පසුගිය කාලයේ සුසුම් රස්තියාදුව, රේස්, ෂැඩෝ, නෝ හර් කිං, හිරු ඇවිදින්, එහේ ළමයි වගේ ටෙලිනාට්යවලින් ඔබ හමුවට ආ ඇය, මේ දිනවල ජහුටා, පාට කුරුල්ලෝ වැනි ටෙලිනාට්යවලින් ද දකින්න ලැබෙනවා. ඔය අතරේ මේ දිනවල සිනමා ලෝලීන් සිනමාහල්වල පොර කකා නරඹන ‘එදා රෑ’ චිත්රපටයේ නවලෝක මුදලාලිගේ දුවගේ චරිතය ද නිරූපණය කරනු ලබනවා. ඇයට ලැබෙන මේ පුංචි ඉඩකඩ ඇතුළේදී ඇය දක්වන රංගන දස්කම් ගැන බොහෝ දෙනා කතා බහ වෙනවා. කලා ක්ෂේත්රයේ තම සුවිශේෂී රංගන ප්රතිභාවෙන් ප්රේක්ෂක හදවත් දිනාගත් ඇය නමින් දිනිති වල්ගමගේ. කලකට පසු මෙවර අපි දිනිතිගේ හඬ අවදි කළා.
මම ඉතාම හොඳින් ඉන්නවා.
මේ දවස්වල රිදී තිරයෙන් දකින්න ලැබෙනවා?
ඔව්. මාව මේ දවස්වල ‘එදා රෑ’ චිත්රපටය හින්දා රිදී තිරයෙන් දකින්න ලැබෙනවා. ඉස්සරහටත් මාව රිදී තිරයෙන් දකින්න ලැබේවි.
‘එදා රෑ’ චිත්රපටයට ලැබෙන්නේ මොනවගේ ප්රතිචාරද?
මම ඇත්තටම හිතුවේ නැහැ ඒ චරිතයට එච්චර ප්රතිචාර ලැබෙවි කියලා. මොකද හරිම අඩු ස්ක්රීන් ටයිම් එකක් තියෙන්නෙ. ඒක තමයි චිත්රපටයක තියෙන විශේෂත්වය. අපිට හම්බවෙන පොඩි තිර කාලයක වුණත් තමන්ගේ චරිතය හරියට කළා නම් ඒක මිනිස්සුන්ගේ
මතකයේ රැඳෙනවා. ඒකට චරිතය ලොකු ද පොඩි ද අදාළ නැහැ. හරියට චරිතය නිරූපණය කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙනවා.
මේ සඳහා ආරාධනාව ලැබුණේ කොහොමද?
හිරු නාළිකාවේ විකාශය වුණු ටෙලිනාට්යයක් සඳහා මම රංගනයෙන් දායක වුණා. එහි අධ්යක්ෂවරයා වුණේ අරුණ ජයවර්ධන අයියා. ඉතිං ඒ, දැනහැඳුනුම්කම් මත ඔහුගෙන් මට මේ සඳහා ආරාධනාව ලැබෙනවා.
‘එදා රෑ’ නැරඹුවාට පසුව මොකද හිතුණේ?
ඇත්තටම මට ‘එදා රෑ’ නැරඹුවාට පසුව දාලා යන්න හිතුණේ නැහැ වගේ එකක් දැනුණා. ඉවර වුණේ අපරාදේ කියලා වගේ එකක් ඇතිවුණා. ඇත්තම කිව්වොත් නාමාවලියේ අන්තිම අකුර ඉවර වෙනකම් තිරය දිහා බලාගෙන හිටපු එකම චිත්රපටය.
‘එදා රෑ’ නරඹපු ප්රේක්ෂකයෝ ඔබ ගැන මුහුණුපොතේ හරි අපූරු සටහන් ලියලා තියෙනවා දැක්කා?
මම හිතුවේ නැහැ මට ඒ වගේ ප්රතිචාර ලැබෙයි කියලා. මම කරපු චරිතය ප්රේක්ෂකයන්ට මතකවත් තියේවි කියලා. මට මම ගැන හරි අහිංසක ආඩම්බරයක් දැනෙනවා සහ හරියට තෘප්තිමත් වෙනවා, මම ගැන වචන දෙකක් අකුරක් ලියන්න පෙලඹෙනවා කියන්නේ මම ඒ කෙනාට කාලය වැය කරන්න තරම් වටිනා කෙනෙක් වීම පිළිබඳව.
මේ දවස්වල රඟපෑම් වැඩකටයුතු එහෙම කොහොමද?
ජහුටා, පාටකුරුල්ලෝ, අවසන් ඡායාරූපය, ඩොපලීන් අවුලක්, යකඩ පවුල වගේ ටෙලිනාට්යවල රූගත කිරීම්වලට සම්බන්ධවෙලා ඉන්නවා. ඔය අතරේ චිත්රපට දෙකක රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතයි. රංගනයෙන් දායකවුණු චිත්රපට පහක් තිරගත වීමට නියමිතයි. ඉදිරි ජීවිතයේ ලොකු පෙළගැස්මක් තියෙනවා.
