කුවියාන් සම්මාන උලෙළේ හොඳම සහය නිළිය වූ සවිනි යකුපිටිය

gossiplanka image 1
 ‘අළු පාට දේදුනු’ ටෙලි නාට්‍යයේ චාතූර්යා ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි සවිනි යකුපිටිය, මේ දිනවල කාගේත් අවධානය දිනාගෙන සිටින්නේ ‘පාට කුරුල්ලෝ’ ටෙලි නාට්‍යයේ ටානියාගේ චරිතය හරහාය. මීට පෙර ‘මාස්ටර් සර්’ හි අසිනි, ‘කළු අහස‘ හි තාරකී, ‘ලොක්කී – 2’ හි තරූ සහ ‘හිත ළඟ හිනැහුණා’ හි උදානා ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇයට, ටානියාගේ භූමිකාව සිය රංගන දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වී තිබේ. මෑතකදී කුවියාන් සිනමා සම්මාන උලෙළේදී හොඳම සහය නිළිය ලෙසින් ද සම්මාන ලැබූ සවිනි, මේ දිනවල තමන් ලබන අත්දැකීම් පිළිබඳව අදහස් දක්වා තිබුණාය.


ඇය ‘පාට කුරුල්ලෝ’ නිර්මාණය සඳහා සම්බන්ධ වී ඇත්තේ එහි අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ නිෂ්පාදක චාමර සමරවික්‍රම යන මහත්වරුන්ගේ ආරාධනයෙනි. ටානියා යනු කෙවින්ගේ පළමු පෙම්වතිය මෙන්ම එක්සත් රාජධානියේ ඔහුගේ ව්‍යාපාරික සගයෙකුගේ දියණියයි. නිම්නාවිගේ ගැටලු හේතුවෙන් ව්‍යාපාර කඩා වැටීමත් සමඟ කෙවින්ට යළිත් ටානියාව මුණගැසේ. ඔවුන් අතර දැන් ප්‍රේමයක් නොතිබුණත්, ගින්දර සහ පුළුන් එකට තැබීමට කෙවින් බියක් දක්වයි. කෙවින්ගේ ලෝකයම නිම්නාවි වී ඇති බව හොඳින්ම දන්නා ටානියා, අවබෝධයෙන් කටයුතු කරන තරුණියකි. කෙවින්ද නිම්නාවි පිළිබඳ සියලු දේ ඇයට පවසයි. කෙවින්ට නිම්නාවිව ලබාගැනීමට උදව් කිරීමේ අරමුණින් ඔහුටත් නොදන්වා ටානියා ලංකාවට පැමිණියත්, නිම්නාවි එයින් කලබල වන්නේ කෙවින්ගේ පැරණි පෙම්වතිය පැමිණි බව සිතමිනි. නිම්නාවිගේ එම වෙනස ඉදිරියේදී දැකගත හැකි බව සවිනි පවසයි.


නාට්‍යයට අතරමඟින් සම්බන්ධ වුවද, ටානියාගේ චරිතයට ලැබෙන අසීමිත ප්‍රේක්ෂක ආදරය පිළිබඳව සවිනි සිටින්නේ දැඩි සතුටකිනි. ඇය පෙනී සිටි පළමු සහ දෙවන කථාංග දෙකම යූටියුබ් ජාලය තුළ නැරඹුම් වාර මිලියනය ඉක්මවා ගොස් තිබේ. ප්‍රේක්ෂකයන් අනෙකුත් චරිත ආදරයෙන් වැලඳගෙන ඇති පසුබිමක තමන්ව කෙසේ භාරගනීවිදැයි මුලදී බියක් දැක්වුවත්, පළමු කථාංගය විකාශය වී පැය දෙකක් යාමටත් මත්තෙන් ඇයට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී ඇත. නිම්නාවිගේ නපුරුකම් මැද ටානියාගේ පැමිණීම ප්‍රේක්ෂකයන්ගේ සතුටට හේතු වී තිබූ අතර, “ඔයා යූකේ ඉඳල ආවද?”, “ඔයා කොතරම් හොඳ කෙනෙක්ද”, “කෙවින් ඔයාව අතහැරියේ ඇයි”, “එයා තමයි ඔයාට ගැළපෙනම කෙනා”, “ඔයත් හරිම ලස්සනයි” වැනි ප්‍රතිචාර මෙන්ම “ඔයා නිම්නාවියි කෙවිනුයි මැද්දට එන්න එපා” යනුවෙන් කළ තර්ජනාත්මක අදහස් ද ඒ අතර වූ බව ඇය සඳහන් කරයි. මෙතරම් කෙටි කාලයක් තුළ චරිතයකට මේ සා විශාල ආදරයක් ලැබුණු පළමු අවස්ථාව මෙය බව පවසන ඇය, ඒ මොහොතේම සිවාගුරුනාදන් මහතාට කතා කර සිය ස්තුතිය පුදකර තිබේ.


