සිරිපැරකුම් චිත්රපටයේ සිරිමල් එතනා ලෙස සිනමාවට පිවිසි සොනාලි ෆොන්සේකා සිනමාවේ ගමන් මග තුළ ප්රේක්ෂකයාට ඉතිරි කළ චරිත බොහෝමයි. ඒ අමතක නොවන චරිත අතරට අලුතින්ම එක්වන ‘එදා රෑ' චිත්රපටයේ ඇනට්ගේ චරිතය දැන් ප්රේක්ෂකයන්ගේ හදවතට සමීපවී හමාරයි. වෙනස්ම චරිතයක් වන ඇනට් ගැන කතා කරන්න සෙනාලි ෆොන්සේකාට අප ආරාධනා කළා.
'එදා රෑ' චිත්රපටයේ ඇනැට් කියන්නේ මම රඟපාපු වරිතවලට වඩා වෙනස් චරිතයක්. මොකද මම ඉතිහාස කතා එක්ක සම්බන්ධ වුණාට ජීවිතයේ පළවෙනි අවස්ථාව තමයි මේ විදිහට අසූව දශකයකට ගිහින් ඒ විදිහට හැඩ වෙලා ඒ ඇඳුම් ආයිත්තම් මෝස්තරවලින් නිරූපණය වෙන විදිහේ චරිතයක් කරන්නේ. තවමත් ජීවතුන් අතර සිටින කෙනෙකුගේ චරිතයකට පණ පෙවීමට ලැබුණු පළමු අවස්ථාව තමයි මේ. ජනවාරි මෙම ආරාධනාව ලැබුණු දා පටන් ඒ වෙනුවෙන් අසූව දශකයේ චිත්රපට, ඡායාරූප සහ ගැහැනු ළමයින්ගේ හැඩතල පිළිබඳව හැදෑරීම් කළා. ඒ එක්කම සැබෑ ජීවිතයේ ඇනට් කවුද කියලා සොයා බලා නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට කිරීමට කටයුතු කළා. ඇනට් කියන චරිතය ඇත්ත චරිතයක් නිසාවෙන්ම ඇය කියන්නේ කවුද කියලා දැන ගන්න මට ඕන වුණා. ඡායාරූපයකින් මට ඇයව දැකගන්න පුළුවන් වුණා. නමුත් ඇයව හමුවෙලා කතාබහ කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අදටත් ඇනට් එක්ක කතා කරන්න ආසාව තියෙනවා. ඇයව හම්බවෙලා පරණ කතා අහන්න. ඉතින් මට ඒ අවස්ථාව හම්බ වුණේ නැහැ. ඇය ගැන මිල්ටන් මල්ලවආරච්චි මහත්මයා කියලා තියෙන කතා එක්ක තමයි මේ චරිතය ඉස්සරහට ගොඩනගාගෙන ගියේ. ඇනට්ගේ චරිතය ඇතුළේ තිබෙන සංකීර්ණ මෙන්ම හැඟීම්බර ස්වභාවය ප්රේක්ෂකයාට දැනෙන විදිහට ප්රතිනිර්මාණය කිරීම සොනාලිට
අභියෝගයක් වෙලා තියෙනවා.
චරිතයේ තියෙන ඒ ආදරණීය බව ඒ හැඟීම මගේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි මුලින්ම කල්පනා කළේ. ඇත්තටම ගත්තොත් ඇනට්ගේ ජීවිතයට ඇත්තටම මම වුණා නම්, මට මේ වගේ දේවල් කොහොමද දැනෙන්නේ, මොනවා වෙයිද කියලා මම හිතුවා. ඒ වගේම තමයි එතනින් එහාට ගත්තහම මම හැමතිස්සෙම කතා කරන්න කැමැති දෙයක් තමයි මේ නිර්මාණය සිද්ධ වෙන්නේ අසූව දශකයේ දර්ශනතලයකදී. අද කාලේ ගෑනු ළමයෙක් හිතන විදිහට නෙමෙයි හැත්තෑව, අසූව දශකයේ ජීවත් වෙන්නේ. ඒ දේත් හිතමින් ඒ හැම පොඩි කරුණක් ගැනම සැලකිලිමත් වෙලා තමයි මේ චරිතය ගොඩනැගුවේ. ඇස් දෙකේ දුකක් ද සතුටක් ද තියෙන්නේ කොයි වගේ බලාපොරොත්තුවක් ද තියෙන්නේ කියන දේවල් හැම දෙයක් ගැනම කාලයක් අරගෙන හිතලා තමයි මම මේ චරිතය ගොඩනගා ගත්තේ. හැබැයි කතන්දරයක් විදිහටම ගත්තහම මේක ඇතුලේ මිල්ටන් මල්ලව ආරච්චි තමයි කතාවේ වීරයා
වෙන්නේ.
