කවුරුත් ආදරේ කරන පුංචි තිරේ හැඩකාරයා -සංජය මුරමුදලි

gossiplanka image 1
 

අසංධිමිත ටෙලිනාට්‍යයේ පෞරුෂත්ව දෙකකින් යුත් ‘සුරාජ්’ චරිතයේ තරුණ අවධිය නිරූපණය කරනුයේ ඔහුයි. එසේම ‘සංගීතේ, බෝල්ට් ඇණයක්, අකුරට යන වෙලාවේ’ ටෙලිනාට්‍යවල ද විවිධාකාර චරිත තුළින් ඔබ හමුවන කඩවසම් තාරුණ්‍යයකට හිමිකම් කියන සංජය මුරමුදලි රසඳුන හා කතාබහට මෙසේ එක්විය.


‘සුරාජ්’ චරිතය ගැනත් එයට දායක වූ ආකාරයත් සංජය මුරමුදලි සිහිපත් කළේ මෙසේය.


“අසංධිමිත’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන්නේ ගයාන් වික්‍රමතිලක අයියා රඟපාන ‘සුරාජ්’ චරිතයේ අවුරුදු 25_30 අතර තරුණ කාලයයි. ඒ චරිතය සිදු කරන ක්‍රියාවලියක් මතයි මුළු කතාවම ගලාගෙන යන්නේ. මේ පිටපත මුලින්ම මම කියෙවුවා. එහි අලුත් සිද්ධි දාමයක් තිබුණා. මම ගයාන් වික්‍රමතිලක අයියාට ආදරය කරන කෙනෙක්. ඔහුගේ චරිතයේ තරුණ කාලය රඟපෑම හරි ආසාවෙන් කළේ. මේ චරිතයේ තවත් විශේෂත්වයක් තිබෙනවා. වර්තමානයේ හැසිරෙන චරිතයක වසර 25කට පමණ පෙර ඔහු හැසිරී තිබූ අයුරු අනුකරණයෙන් චරිතය ඉස්මතු කරලීම තමයි මට කරන්න තිබුණේ. මෙතෙක් මම ඒවගේ චරිතයක් කර තිබුණේ නැහැ. එනිසා මට මෙය විශේෂ වුණා.”


චරිතයට ආරාධනා ලද ආකාරය ගැන සංජය මෙසේ කීය.


“තිර රචනය ලියූ ශලනි තාරකා අක්කගෙන් මුලින්ම මට ආරාධනා ලැබෙන්නේ. ඉන්පසු අධ්‍යක්ෂ ශාන් ජයරත්න කතාකරලා වැඩිදුර විස්තර කියනවා. එහිදී මට ඔහු චරිතය ගැන බොහෝ දේ කිව්වා. මෙවැනි ගුණාත්මක නිර්මාණයකට මාව සම්බන්ධ කරගැනීම ගැන ඔවුන්ට මා ස්තූතිවන්න වෙනවා”


අධ්‍යක්ෂ ශාන් ජයරත්න පිළිබඳ සංජයට වූයේ මෙවැනි කියවීමකි.


“ශාන් කියන්නේ වර්තමානයේ අපට සිටින දක්ෂ, හොඳ, සාමකාමී, නිහඬ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ ෆ්‍රේම් එක ඇතුළේ ඇක්ෂන් – කට් අතර ඉතා සාර්ථක ලෙස නළුනිළියන්, පිටපත ඇතුළු අනෙකුත් සියල්ල මෙහෙයවා හරි ලස්සන නිර්මාණයක් ප්‍රේක්ෂකයා වෙත ගෙනඒමට උත්සාහ කරනවා. ඒ උත්සාහය තුළ මටත් ඔහුගෙන් හොඳ උපදෙස් ලැබෙනවා. ශලනි අක්කගෙනුත් උපදෙස් ලැබෙනවා. ටීම් වර්ක් එකක් මෙහෙයවීමත් ශාන් මේ තුළ හරිම ලස්සනට කරනවා.”


මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන ‘බෝල්ට් ඇණයක්’ හි ඩිල්ෂාන් ලෙසත්, දෙරණෙහි විකාශය වන ‘සංගීතේ’ නාට්‍යයේ තිසංක ලෙසත් , හිරු නාළිකාවේ විකාශය වන ‘අකුරට යන වෙලාවේ’හි වාසල නමැති ගණිත ගුරුවරයා ලෙසත්, සියත ටීවීහි විකාශය වන ‘බලන් ඉන්න’නාට්‍යයේ රවීන් ලෙසත් විවිධාකාර රංගනයන් ඔස්සේ සංජයගේ ප්‍රතිභාන්විත රංගනයන් දැකිය හැකිය.


