මම අවුරුදු පහක් විතර ටෙලිනාට්‍ය රංගනයෙන් ඈත්වෙලා හිටියා-නිපුනිකා දිසානායක

gossiplanka image 1
කාලය ගෙවී ගියත් ප්‍රේක්ෂකයන්ගේ හදවත්වල රැදුණු ආදරය කිසිදා අඩු වන්නේ නැත. කලාව කියන්නේ ආදරය, කැපවීම එකට මුසු වූ සුන්දර දෙයකි. නිවේදිකාවක ලෙසින් ප්‍රේක්ෂක හදවත් දිනාගෙන පුංචි තිරයෙන් ඔබ හමුවට එන නිපුනිකා දිසානායක, ආදරණීය බිරිඳක්, මවක් සහ දක්ෂ කලාකාරිනියක්ද වේ.


කොහොමද මේ දවස්වල ඔබගේ ජීවිතය ගෙවෙන්නේ?


මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ පවුලේ වැඩකටයුතුත් එක්ක. කලා කටයුතුත් සමබරව කරගෙන යනවා. මගේ බබාලා දෙන්නා තවම පුංචියි. ඒ නිසා එයාලා එක්ක කාලය ගත කරන එක, එයාලගේ වැඩකටයුතු වෙනුවෙන් කාලය වෙන් කරන එක මට ගොඩක් වැදගත්. ඒ අතරේ මගේ නිවේදන කටයුතු, වොයිසින් වැඩ වගේම දැන් නැවතත් රංගන කටයුතුත් කරගෙන යනවා. මේ හැමදේම එක්ක ටිකක් කාර්යබහුල වුණත් හරිම සතුටින් ජීවිතය ගත කරනවා.


ඔබ පහුගිය කාලේ ටෙලි නාට්‍යවල වැඩිය පේන්න හිටියේ නැහැ නේද?


ඔව්, මම අවුරුදු පහක පමණ කාලයක් ටෙලි නාට්‍ය රංගනයෙන් ඈත් වෙලා හිටියා. ඒ කාලයේදී මගේ පෞද්ගලික ජීවිතයට වැඩි අවධානයක් දෙන්න මට අවශ්‍ය වුණා. විශේෂයෙන්ම දරුවන්ගේ පුංචි කාලය එයාලත් එක්ක ගත කරන්න මම කැමති වුණා. හැබැයි මම කලාවෙන් සම්පූර්ණයෙන්ම ඈත් වුණේ නැහැ.


නිවේදිකාවක ලෙස ක්ෂේත්‍රයට ඇවිත් පසුව රංගන ශිල්පිනියක ලෙස ආ ගමන් මඟ දෙස නැවත හැරී බලනකොට මොකද හිතෙන්නේ?

ඇත්තටම මම මගේ ගමන ගැන නිහතමානීව සතුටු වෙනවා. නිවේදිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිත්, පසුව රංගනයට සම්බන්ධ වෙලා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගන්න මට අවස්ථාව ලැබුණා. ඒ ගමනේදී මට බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණා වගේම හොඳ අත්දැකීම් ලැබුණා. අදටත් මම කලින් සම්බන්ධ වුණු නිර්මාණ ගැන ප්‍රේක්ෂකයන් කතා කරනකොට ලොකු සතුටක් දැනෙනවා.විවාහයෙන් පස්සේ පවුලේ විස්තර ගැන සඳහන් කළොත්?මගේ දුවට දැන් අවුරුදු පහක්, පුතාට අවුරුදු දෙකක්. දෙන්නා එක්ක ගෙදර ජීවිතය හරිම සුන්දරයි වගේම ටිකක් දඟකාරයි. විශේෂයෙන්ම පුතා දැන් හරිම දඟයි. දරුවෝ දෙන්නාගේ පුංචි පුංචි දේවල් එක්ක දවස ගත වෙනවා දැනෙන්නේවත් නැහැ. මගේ පවුල, මගේ සැමියා මගේ ජීවිතයේ ලොකුම සතුට සහ ශක්තිය කියලා කියන්න පුළුවන්.


