හිරු ටීවී නාළිකාවේ විකාශය වන ‘අකුරට යන වෙලාවේ‘ ටෙලි නාට්යයෙන් ඔබ හමුවට එන තවත් ළමා රංගන ශිල්පිනියක් ගැනයි මේ කතාව. ඇය සෙලිනි දිලෙන්යා ජයතිලක. අනාගතයේ දක්ෂ රංගන ශිල්පිනියක් වීමට බලාපොරොත්තු වන ඇය කලාවට සේම ඉගෙනුම් කටයුතු වලටත් ක්රීඩාවටත් දක්ෂතා දක්වන්නීය.
“මම දෙක ශ්රේණියේ ඉගෙන ගන්න කාලේ ඉඳලා තමයි කලා කටයුතුවලට සම්බන්ධ වුණේ. මගේ අක්කා ඉස්සර රඟපෑම් කටයුතු කළා. අම්මා එක්ක මමත් චූටි කාලේ අක්කගේ වැඩවලට යනවා. අක්කා රඟපානවා දැකලා මටත් ආස හිතුණා රඟපාන්න. ඊට පස්සේ තමා මටත් අවස්ථාවක් ලැබුණේ.
අපි පදිංචි වෙලා ඉන්නේ කොටිකාවත්තේ. මං ඉගෙන ගන්නේ නාවල ජනාධිපති බාලිකා විද්යාලයේ 7 ශ්රේණියේ. මට පාසලෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ගුරුවරු, යාළුවෝ හැමෝම මගේ රඟපෑම අගය කරනවා. රූගත කිරීම් තියෙන දවස්වලට පාසල් යන්න අපහසුයිනේ. මට මඟහැරෙන පාඩම් වැඩ යාළුවෝ, ටීචලා කවර් කරලා දෙනවා. පාසලෙදි මම ක්රීඩාවක් විදියට ධාවන තරගවලට සම්බන්ධ වෙනවා. ඒ තරගවලින් පදක්කම්, සහතික එහෙම අරන් තියෙනවා. මම ඡායාරූපකරණයටත් හරි ආසයි. ඒ නිසා පාසලේ ඡායාරූපකරණ සංගමයටත් එක් වෙලා ඉන්නේ.
රංගනයට අමතරව මට නටන්න පුළුවන්. ගොඩක්ම ෆ්රී ස්ටයිල් එකේ නර්තන විලාසවලට තමයි මම කැමති. දැනට මම වෙළඳ දැන්වීම් 25ක් විතර කරලා තියෙනවා. ටෙලි නිර්මාණවලට අමතරව චිත්රපට තුනකටත් සම්බන්ධ වෙලා ඉන්නවා. මම දිදුල ටීවි එකේ පෝදා ටෙලි නාට්යයවලට හැම මාසෙම සම්බන්ධ වෙනවා. ගිය පාර පෝය ටෙලි නාට්යයේ මට කරන්න තිබුණේ යාචක දැරියකගේ චරිතයක්. මම ඒ වගේ චරිතවලට එච්චරම ආස නෑ. ඒත් මට ලැබෙන ඕනම චරිතයක් මට පුළුවන් උපරිම හොඳින් කරන්න ලෑස්තියි. ටෙලි නාට්ය අධ්යක්ෂ ප්රගීත් රත්නායක මාමා රූගත කිරීම්වලින් පස්සේ කීවා හොඳටම යාචක චරිතේ කළේ මම කියලා.
කැමරාව ඉස්සරහ රඟපාන්න බයක් නම් නැහැ. රූගත කරන වෙලාවට හැබැයි මගේ අම්මා ළඟ හිටියොත් මට හරියට රඟපාන්න බෑ. මට ලැජ්ජයි. ඒක නිසා අම්මා ටිකක් දුරට වෙලා මට නොපෙනෙන්න ඉන්නේ. අම්මා තමා ගොඩක් වෙලාවට මාව රූගත කිරීම්වලට එක්ක යන්නේ. තාත්තත් පුළුවන් වෙලාවට එනවා. පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි.
මම ආසයි ගැමි චරිතයක් කරන්න. දැනට මට එහෙම චරිත ලැබිලා නැහැ. ඉස්සරහට මට වෙෙළඳ නිර්මාණයකටයි, ටෙලි නිර්මාණයකටයි ආරාධනා ලැබිලා තියෙනවා. තාම ඒවා ස්ථිර වුණේ නැහැ. මම ඉස්සරහට මහේන්ද්ර පෙරේරා සර් යටතේ රංගනය හදාරන්න බලාපොරොත්තු වෙනවා. තාම මට ඒ කෝස් එකට යන්න වයස මදි.
මගේ අනාගත බලාපොරොත්තුව තමයි රංගනය පැත්තෙන් ඉදිරියට යන ගමන්, වෛද්යවරියක් විදියට රටට සේවය කරන එක. ඒ නිසා මම මගේ ඉගෙනීමට හැමවිටම මුල්තැන දෙනවා. ඒ වගේම මොන දේ කළත් රංගනය නම් නතර කරන්නේ නැහැ. මේ වෙලාවේ මම ස්තූති කරන්න ඕන පිරිසකුත් ඉන්නවා. ටෙලිනාට්ය අධ්යක්ෂකවරුන් වන ලසිත කාරියවසම් මාමා, චාගි වගීෂ මාමා,ප්රගීත් රත්නායක මාමා, අයේෂ් ශසිෂ්ක මාමා සහ නදීෂා රාමනායක නැන්දවත් මතක් කරන්න ඕන. ඒ වගේම මගේ පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. මේ හැමෝගෙම සහය නිසා තමයි මට මේ වගේ ලස්සන ගමනක් එන්න ලැබුණේ.