අවුරුදු හතරයි, සම්මාන හතරයි - සුහන්දි වෝසදී

gossiplanka image 1
 

සුහන්දි මුලින්ම ටෙලි සිනමාවට එන්නේ ‘1990 ලව් ස්ටෝරි’ ටෙලියෙන්. හැබැයි ඇය ආලින්දයේ සිනමාව තුළ කතාබහට ලක්වන්නේ මන්දාරම් කතාවේ විදු චරිතය හරහායි. ටෙලි සිනමාව සමග බොහෝ දුර ගමනක් එන්න මේ වාසනාවන්ත නිළි තාරකාවියට භාග්‍යය ලැබෙනවා. මේ දවස්වලත් විකාශය වන ටෙලි කතා හතරකම චරිත මවන සුරංගනාවියක් වගේ හැඩකාර සුහන්දි ප්‍රේක්ෂක සිත් අතර වැඩිපුරම ආකර්ෂණය වෙලා ඉන්නේ මල් බිඟුන්හි අමාගිගේ චරිතය හමුවේ ඈ මවන සංවේදී රංගන විලාසය නිසයි. බොහෝ කාර්යබහුල සුහන්දිගේ කාල වේලාවෙන් විනාඩි 40ක් අප සොරාගත් නිමේෂයයි මේ පෙළගැසෙන්නේ.


කොහොමද කියමුකො බලන්න ඉතින් මේ දවස්වල තොරතුරු?

වරදක් නැහැ. රංගන කටයුතු අතර බොහොම කාර්යබහුලව ඉන්නවා.

මෑතකදී සුහන්දි නැවතත් ජනප්‍රියම නිළි සම්මානයකට හිමිකම් කිව්වා?

ඔව්. ඒෂියා මිරකල් සම්මාන උළෙලෙදි ජනප්‍රියම ටෙලි නිළියට හිමි සම්මානය මට ලැබුණා.

ටෙලි සිනමාවට ඇවිදින් දැනට අවුරුදු හතරයි?

ඔව්. හරියටම අවුරුදු හතරයි.

ඒ අවුරුදු හතර ඇතුළත ඔබ සම්මාන හතරකට හිමිකම් කියනවා?

ඔව්. 2025 අවුරුද්දේ සම්මාන දෙකයි, 2026 අවුරුද්දට සම්මාන දෙකයි.

මෑතකදී ගත් අවසාන සම්මානය ලැබුණේ අමාගිටද, සහේලිටද?

කොයි චරිතය නිසා එය ලැබුණද කියලා තීරණයක් ගන්න අමාරුයි. කොහොමත් ආලේ සහේලිට වගේම මල් බිඟුන් අමාගිටත් ප්‍රේක්ෂකයෝ තදින් ඇලුම් කරන බව ප්‍රතිචාරවලින් දැනෙනවා.

සුහන්දි ටෙලි සිනමාවට ආවේ ‘1990 ලව් ස්ටෝරි’ ටෙලියෙන්?

ඔව්. ප්‍රවීණයන් බොහොමයක් එක්ක ආධුනික මට ‘1990 ලව් ස්ටෝරි’ ටෙලියට දායක වෙන්න වාසනාව ලැබුණා.

ඒත් ඔබ ආලින්දයේ සිනමාව තුළ හිට් එකක් වුණේ මන්දාරම් කතාව හරහායි?

ඔව්. විදු නිසා තමයි මම නමක් හදාගත්තේ. ඒත් ‘1990 ලව් ස්ටෝරි’ තුළින් තමයි නිළියක් වීමේ වාසනාව මට උදාවුණේ.

එහි අධ්‍යක්ෂ රනිල් කුලසිංහයි ඔබට ඒ වාසනාව උදාකර දුන්නේ?

මෙහෙමයි. ප්‍රවීණ සහ සම්මානනීය නිළි නිල්මිණි තෙන්නකෝන් මිස් මාව ප්‍රවීණ නිර්මාණකරු රනිල් කුලසිංහට හඳුන්වා දුන්නා. මා තුළ යමක් කරන්න පුළුවන් රංගන ශිල්පිනියක් ඉන්න බව ඇය ඔහුට ඒත්තු ගැන්නුවා. ඉන් පස්සේ ඔහු මාව ධනුක ඩිල්ෂාන්ගේ නැගණිය සඳහා තෝරාගත්තා.

කුඩා කාලේ ඉඳන් දැකපු හීනේ සැබෑ වෙන්න ගත්තා?

සත්තකින්ම ඒ සොඳුරු හීනය මට බොහෝ බලාපොරොත්තු සහ එල්ලයන් දුන්නා. කොහොම හරි එය සැබෑවක් කරගන්නවාය කියලා මම දැඩි විශ්වාසයක හිටියා.

හිතුවද ඒ හීනය ඔබට මේ තරම් දේ මේ හැටිම දේවිය කියලා?

ඇත්තටම මේ තරමට ප්‍රේක්ෂක සිත්වලට මාව දැනෙයි කියලා නම් හිතුවේ නැහැ.




මොනවද හිතෙන්නේ සුහන්දි ඔබ සෑහීමකට පත්වෙනවද ඔබ ගැන?