මව් පදවිය ලැබීම ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?

ඇත්තටම මව් පදවිය කියන්නේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන සුන්දර අත්දැකීමක්. දරුවෝ දෙන්නෙක් එක්ක ජීවත් වෙනකොට වගකීම් ගොඩක් තියෙනවා. එයාලගේ අවශ්‍යතා, අධ්‍යාපන කටයුතු සහ එයාලා වෙනුවෙන් කාලය වෙන් කරන එකත් එක්ක දවස ගෙවෙනවා. සමහර වෙලාවට මගේ වැඩකටයුතු සැලසුම් කරගන්න ටිකක් අමාරු වුණත් මගේ පවුලේ අයගෙන් විශේශයෙන්ම මගේ සැමියාගේ අම්මාගෙන් සහ තාත්තාගෙන් ලැබෙන සහයෝගය නිසා ඒ හැමදේම මම සතුටින් කරනවා. මට පුළුවන් හැම වෙලාවකම දරුවෝ දෙන්නා ළඟ ඉන්න, එයාලගේ පුංචි කාලයත් එක්ක ජීවත් වෙන්න මම කැමතියි.

මේ දවස්වල ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන අලුත් නිර්මාණ එහෙම තියෙනවද?

ඔව්. මේ දවස්වල මාව නැවතත් රංගනයෙන් දකින්න ලැබෙන්නේ හිරු TV ඔස්සේ විකාශය වෙන අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යය හරහායි. ඒ සඳහා මට ආරාධනාවක් ලැබුණාම මමත් හිතුවා නැවතත් රංගනයට සම්බන්ධ වෙන්න හොඳ අවස්ථාවක් කියලා. ඉදිරියේදීත් හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


ඔබ ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන කිව්වොත්?

මගේ පවුලේ කටයුතුත් එක්ක මගේ වෘත්තීය ජීවිතයත් හොඳින් ඉදිරියට ගෙන යන්න තමයි බලාපොරොත්තුව. නිවේදන සහ වොයිසින් කටයුතු දිගටම කරගෙන යන අතරේ මට ගැළපෙන, හොඳ නිර්මාණවලටත් සම්බන්ධ වෙන්න කැමතියි. මම හිතන්නේ එකපාරටම ගොඩක් දේවල් කරන්න උත්සාහ කරනවාට වඩා, තමන්ට ලැබෙන අවස්ථාවලින් හොඳම දේ තෝරාගෙන සතුටින් වැඩ කරන එක වැදගත් කියලා. ඒ වගේම මගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සහ පවුල වෙනුවෙන් මගේ කාලය වෙන් කිරීමත් මට ඉතාම වැදගත්.

ඔබේ ගමනේ සාර්ථකත්වය ගැන මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ?

මම මගේ ගමන ගැන ගොඩක් සතුටු වෙනවා. මම හිතන්නේ සාර්ථකත්වය කියන්නේ ජනප්‍රියත්වය හෝ අපි කොච්චර නිර්මාණවලට සම්බන්ධ වෙනවාද කියන එක විතරක් නෙවෙයි. තමන් කරන දේ ගැන තෘප්තිමත්වීම, පවුලේ අයත් එක්ක සතුටින් ජීවත්වීම සහ තමන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගේ ආදරය තවමත් ලැබීමත් සාර්ථකත්වයේ කොටස්.

ක්ෂේත්‍රයට එන නවකයින්ට ඔබ ලබාදෙන්නේ මොන වගේ පණිවිඩයක්ද?

මේ ක්ෂේත්‍රයට එන නවකයින්ට මම කියන්නේ තමන් කරනදේට ආදරය කරන්න, ඉවසීමෙන් වැඩ කරන්න සහ නිතරම අලුත් දේවල් ඉගෙන ගන්න කියලයි. ජනප්‍රියත්වය එක රැයකින් ලැබෙන දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් කැපවීම, මහන්සිය සහ තමන්ගේ හැකියාවන් දියුණු කරගැනීම අවශ්‍යයි. ඒ වගේම තමන්ට ලැබෙන හැම අවස්ථාවකින්ම දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න ඕන.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post