ගැන ටික ටික හිතන්න පටන් අරන් තියෙන්නේ. තවම දිනයක්වත් තීරණය කරලා නැහැ. හැබැයි මම හිතනවා ලබන අවුරුද්දේ මම වෙඩින් එක ගනීවි කියලා. දැන් නම් මට හිතෙන්නේ විවාහ උත්සවයක් ගන්නවා කියන්නේ ඔළුවට ලොකු බරක් කියලයි. ඒත් තාම මුකුත් සැලසුම් කරලා නැහැ.


අලුතින් ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබුණේ නැද්ද?


අලුතින් ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවා. හැබැයි දැනට මම ටෙලිනාට්‍යවල රඟපාන්නේ නැහැ කියන තීරණයේ තමයි ඉන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි, මම මේ දක්වා කරපු ගොඩක් චරිත මගේ ඇත්ත ‘ලෝචි’ කියන චරිතයට ගොඩක් සමාන වීම. මම රඟපෑ චිත්‍රපට දෙකේම මගේ නම වුණෙත් ලෝචි. ඒ නිසා මම හිතුවා ඉදිරියේදී ටෙලිනාට්‍යයක් කරනවා නම්, මගේ වෙනස් පැතිකඩක් ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න පුළුවන් විදිහේ කලාත්මක නිර්මාණයක් ආවොත් විතරක් සම්බන්ධ වෙනවා කියලා.


ලෝචි, දැන් ඔබේ නංගිත් යූටියුබ් වීඩියෝ හරහා ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්නවා නේද?


ඔව්. මම කරන දේවල් දිහා බලාගෙන ඉඳලා එයා මේ ආපු ගමන ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. අපි දෙන්නට දෙන්නා ගොඩක් උදව් කරගෙන තමයි වැඩකටයුතු කරගෙන යන්නේ. අපි ගෙදර ඉන්නෙත් එකටමනේ. එයාගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා වෙනත් ක්ෂේත්‍රයක හිටියේ. හැබැයි එයා දැන් මේ මාර්ගය තෝරාගත්ත එක ගැන මට ඇත්තටම සතුටුයි. මොකද මේ ක්ෂේත්‍රයෙන් ලැබෙන දේවල් මොනවාද කියලා මම දන්නවා. එයා මේ ගමන යනවාට මම කැමැතියි. එතකොට තමයි මම මගේ ජීවිතේ ඇත්තටම සතුටින් ඉන්නේ. නංගිට ඒ දේවල් ලැබෙනකොට මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ශලනි අක්කාගේ අලුත් චිත්‍රපටයෙත් නංගි රඟපෑවා. ලබන අවුරුද්දේ ඒකත් තිරගත වෙයි. එයා මට වඩා ගොඩක් දක්ෂයි. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.


ලෝචිගේ යූටියුබ් නාලිකාව විකට වීඩියෝ පැත්තෙන් ගොඩක් ජනප්‍රියයි. ඒ ගැන මොකද හිතෙන්නේ?


මම මුලින්ම ටික්ටොක් කළෙත් කොමඩි පැත්තට බරව නිසයි ඒ ජනප්‍රියත්වය ලැබුණේ. කට්ටිය මගේ ඒ වීඩියෝ බලන්න වගේම මගේ කොමඩි පැත්තට කැමැතියි කියලා මට පසුව තේරුණා. ඒ කාලේ මම පිටරට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ගොඩක් ෆලෝ කළා. ඉතින් මට හිතුණා ලංකාවෙත් ඒ වගේ නිර්මාණකරුවෙක් වෙන්න මට බැරිද කියලා. ඒ කාලේ වෙනකොට ජනයි ප්‍රියයි, රැට්ටා වගේ කට්ටිය යූටියුබ් එකේ හිටියා. මම දැක්කා ඒ අතරේ කෙල්ලෙක් නැති අඩුවක් තියෙනවා කියලා. ඒ අඩුව පුරවන්න ඕනේ නිසයි මම යූටියුබ් චැනල් එක පටන් ගත්තේ.


ඒ වගේම ඔබ ‘ලෝචි ටියුන්’ කියලා අලුත් වැඩකුත් පටන් ගත්තා නේද?


මම කාටූන් බලන්න ගොඩක් කැමැති කෙනෙක්. ඒ ආසාව නිසාම තමයි ඒක පටන් ගත්තේ. ඒ වැඩේට හොඳ ප්‍රතිචාර ලැබුණා. හැබැයි මේ දවස්වල තියෙන කාර්යබහුලත්වය නිසා ඒක දිගටම කරගෙන යන්න වෙලාවක් නැහැ. කාටූන් හඬකවන එක ටිකක් අමාරු වැඩක්. හැබැයි මම කවදාහරි වයසට ගියත් කාටූන් චැනල් එකක් විදිහට ඒක තියෙනවනේ. ඒ නිසයි මම ඒක ආරම්භ කළේ.


ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද? ඉදිරියේදී මොන වගේ නිර්මාණ හරහා ලෝචිව දැකගන්න පුළුවන් වෙයිද?


ඇත්තටම මට එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. දැන් තියෙන එකම අරමුණ භාරගත්ත වැඩ ටික හරියට කරගෙන යන එකයි. මට ඕනේ නිදහසේ ජීවත් වෙන්න. එහෙම නිදහසක් තියෙනවා නම් මට මේ වැඩ ටිකත් සාර්ථකව කරගෙන යන්න පුළුවන්. ලොකුවට කාර්යබහුල වෙන්නේ නැතිව මගේ වැඩකටයුතු කරගෙන පාඩුවේ ඉන්න තමයි මම කැමැති.


ENGLISH SUMMARY:

Sri Lankan social media creator and actress Lochana Jayakodi, widely known as Lochi, discussed her entertainment career, upcoming films, and personal life in a candid interview. Transitioning from TikTok and YouTube to mainstream acting, Lochi is currently busy promoting her debut feature film 'Eka Thamai Meka,' co-starring popular YouTubers Janai Priyai and directed by Suranga de Alwis. She is also set to star in 'Agni Jaya,' an upcoming action thriller directed by Manchana Peiris. Lochi revealed she previously rejected early TV roles because channels demanded she quit TikTok, eventually making her acting debut in the 'Race' teledrama instead. She is now turning down repetitive television scripts to pursue more artistic roles.


Addressing recent marriage rumors, Lochana Jayakodi confirmed she received a proposal but is yet to finalize her wedding plans, venue, or dates. Admitting that planning a wedding feels like a 'huge headache,' she hinted the ceremony will likely take place next year. Alongside preparing for a live show in Bahrain, Lochi expressed immense pride in her younger sister’s growing YouTube success and her upcoming cinematic debut alongside actress Shalani Tharaka. She also mentioned her passion project, the 'Lochi Tune' cartoon dubbing channel, which is currently paused due to her busy acting schedule.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5

Previous Post Next Post