වසර හයකට පසු යළිත් රංගනයට එක්වන නිපුනිකා දිසානායක

gossiplanka image 1
 


නාලන් මෙන්ඩිස් මහත්මයාගෙ ‘දූවරු’ ටෙලිනාට්‍ය හරහා රංගනයට පිවිසි නිපුනිකා මෑත කාලයේ අපිට නිර්මාණ ඔස්සේ දකින්න ලැබුණේ නැහැ. ඒ ඇයගේ විවාහ ජිවිතේ එක්කම පෞද්ගලික ජීවිතේට ඇය මුල් තැන දුන් නිසා. ඇය දැන් දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. හැබැයි දැන් ආයෙමත් නිපුනිකා රංගනයට ඇවිත්. වසර හයක නිහැඬියාවකින් පසුව රංගනයට ආ නිපුනිකා දිසානායක සමඟයි මේ කතාබහ.


දිගු නිහැඬියාවකට පස්සේ නැවතත් පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන් අතරට එන්න තීරණය කළේ ඇයි?


ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. ඒ වෙලාවේ මමත් හිතුවා, දැන් මගේ බබාලා දෙන්නත් ටිකක් ලොකු නිසා මේ අවස්ථාව භාරගෙන ආයෙත් රංගනයට සම්බන්ධ වෙලා බලන්න හොඳයි කියලා. ඒ නිසා තමයි නැවතත් රංගනයට එන්න තීරණය කළේ.


මේ සැරේ මගේ ආගමනය සිද්ධ වෙන්නේ හිරු TV ඔස්සේ විකාශය වන ‘අකුරට යන වෙලාවේ’ ටෙලි නාට්‍යය හරහායි.


මේ අලුත් ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කරන චරිතය ගැන මුලින්ම මතක් කළොත්?


මේ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන්නේ මහේලගේ නංගිගේ චරිතය. ඒ වගේම මහේලගේ දරුවන් දෙන්නගේ නැන්දාගේ චරිතය මම නිරූපණය කරනවා.


එය ඔබ මීට පෙර රඟපෑ චරිතවලට වඩා වෙනස් වෙන්නේ කොහොමද?


මේ චරිතය ගැන මම වැඩි විස්තරයක් කියන්න කැමති නැහැ. ටෙලිනාට්‍යය නරඹන ප්‍රේක්ෂකයන්ට ඒ චරිතයත් එක්ක ඉදිරියට යද්දී ඒ වෙනස අත්විඳින්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මටත් මේ චරිතය හරහා අලුත් අත්දැකීමක් ලැබෙනවා.


ක්ෂේත්‍රයෙන් වෙන් වෙලා ඉන්නකොට රංගනය, කැමරාව සහ ප්‍රේක්ෂක ආදරය මඟහැරුණ එක ගැන මොකද හිතෙන්නෙ?


ප්‍රේක්ෂක ආදරය මඟහැරුණා කියලා කියන්නත් බැහැ. අදටත් මම කලින් සම්බන්ධ වුණු නිර්මාණවලට ආදරය කරන රසික රසිකාවියන් ඉන්නවා. මාව කොහේ දැක්කත් මාත් එක්ක කතාබහ කරන්නත්, මගේ නිර්මාණ ගැන මතක් කරන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ. රංගනයෙන් ඈත් වෙලා හිටියත්, මගේ නිවේදන කටයුතු සහ වොයිසින් කටයුතු දිගටම කරගෙන ගියා.


ක්ෂේත්‍රයේ ඉහළම ජනප්‍රියත්වයක් තියෙන කාලෙක රංගනයෙන් තාවකාලිකව ඉවත් වෙන්න ගත්ත තීරණය ගැන අද බලද්දී මොකද හිතෙන්නේ?


මම හිතනවා ඒක මම ඒ කාලයේ ගත්ත හොඳම තීරණයක් කියලා. විවාහ වුණාට පස්සේ ඒ අලුත් ජීවිතය මගේ සැමියා එක්ක ගත කරන්න අවශ්‍ය වුණා. ඊට පස්සේ මගේ දරුවන් දෙන්නා ලැබුණා. ඒ නිසා ඒ දෙන්නගේ පුංචි කාලය මඟහැරෙන්නේ නැතිව, හැම වෙලාවකම ඔවුන් ළඟ ඉඳලා ඔවුන්ගේ දේවල් කරන්න මට ඕන වුණා. ඒ තීරණය ගැන අදටත් මට සතුටුයි.