මෙම සාර්ථකත්වය පිටුපස ඇති ප්‍රධානතම හේතුවක් ලෙස සවිනි දකින්නේ අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණු සහයෝගයයි. ජයප්‍රකාශ් සිවගුරුනාදන් යනු ඇය වැඩ කිරීමට සිහින දුටු, ක්ෂේත්‍රයේ ප්‍රවීණතම අධ්‍යක්ෂවරයෙකි. පළමු දිනයේ ඔහු යන්තම් සිනහ වීම පමණක් සිදුකළ නිසා බියට පත් වූ සවිනි, වේශ නිරූපණ ශිල්පී වාසනා මාර්ගයෙන් ඔහුට කතා කිරීමට අවස්ථාව සලසාගෙන ඇත. එහිදී ඔහු ඉතා ආදරයෙන් කතා කරමින් ඇයට අවශ්‍ය මඟපෙන්වීම් ලබා දී තිබේ. පළමු දිනයේ තමන්ගේ මවටද රූගත කිරීම් සඳහා පැමිණීමට නොහැකි වීම සහ රටේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වීමේ පීඩනය නිසා තමන් දැඩි ව්‍යාකූලත්වයකින් සිටි බව ඇය සිහිපත් කරයි. එහෙත් එහිදී ප්‍රධාන නළු සජිත ඇන්තනී ඇතුළු සමස්ත කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය චරිතය ගොඩනඟා ගැනීමට විශාල ශක්තියක් වූ බව ඇය කෘතවේදීව මතක් කරන්නීය.


මේ අතර, අරවින්දන් විසින් අධ්‍යක්ෂණය කළ ‘AV007’ නම් දෙමළ සිනමාපටයේ දැක්වූ රංගන කුසලතාව වෙනුවෙන් සවිනිට පසුගියදා පැවති කුවියාන් සිනමා සම්මාන උලෙළේදී හොඳම සහය නිළියට හිමි සම්මානය ද හිමිවිය. දෙමළ ජනතාව වෙනුවෙන් පවත්වන මෙම සම්මාන උලෙළේ විශේෂත්වය වන්නේ, චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට පෙර රටවල් කිහිපයක ප්‍රවීණයන් පිරිසක් ඉදිරියේ ප්‍රදර්ශනය කර රංගන ශිල්පීන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කිරීමයි. එම සිනමාපටයට දායක වූ එකම සිංහල රංගන ශිල්පිනිය වූයේද සවිනිය. සම්පූර්ණයෙන්ම දෙමළ බසින් ලියැවුණු තිරපිටපත සිංහලට පරිවර්තනය කර, දෙබස් උච්චාරණය වන ආකාරය සිංහලෙන් ලියාගෙන අභියෝගාත්මක කැපකිරීමක් කරමින් ඊට සාර්ථකව මුහුණ දුන් බව පවසන සවිනි, තමන්ට සහාය දුන් සැමට ස්තුතිය පුදකර සිටින්නීය.


ENGLISH SUMMARY:

Sri Lankan actress Savini Yakupitiya has recently captured immense audience love for her role as Tania in the highly popular teledrama "Paata Kurullo," directed by Jayaprakash Sivagurunathan and produced by Chamara Samarawickrama. Although joining the series midway as Kevin’s supportive ex-girlfriend who returns from the UK, Savini's episodes rapidly crossed a million YouTube views. Despite initial nervousness about entering a top-ranked drama without her mother present on the first day, guidance from the director and encouragement from co-star Sajitha Anthony helped her successfully build the character. Savini, who previously gained recognition in hit dramas like "Alu Paata Dedunu," "Master Sir," "Kalu Ahasa," "Lokki 2," and "Hitha Langa Hinahuna," recently achieved a major milestone in her cinematic career. She won the Best Supporting Actress award at the Kuvian Cinema Awards for her performance in the Tamil film "AV007," directed by Aravindan. Notably, Savini Yakupitiya was the only Sinhalese actress in the film, taking on the challenge of learning Tamil dialogue through phonetic translations to deliver an award-winning performance.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post