එතකොට ඒ චරිතය එක්ක මම ගැන කොයි විදිහට කියවෙනවද කියන දේත් දැන ගැනීම අවශ්ය වෙනවා. එතනින් එහාට සුනෙත් අයියා සහ අරුණ අයියා එක්ක කතාබහ කරලා ඔවුන්ගේ දැක්ම අනුව තව තවත් වෙනස් වෙන්න ඕනේ කියන එකත් තේරුම් අරන්, කණ්ඩායමක් විදියට එකතු වෙලා ලස්සන චරිතයක් ගොඩ නගා ගන්න හැකි වුණා.
ෆොන්සේකා පරපුරේ කලා උරුමයත් එක්ක ක්ෂේත්රයට පැමිණි සෙනාලි අද වන විට ඒ උරුමය ඉදිරියට රැගෙන යමින් තිබෙනවා. ඒ වගකීම ගැනත් ඇය අවසන් වශයෙන් කතා කළා.
ඇත්තටම ගොඩක් සන්තෝසයි. මොකද මම ක්ෂේත්රයට ආවේ මගේ වාසගම හින්දා නොවෙයි කියන කාරණාව එදා ඉඳන් මම කියන දෙයක්. මොකද පොඩි කාලේ මම රංගනයට එන්න ආසාව තියෙන කොට මට හිතුනා සමහර වෙලාවට පවුලෙන් ලොකු උදව්වක් තිබුණේ නෑ නේ ඇයි එහෙම වුණේ කියලා පොඩි දුකක් තිබුණා. හැබැයි අද තමයි මට තේරෙන්නේ විශේෂයෙන්ම මගේ නැන්දා එහෙම කළේ අපිටම අපේ අනන්යතාව හදාගන්න කරපු උදව්වක් විදිහට කියලා. ඉතින් ඒක ගැන මම ඇත්තටම හරි සතුටු වෙනවා. මට තනියෙන්ම මාව ගොඩනගාගන්න මට දීපු නිදහස ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට මොනයම් විදියකින් හරි පවුලේ ආභාෂයෙන් වර්තයක් ලැබිලා තිබුණා නම් අද මට මේ විදිහට මේ ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ගැන ගොඩක් සතුටු වෙනවා. මොකද නැන්දා හැම වෙලාවේම කියපු දෙයක් තමයි තමන්ට දක්ෂතාව තියෙනවා නම් තමන් තමන්ගේ දක්ෂතාවය තුළ ගිහින් තමන් තමන්ට අනන්යතාවක් හදාගන්න ඕනේ මිසක් වෙන කාගෙන්වත් උදව්වෙන්වත් වෙන කාගේ කියමනක්වත් නිසා නෙමෙයි මේ ගමන යා යුත්තේ කියලා. ඒක නැන්දත් තාත්තත් මට මගේ ඔළුවට දීපු දෙයක්. ඒක නිසා තමයි සිරිපැරකුම් කරද්දී මම එංගලන්තයේ ඉඳන් ලංකාවට ඇවිත් ඔඩිෂන් එකට මුහුණ දීලා කාගෙන්වත් උදව්වක් නැතිව චරිතය සඳහා තේරුණේ. ඊට පස්සෙ අවුරුද්දක් විතර ඉඳලා මගේ සිනමා ගමනට අවශ්ය වටපිටාව හදා ගන්නවා.
අද වන විට රංගන ශිල්පිනියක් විදිහට රඟපෑ චරිත ගැන සතුටක් තියෙනවා. තවත් ඉදිරියට කරන්න දේවල් බොහෝමයක් තියනවා. මා ලබන අත්දැකීම් අනුව ඉදිරියේදී තවත් හොඳ චරිත ලැබේවි. හැබැයි නිළියක් හැටියට ඒත් මට තෘප්තිමත් වෙයිද කියලා කියන්න බැහැ. මොකද රංගන ශිල්පිනියක් හැටියට තවත් බොහෝ දුර ගමනක් යන්න තියෙනවා. අදටත් ලබන අත්දැකීම් සමගින් මම බොහෝම හිමින් හිමින් ඒ ගමන යනවා.