පාසල් සිසුවකුව සිටි සමයේම කලාවට පිවිසි සංජය මුරමුදලි ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව පාඨමාලාව හදාරමින් රංගනයේ ආරම්භය සනිටුහන් කළේය. අනතුරුව වේදිකා නාට්‍යයන්හි අංග රචනය, පසුතල නිර්මාණය, පිටපත් රචනය, නාට්‍ය නිෂ්පාදනය, රංගනය ඔස්සේ ඔහු කලාවට අවතීර්ණ වෙයි. පසුව ‘සිරස Film Star’ තුළින් ඔහුව ප්‍රේක්ෂකයා හඳුනාගනියි. රවින්ද්‍ර විජේරත්නගේ ටෙලි නිර්මාණවල සුළු චරිත රංගනයේ යෙදෙන අතර සහය අධ්‍යක්ෂණයට ද එක්විය. සද්ධාමංගල සූරියබණ්ඩාරගේ ආරාධනයෙන් ‘අමුතු රසිකයා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාමින් පුංචි තිරයේ ප්‍රේක්ෂකයා අතරට ඒමට සංජය සමත් වන්නේය.


මියුසික් වීඩියෝ 100කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වන්නට ද සංජයට අවස්ථාව හිමිවිය. නවක ගායක ගායිකාවන් මෙන්ම ජනප්‍රිය ගායක ගායිකාවන් පිරිසකගේ ගායනයන් ද ඒ අතර විය. ඔහුගේ රංගනයන් නිසා බොහෝදුරට ගායනයෙන් ඉදිරියට ඒමට නවකයන්ට අවස්ථාව සැලසුණි.


සිනමාව තුළ සංජය මුරමුදලි භූමිකාව දෙස බැලීමේදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘ක්ෂීර සාගරය කැලඹිණ’, සහ උදයකාන්ත වර්ණසූරියගේ ‘ මේඝ වර්ෂා’, රජීව් සිවදාසන්ගේ ‘ආල’ ආදි තිරගත වීමට නියමිත චිත්‍රපටවල රංගනයන් දැක්විය හැකියි. ‘ක්ෂීර සාගරය’හි චරිතය සුළු වුවද එය සුවිශේෂී බැව් ඔහු කීය.


සංජය වේදිකාවෙන් පැමිණි නළුවෙකි. ‘දෙව්ලොව දෝණි, ළඟින් ඉන්න කෙනෙක්‘ ආදි නාට්‍යවල රඟපෑ ඔහු මේ දිනවල නවතම නිර්මාණයක පුහුණුවීම් ද කරගෙන යනු ලබයි.


“යෞවන නාට්‍ය උලෙළින් මම සම්මාන ලැබුවා, වේදිකාවෙන් අරඹා රූපවාහිනිය, සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වය ඔස්සේ සැරිසරන කෙනෙක් ලෙස මම මා ගැන සතුටු වෙනවා. වේදිකා නළුවකු වීම විශාල පුහුණුවක් ලැබීමක්. රංගනය පුහුණුවට තිබෙන ප්‍රධානම ස්ථානය වේදිකාවයි.


වේදිකා නාට්‍ය පිටපත් රැසක් මම ලියා තිබෙනවා. රූපවාහිනී තිර රචනාවක් ලියමින් තියෙනවා. අධ්‍යක්ෂවරයකු වෙන්න බොහෝ දෑ උගත යුතුයි. ඇක්ෂන් – කට් වචන දෙක ඇතුළේ විශාල වගකීමක්, වටිනාකමක් තියෙනවා. ඒ වගකීම නිසි ලෙස ඉටු කිරීමට සුදුසුම වෙලාව එන තෙක් බලාසිටිනවා”


ඉදිරි නිර්මාණ ගැන සංජය කීවේ මෙවැන්නකි.


“නවතම නිර්මාණ රැසක රූගත කිරීම් සඳහා දායක වෙනවා. ජනප්‍රිය මට්ටමේ වේදිකා නාට්‍ය නළුනිළියන් සමඟ අලුත්ම වැඩක පෙර පුහුණුවීම් මේ දිනවල කෙරෙනවා. ඇඩ්වෙන්චර් වැඩකින් ඇක්ෂන් නිර්මාණ කිහිපයකට දායක වෙන්න ලැබීමත් විශේෂයි”


තාරුණ්‍යයේ සොඳුරු අවධියේ පසුවන සංජය සිය ප්‍රේමණීය හැඟීම් ගැන කියන්නට ද අමතක නොකළේය.


“ආදරය, ප්‍රේමය සාමාන්‍ය දෙයක්. ආදරය කාටත් පොදුයි. අපි කවුරුත් ජීවත්වන්නේ ආදරය එක්කයි. ජීවිතයේ හැමදෙයක්ම අඩියෙන් අඩිය ඉදිරියට තබන්න උත්සාහ කරන්නේ ජිවිතයට එකතුවෙන ආදරය පරිස්සම් කරගන්න. ආදරයේ සතුට මමත් විඳිනවා. අපි දෙදෙනාටම සහයෝගය තිබෙන, හැමදේම ඉදිරියට ගලාගෙන යන විදිහට තිබෙන ආදරයක් අපට තිබෙන්නේ. ඒ ආදරය හරිම සුන්දරයි.“

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post