ගුවන්සේවිකාව මෙතෙක් ආ දුරගමන ගැන ආපසු හැරී බැලුවොත්?
ගුවන් සේවිකාවක් විදිහට මම අවුරුදු අටක් සේවයේ නියැළුණා. රැකියාවක් පිළිබඳව තිබුණ සිහිනය ඒක. මගේ හීනයට මම ගියා. ඒ හීනයට පස්සේ මට තව ලස්සන හීනයක් හම්බවෙනවා. මම ඒ හීනයට තව ආසා කරනවා. අන්තිමේ වැඩිපුරම ආස කරපු හීනයේ මම නවතිනවා. ගුවන් සේවිකාවක් විදිහට වැඩ කරපු කාලයේ ඒ රැකියාවට අතිශය කැමැත්තෙන් මම ඒ රස්සාව සිදුකළා. ඊට පස්සේ මම මගේ විවාහ ජීවිතයට ඇතුළු වෙනවා. විවාහ ජීවිතය කියන්නේ මගේ ඊළඟ ලස්සන හීනය. ඒ කාලෙ මම සතුටින් හිටියා වගේ විවාහ ජීවිතය ද මම අතිශය තෘප්තිමත්. මගේ ජීවිතයේ කවදාවත් නොලැබුණු තරම් නිදහසක් ලැබෙනවා. මට ලස්සන ලෝකයක් හම්බවෙලා තියෙනවා. ඒ සතුට තියාගෙන ජීවත්වෙන්න තමයි ආස.
සංගීත් රඟපාන ‘අලුත් සර්’ ගැන මොකද හිතෙන්නේ?
‘අලුත් සර්’ කියන්නේ මගේ සැමියාගේ හැරවුම් ලක්ෂ්යය. ‘අලුත් සර්’ කරද්දි එයාට චරිත දෙකක් නිරූපණය කරන්න සිද්ධ වුණා. ලොකු කැපෑසිටියක් තියෙන රංගන ශිල්පියෙක්. හැබැයි ඒක පෙන්වා ගන්න එයාට ගොඩක් අවස්ථා ලැබුණේ නැහැ. සද්ධා අයියා, චේතනී අක්කා, සුපුන් අයියා හින්දා එයාට හොඳ අවස්ථාවක් හම්බවෙලා තියෙනවා. මේ වෙලාවේ ශිවා අයියවත් මතක් කරන්න ඕනෑ. අපේ හැමදේටම එයත් පිටිපස්සෙන් ඉන්නවා. සැමියාට ලැබෙන ප්රතිචාර ගැනත් හරිම සතුටුයි.
ඔයත් මිල්ටන්ගේ රසිකාවියක්ද?
මම හිතන්නේ අපි හැමෝම මිල්ටන් සර්ගේ සින්දු අහලා තියෙනවා. අපේ අම්මලා අපි පුංචි කාලේ ඒ ගීත ගායනා කරලා තියෙනවා. මිල්ටන් සර් නැතිවුණත් අදටත් ඒ ගීත හරි ජනප්රියයි. එදා රෑ ගීතය මම හිතන්නේ නොමැරෙන ගීතයක්. මිල්ටන් මල්ලවආරච්චිගේ එදා රෑ චිත්රපටය බලන ගමන් ඒ වාදනය වන ගීත අපිට කියැවෙනවා. අපි ඒවා අහලා තියෙනවා. අපි නොදැනුවත්වම මිල්ටන් මල්ලවආරච්චිගේ රසිකාවියෝ වෙලා.
ඉදිරියට තිරගතවීමට නියමිත චිත්රපට මොනවාද?
ජයන්ත චන්ද්රසිරිගේ සමහරු සහ සමාගම, ශාන් ජයරත්නගේ සරා සුසුම්, අනුෂ්ක රසාංජනගේ අන්තෝ ජටා, එරංග සේනාරත්නගේ මැසෙන්ජර් වගේ චිත්රපට තමයි රූගත කරලා අවසන් කරලා තිරගතවීමට නියමිතව තියෙන්නේ.
දිනිති කියන්නේ ඇත්තටම කවුද?
හරිම සරල ඉක්මනට සතුටුවෙන ඉක්මනට දුක හිතෙන හරිම සංවේදී කිසිම කෙනෙකුගේ හිත රිද්දන්න අකැමැති චරිතයක්. දිනිති කවුද කියලා දිනිති කියනවාට වඩා මගේ යාළුවන්ගෙන්, මගේ අම්මාගෙන් තාත්තාගෙන් මගේ ස්වාමිපුරුෂයාගෙන් ඇහැව්වා නම් හරියටම කියයි.