ලාංකීය ප්රේක්ෂකයන්ට ජාත්යන්තර මට්ටමේ රියැලිටි අත්දැකීමක් ලබාදෙන ලද වොයිස් ටීන්ස්හි තෙවැනි අදියර බ්ලයින්ඩ් ඔඩිෂන්ස්, බැට්ල්ස්, නොක් අවුට්ස්, ලයිව් ෂොව්ස්,ක්වාටර් ෆයිනල්ස් සහ සෙමි ෆයිනල්ස් පසුකරමින් අවසන් මහා තරගයට පැමිණියේ තරගකරුවන් සිවුදෙනෙකි. එහි ජයග්රහණය කෝච් සංඛගේ කණ්ඩායමේ ජනිරු විසින් හිමිකර ගත්තේය. මෙවර විශේෂත්වය වූයේ බ්ලයින්ඩ් ඔඩිෂන් වටයේදී එක් පුටුවක් පමණක් හැරවූ ජනිරු, අවසානයේ ‘ද වොයිස් ටීන්ස් ශ්රී ලංකා’ කිරුළ දිනාගැනීමයි. පෙර ජයග්රාහකයන් පිළිබඳ කළ සමාලෝචනයට අනුව, මෙය ‘ද වොයිස් ටීන්ස්’ ජාත්යන්තර වේදිකාවේ පළමු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මෙම සුවිශේෂ ජයග්රහණය පිළිබඳ අදහස් බෙදාගැනීමට ජනිරු කාවින්ද ‘මව්රට’ ‘හාට්’ හා එක්වන්නේ මෙලෙසිනි. Sri Lanka Latest News
‘වොයිස් ටීන්ස් අවසන් මහා තරගයේ ජයග්රාහි කිරුළ හිමි වූ ඒ මොහොතේ ජනිරුට දැනුණේ මොන වගේ හැඟීමක්ද?
ඇත්තටම ඒ මොහොතේ දැනුණු සතුට වචනවලින් කියාගන්න බැරි තරම්. මේ ජයග්රහණයෙන් පස්සේ ගොඩක් හොඳ ප්රතිචාර ලැබෙනවා. යාළුවන්ගෙන්, නෑදෑයන්ගෙන් වගේම මාව පෞද්ගලිකව නොදන්න අය පවා කතා කරලා, මැසේජ් කරලා සුබ පැතුම් එක් කරනවා. ඒ හැම ආදරයක්ම සහ සහයෝගයක්ම මට ලොකු ශක්තියක්. ඒ නිසා මේ ජයග්රහණය මට තනියම ලැබුණු ජයග්රහණයක් නෙවෙයි, මාව විශ්වාස කළ හැමෝගෙම ජයග්රහණයක් කියලා මම හිතනවා.
ජයග්රහණය ගැන විශ්වාසයක් තිබුණද?
බලාපොරොත්තුවක් තිබුණා නමුත් මම හිතුවේ නැහැ ජයග්රහණය ලැබේවි කියලා.
ජනිරුට මේ ජයග්රහණය ජීවිතයේ හැරවුම් ලක්ෂ්යයක් කියලා හිතනවද?
ඇත්තටම මගේ සංගීතමය ගමනට ලොකු සහයෝගයක් වුණා වොයිස් ටීන්ස් තරගාවලිය.
ජනිරු පොඩි කාලේ ඉඳන්ම ගීත ගායනා කරනවද?
මම හතර වසරේ වගේ ඉඳන් තමයි සින්දු කියන්න පටන් ගත්තේ. මම පොඩි කාලේ අප්පච්චි සින්දු කියනවා මට ඇහිලා තියෙනවා. මාත් එතකොට නිකන් සින්දු කියන්න පටන් ගත්තා. මම හය වසරේ ඉඳන් පාසලේ මියුසික් තමයි කළේ. ඊට අමතරව ගීටාර් වාදනය ඉගෙන ගත්තා. ඉදිරියට සංගීත විශාරද විභාගය කරන්න ඉන්නේ.
මේ කිරුළ ජනිරුට ලැබුණේ කොපමණ කැපවීමක ප්රතිඵලයක් විදිහටද?
ඇත්තටම මේ ජයග්රහණය පිටුපස තියෙන්නේ ලොකු කැපවීමක් සහ පුහුණුවක්. පුහුණුව තමයි අංක එක. ඒ වගේම කාලය කළමනාකරණය කරගෙන, විනයක් තියාගෙන කටයුතු කළා. මේ වගේ තරගයකදි කතාකරන්න, හැසිරෙන්න, තරගකාරයෙක් විදිහට තමන්ව පවත්වාගෙන යන්න ඕනේ කියන දේවල් අපේ කෝච්ගෙන් ගොඩක් ඉගෙන ගත්තා. කෝච්ගෙන් ලැබුණු සහයෝගය සහ මගපෙන්වීම මගේ මේ ජයග්රහණයට ලොකු ශක්තියක් වුණා.