පෞද්ගලික ජීවිතේ තොරතුරු මොනවාද?


මගේ දුවට මේ අවුරුද්දේ අවුරුදු පහක් සම්පූර්ණ වෙනවා. දැන් පුතාට අවුරුදු දෙකක්. පුතා නම් දැන් හරිම දඟයි. දරුවන් දෙන්නා එක්ක ගත කරන කාලය මගේ ජීවිතයේ ලොකුම සතුටක්.


පවුල් ජීවිතයේ වගකීම් සහ කලා කටයුතු සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද? ඒ සඳහා පවුලෙන් ලැබෙන සහයෝගය ගැන කිවුවොත්?


පවුලෙන් ලැබෙන සහයෝගය මේ ගමනේදී මට ගොඩක් වැදගත්. විශේෂයෙන්ම මගේ සැමියාගෙන් සහ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මට මේ විදිහට නැවතත් කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙන්නේ. දරුවන්ගේ කටයුතුත් එක්ක මගේ වැඩ කටයුතුත් හොඳින් සැලසුම් කරගෙන යන්න මම උත්සාහ කරනවා.


ඔබ ක්ෂේත්‍රයෙන් ඈත් වුණු කාලය එක්ක බලද්දී, වර්තමාන ටෙලිොනාට්‍ය කලාවේ සහ ප්‍රේක්ෂක රුචිකත්වයේ කැපී පෙනෙන වෙනසක් ඔබ දකිනවාද?


ඔව්, යම් යම් වෙනස්කම් තියෙනවා කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම මේ කාලය තුළ සමාජ මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍ය එක්ක ප්‍රේක්ෂකයන් නිර්මාණ එක්ක සම්බන්ධ වෙන විදිහ වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වයත් විවිධ වෙලා තියෙනවා. ඒ නිසා කලාකරුවෙක් විදිහට ඒ වෙනස්කම් එක්ක ඉදිරියට යන්න අපිත් සූදානම් වෙන්න ඕන.


නැවතත් රූගත කිරීම් තලයකට යද්දී දැනුණු හැඟීම සහ ලැබුණු පිළිගැනීම මොන වගේද?


ඇත්තටම අවුරුදු හයකට පස්සේ නැවතත් කැමරාව ඉදිරියට යනකොට ලොකු සතුටක් වගේම පොඩි උද්‍යෝගයක් සහ චකිතයක් තිබුණා. නමුත් ලොකේෂන් එකට ගියාට පස්සේ හැමෝගෙන්ම ලැබුණු උණුසුම් පිළිගැනීම නිසා ඒ හැඟීම ඉක්මනින්ම නැති වුණා. පරණ හුරුපුරුදු පරිසරයකට ආවා වගේ දැනුණා.


හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම ඉදිරියටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. පවුලේ කටයුතුත් එක්ක මට ගැළපෙන විදිහට හොඳ නිර්මාණ තෝරාගෙන දිගටම රංගනයේ නිරත වෙන්න මම කැමතියි.


පෙරටත් වඩා දැන් චරිත තෝරද්දි සීමාවන් තියෙනවාද?


එහෙම විශේෂ සීමාවක් නැහැ. මට ගැළපෙන, මට සුදුසු සහ මට කරන්න පුළුවන් කියලා හිතෙන චරිත මම තෝරගන්නවා. ඒ වගේම නිර්මාණයේ ගුණාත්මකභාවයත් මට වැදගත්.


අවසාන වශයෙන්, ඔබ එනතුරු මඟ බලාගෙන සිටි ආදරණීය ප්‍රේක්ෂකයන්ට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ?


එදා වගේම මගේ නිර්මාණ රසවිඳින්න. මේ අවුරුදු ගණනාව පුරාවට මාව ආදරයෙන් මතක තියාගෙන හිටපු එක ගැන මම හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ ආදරය ඉස්සරහටත් ඒ විදිහටම තියාගෙන, මගේ ඉදිරි නිර්මාණත් ආදරයෙන් රසවිඳින්න කියලා මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post