මම අද ඉන්න තැන ගැන ප්‍රේක්ෂකයේ මාව තියපු තැන ගැන මම අසීමිතව සතුටු වෙනවා. ඒත් මම දැන් අංගසම්පූර්ණයි කියන හැඟීම ගැන සෑහීමකට පත්වෙන්න නම් තව බොහෝ දුරක් යායුතුව තියෙනවා කියන හැඟීම තුළයි මම තවමත් ඉන්නේ.

ඔබ හීන මැව්වේ හෙළ නිළි රැජින මාලනී ෆොන්සේකා වැනි නිළියක් වෙන්නයි?

යමක් තේරුම් ගැනීමට පුළුවන් කාලේ ඉඳන්ම මම හෙළ නිළි රැජිනගේ රුවට ඇලුම් කළා. ඈ වගේ වෙනවාය කියා බොළඳ වයසෙදි හීන දැක්කට ඈ වගේ වෙනවා තියා ඇයට ළං වෙන්නවත් මට බැරි වේවි. ඒ තරමට මාලනිය ගෞරවනීයයි. ශ්‍රේෂ්ඨයි.

දින නියමයක් නැතිව විකාශය වෙන මෙගා ටෙලි නිර්මාණ පමණක් ඔබ තෝරාගන්නේ ඇයි?

එහෙම තෝරාගැනීමක් කරන්නේ නැහැ. මම මුලින්ම ටෙලි සිනමාවට ආවේ සීමිත කොටස් ගණනක් විකාශය වූ ටෙලි නිර්මාණයකින්. ඒ වගේම මල් බිඟුන්, අමුතු දීගේ යන ටෙලි නිර්මාණවලද කොටස් ගණන සීමිතයි.

විකාශයෙහි සීමාවක් නොවන මෙගා ටෙලි කලාවෙහි ගුණාත්මක බව ගැන ඔබේ අදහස?

ටෙලි නාට්‍යයක තිරපිටපත සහ එහි චරිත රංගනයෙහි ගුණාත්මක බව මෙගා හෝ මෙගා නොවන කියා වාර්ග කරන්න බැහැ. දින නියමයක් නැතිව කොටස් ගණන සීමිත ටෙලි නිර්මාණවලද ගුණාත්මක බවින් අනූන කතා තියෙනවා. ඒ නිසා ඔබ කියන ඔබ වර්ග කිරීම සාධාරණ නැති බවයි මගේ හැඟීම. ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ සිනමා නිර්මාණකරුවකුද ඒ පිළිබඳ තම අදහස එලෙස දක්වා තිබුණා.

ඔබේ නවතම ටෙලි නිර්මාණ ගැනත් ටිකක් කතා කරමු?

රූගත කිරීම් ආරම්භ වීමට නියමිතව තිබෙන අලුත් ටෙලි නිර්මාණයකට සම්බන්ධව සිටිනවා. එහි නම හෝ කතා තේමාව ගැන දැන්මම කතාබහ නොකර ඉමු. පසුවට එහි වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති නිසයි එහෙම කිව්වේ.

ඔබේ සිනමා නිර්මාණය ගැන තවම කිසිවක් කියැවුණේ නැහැ?

නොකියාම ඉන්න එක කොහොමත් හොඳයි. එය ඉතා ආකර්ෂණීය ආදර අන්දරයක්. සංවේදී කතාවක්. දැනට ඒ ඇති.

ඔබේ සමහර උත්තර ටිකක් ආඩම්බරයි සුහන්දි?

නැහැ. මම බොහොම නිහතමානී බව මගේ ප්‍රේක්ෂකයෝ දන්නවා.

ප්‍රේම ආරාධනා බොහොමයක් ඔබ වෙත එනවලු?

ඔය කියන තරමට නම් නැහැ මං හිතන්නේ.

කොහොමත් තවමත් ඔබ පෙම්වතියක් නම් නෙවෙයි?

ඒවට තව ටිකක් කල් දෙනවා. රංගන කලාව තුළ තව දුර යන්න නිදහස අවශ්‍යයි.

ඔබේ හොඳම විවේචකයා සහ උපදේශකයා ඔබේ අම්මා කියලයි ආරංචිය?

ඔව්. අම්මා තමයි මගේ රඟපෑම්වල හොඳ නරක අවංකවම කියන්නේ. තාත්තා, නංගි, මල්ලිත් ඒ ගැන කතා කරනවා. එයාලා මට ලොකු සහායක් දෙනවා.

චැට් ෂෝවලට ඇවිදින් ඔබ කියන සමහර කතා ගැන අම්මා දොස් කියන කතාව ඇත්තද?

ඔව්නේ. ප්‍රෝග්‍රෑම් එකේ විවේකයක් ලැබුණු ගමන් කෝල් කරලා අම්මා බණිනවා. මොනවද ඔයා කියවන විකාර, පරිස්සමට කතා කරන්න කියලා.

ප්‍රවීණ නිළි නිල්මිණි තෙන්නකෝන් දුටු දුටු තැන ඔබව අගයනවලු?

ඇත්තටම ඔව්. මිස් නිල්මිණි හුඟාක් නිහතමානී ශිල්පිනියක්. මේ තැනට මට එන්න ආරම්භය දුන්නේ ඇයයි. ඇයට හරි සතුටුයි මම ඉන්න තැන ගැන. බොහොම ආඩම්බරෙන් මාව අගය කරනවා. ඒ වෙලාවට මට දැනෙන්නේ අහිංසක ආඩම්බරයක්.


මල්මි කෞෂල්‍යා

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post