කෝච් සංඛ දිනෙත් සමග වැඩ කරද්දි ලැබුණු අත්දැකීම කොහොමද?
කෝච් සංඛ දිනෙත් වගේ දක්ෂ සහ ප්රවීණ කලාකරුවෙක් එක්ක වැඩ කරන්න ලැබීමම ලොකු සතුටක්. ඒ වගේම ගායනයට අමතරව වේදිකාවේ හැසිරීම සහ වෘත්තීයමය පැත්ත ගැනත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම අවසන් මහා තරගයේදී කෝච් සමග ‘විදුලිය සේ යළි ඇවිදින්’ ගීතය ගායනා කරන්න ලැබීම මගේ ගමනේ අමතක නොවන මතකයක්. කෝච් මීට පෙර ඉන්දියානු ගායක ආදිත්ය නාරායන් සමග ගායනා කළ ඒ ගීතය මෙවර ෆයිනල් එකේදි කෝච් සමග ගායනා කරන්න මට අවස්ථාව ලැබීම ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙනවා.
කවුද ජනිරුට ගායනයට පිවිසෙන්න දිරිමත් කළේ?
අම්මායි අප්පච්චි තමයි මට ගායනයට පිවිසෙන්න දිරිමත් කළේ.
වොයිස් ටීන්ස් තරගයෙදි ඔබට මුහුණ දීමට සිදුවූ අසීරුම අභියෝගය?
මට හිතෙන්නේ නොක්-අවුට් රවුන්ඩ් එක තමයි අසීරු අභියෝගය වුණේ. ඒ වටයේ තරගකරුවන් නව දෙනෙක් අතරින් අවසානයේ තෝරාගන්නේ හතර දෙනෙක් විතරක් නිසා. උපරිම දක්ෂතාවය ඉදිරිපත් කරලා ඊළඟ වටයට යන්න ලොකු උත්සාහයක් දරන්න සිදුවුණා. නමුත් ඒ අභියෝගයත් මම ජය ගත්තා. මේ ජයග්රාහි ගමනේදි ජනිරුට ලැබුණු සහයෝගය ගැනත් මතක් කරමු. ගම්පහ බණ්ඩාරනායක විද්යාලයේ යාළුවො ගුරුවරු සහ ආදි ශිෂ්යයන්ගේ ලොකු සපෝට් එකක් ලැබුණා. ඒ වගේම මම හය වසරට වෙනකන් අධ්යාපනය ලැබූ බියගම මධ්ය මහා විද්යාලයෙනුත් ඒ හා සමානව සහායක් ලැබුණා. ඊට අමතරව සියඹලාපේ වත්ත, කඳුගොඩ, දෙල්ගොඩ, ගම්පහ මගේ ගමේ අය, නෑදෑයන්, සිරස ටීවී ඇතුළු හැම කෙනෙක්වම මතක් කළ යුතුයි.
ඔබ කැමැති සංගීත ක්ෂේත්රයේ කුමන ආකාරයේ ගායකයෙක් වෙන්නද?
ක්ලැසිකල් සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න කැමැතියි. ඒකට බටහිර සංගීතයේ ආභාසයත් එකතු කරගෙන, මටම අනන්ය වූ සංගීත ශෛලියක් ගොඩනගා ගන්නයි මගේ බලාපොරොත්තුව.
ගායනයට අමතරව රංගනයටත් ආසාවක් තියෙනවා නේද ජනිරුට?
රඟපාන්න ආසාවකුත් තියෙනවා. ඉදිරියට බලමු.
ඉදිරියේදි ජනිරුගේම ගීතයක් ජනිරුට ආදරය කරන අය වෙනුවෙන් කරන්න බලාපොරොත්තුවකුත් ඇති?
ඔව්, අනිවාර්යයෙන්ම. මට මගේම ගීතයක් නිර්මාණය කරලා, මගේ ගමන පුරාවට මාත් එක්ක හිටපු, මට ආදරය කරපු රසිකයන් වෙනුවෙන් ඒ ගීතය තිළිණ කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉදිරියේදී මගේම අනන්ය සංගීත ශෛලියක් හඳුන්වා දෙමින්, හොඳ නිර්මාණ කරන්නත් බලාපොරොත්තු වෙනවා.