‘නිකිණි කුසුම්’ ටෙලිනාට්‍යයේ සචින්තනා කිව්ව ගමන් ඕනෑම කෙනෙකුගේ හිතට එන්නේ ඒ අහිංසක ගැමි පෙනුමත්, දණහිසෙන් පහළට වැටුණු දිගු වරලසයි. ‘රූ කිරුළ’ හරහා කලා ලෝකයට ඇවිත්, එක රැයින් ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් ඇය රවීශා රාජපක්ෂ. ජනප්‍රියත්වයේ ඉහළින්ම ඉන්නකොට එකපාරටම රංගනයෙන් ඈත් වුණු රවීශා, ආයෙමත් රංගනයට එන්න ලෑස්තියි. ඇගේ අලුත්ම තොරතුරු ගැන ඇය ‘හාට්’ අපිට කිව්වේ මෙහෙමයි.
රවීශා මේ කතාබහ අපි මුදුන් මුලෙන්ම පටන් ගමු නේද?
2023 රූ කිරුළ තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. ඇත්තටම මම මේ ක්ෂේත්‍රයට එන්න හිතපු කෙනෙක් නෙවෙයි. මට මේ ක්ෂේත්‍රය ගැන ලොකු ආශාවක් ඇති කළේ රූ කිරුළ තමයි. ජාතික රූපවාහිනියේ සියලු කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කිරීමට මම මුලින්ම මේක අවස්ථාවක් කරගන්නවා. මගේ ගමන පටන් ගත්තේ ජාතික රූපවාහිනිය හරහා. ගොඩක් සතුටුයි ‘මව්රට’ ජාතික පුවත්පත නැවත මගේ මතකයන් අවදි කරන්න අවස්ථාව දුන්නට. රූ කිරුළ තරගයේ මම අවසන් 12 දෙනා අතරට තේරුණා. මේ තරගයට මම සම්බන්ධ වුණේ මගේ හොඳම යාළුවෙක් හරහා තමයි. ඔහොම තමයි මගේ ගමනට මුල පිරුවේ.
රවීශා ගැන සඳහන් කළොත්?
මම රවීශා රාජපක්ෂ. මගේ ගම් පළාත නිට්ටඹුව. මගේ අම්මට ඉන්න එකම වස්තුව මම විතරයි. පවුලේ එකම දරුවා නිසා මගේ මවුපියන් මගේ හෙවණැල්ල වගේ අදටත් මා පිටුපස ඉන්නවා. කොළඹ ක්ලිෆ්ටන් බාලිකා මහා විද්‍යාලයට තමයි මම පාසල් ගියේ. මගේ තාත්තා ගිය මාසේ නැති වුණා.
කොහොමද රවීශා ‘නිකිණි කුසුම්’ වෙන්නේ?
රංගන ශිල්පීන් අවශ්‍යයි කියලා දැකපු පෝස්ට් එකකට මමත් අයැදුම් කළා. මම සම්බන්ධ වුණු දෙවැනි තිර පරීක්ෂණය තමයි එය. තුෂාර තෙන්නකෝන් ‘නිකිණි කුසුම්’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා. තුෂාර සර් මට කතා කළා ටෙලිනාට්‍යයට මාව තෝරාගෙන ඉන්නේ කියලා. ඒ වෙලාවේ නම් මට මාරම සතුටක් දැනුණේ. ‘නිකිණි කුසුම්’ මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය. තුෂාර සර් මට රංගනය ගැන ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒ කණ්ඩායමෙන් මට මාරම සහායක් ලැබුණේ. හිතේ තිබුණු බය පවා නැති වුණා ඒ ලැබුණු සහායත් එක්ක.
ඉතින් කොහොමද පළමු රංගනයට ලැබුණු ආදරය?
මාව ගොඩ දෙනෙක් දැනහඳුනා ගත්තේ ‘නිකිණි කුසුම්’ ටෙලිනාට්‍යයේ සචින්තනා චරිතය හරහා. ප්‍රතිචාර නම් හොඳටම හොඳයි.
ඒ තරම් ජනප්‍රියතාවයක් ලැබිලා රවීශා පසුකාලීනව දැකගන්න ලැබුණේ නැහැ?
‘නිකිණි කුසුම්’ ටෙලිනාට්‍යයෙන් පස්සේ මම රංගනය පැත්තට ලොකු අවධානයක් යොමු කළේ නැහැ. නිර්මාණ කිහිපයකින් මගේ රඟපෑම දැකලා මට කතා කළා. මගේ පෞද්ගලික වැඩකටයුතු කිහිපයක් නිසා මට ඒ වැඩවලට සම්බන්ධ වෙන්න බැරි වුණා.
මේ වනවිට නම් නැවත රංගනයට පිවිසෙන්න අදහසක් ඇති?
මටත් හිතුණා කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න. මේ වනවිටත් ආරාධනාවක් ලැබිලා තියෙන්නේ. බොහෝ දුරට ඒ නිර්මාණ හරහා මම නැවත කලා කටයුතුවලට සම්බන්ධ වෙයි.
දැන් නම් අම්මා බය ඇති ඔයාව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කරන්න?
තාත්තා නැති එක නම් මටයි අම්මටයි ලොකු දුකක්. පාළුවක් නිතරම දැනෙනවා. ඒත් කවදාවත් අම්මා මගේ දක්ෂතාව පැත්ත නතර කළේ නැහැ. එදා ඉඳලා අම්මා මා ළඟ හිටියා මම කොතැනට ගියත්. මට ගැළපෙන චරිත තෝරාගන්න එක තමයි මගේ වගකීම.
රවීශාගේ දිගු වරලස ලොකු ආලෝකයක් නිළිකමට?
නිකිණි කුසුම් ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණේ මගේ පෙනුම සහ කොණ්ඩය නිසා. මොකද සචින්තනා චරිතය ගැමි චරිතයක් නිසා මගේ පෙනුම ගොඩක් බලපෑවා.
ඔබ කොණ්ඩයට විශේෂ සැලකිල්ලක් දක්වනවද?
මම කොණ්ඩය වවන්න පටන් ගත්තේ පාසලේ අට වසරේ ඉන්න කාලේ. ඒ කාලේ වවන්න ලොකු ආශාවක් තිබුණේ නැහැ. හැබැයි කොණ්ඩය වැවෙන්න ගත්තම කපන්න ලෝභ හිතුණා. ලොකු සටනක් දෙන්න ඕනේ ඉතින් කොණ්ඩය රැකගන්න නම්. වෙළෙඳපළේ කිසිම හෙයා ඔයිල් එකක් මම කොණ්ඩයට පාවිච්චි කරන්නේ නැහැ. පොල් තෙල්, ගොටුකොළ, උළුහාල්, සැවැන්දරා වැනි දේශීය දේවල් තමයි පාවිච්චි කරන්නේ. ගෙදරම තමයි ඔයිල් එක හදාගන්නේ. මාව දැක්කම මගේ කොණ්ඩය, මගේ ඇස් දෙක හරිම ලස්සනයි කියලා දකින අය කියන්න අමතක කරන්නේ නැහැ.
ඒ ආකර්ෂණයට විශේෂ බැල්ම දාන කෙනෙක් එහෙම නැද්ද?
අපෝ එහෙම විශේෂ කෙනෙක් නැහැ. මගේ ජීවිතේම දැන් මගේ අම්මා. ඒ ආදරය මිල කරන්න බැරි තරම්.
වසන්ත විතාරණගේ