සිනමාවේත්, ටෙලිවිෂනයේත් මම තවම නවකයෙක් -මනුෂි ටානියා

gossiplanka image 1
 මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන රොෂාන් රවීන්ද්‍රයන්ගේ ‘නටත් අයෙක් සුරා මතින්’ ටෙලිනාට්‍යයේ ‘මෙතුකි‘ චරිතය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් මනුෂි ටානියා සමඟයි මේ කතාබහ.


‘නටත් අයෙක් සුරා මතින්‘ටෙලිනාට්‍යයේ ‘මෙතුකි’ කියන්නේ මේ දවස්වල කා අතරත් නිතරම කතාබහට ලක්වෙන චරිතයක්. මේ වගේ චරිතයකට ඔබට ආරාධනා ලැබෙන්නේ කොහොමද?


මට මේ නිර්මාණයට මූලින්ම ආරාධනාව ලැබෙන්නේ චමින්ද උඩුවල සහය අධ්‍යක්ෂවරයාගෙන්. ඒ වෙනකොට ඔහු සහාය අධ්‍යක්ෂණයෙන් දායකත්වය දක්වපු ‘මැයි මාර ප්‍රසංගය‘ චිත්‍රපටයට මං රංගනයෙන් දායකත්වය ලබා දීලා තිබුණා. ඒ වගේම රොෂාන් අයියත් මං රංගනයෙන් දායකත්වය දක්වපු ‘wingfield family’ කියන වේදිකා නාට්‍යය නරඹලා තිබුණා. ඒ ඒ තැන් වලදී මං රැකපු යම් විශ්වාසයක් මට මේ නිර්මාණයට ආරාධනා ලැබෙන්න හේතුවෙන්න ඇති.


රොෂාන් රවීන්ද්‍ර වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් යටතේ මෙවැනි චරිතයක් නිරූපණය කිරීමට ලැබීම ගැන මොකද හිතෙන්නේ?


රොෂාන් රවීන්ද්‍ර කියන්නේ හොඳ අධ්‍යක්ෂවරයෙක් සහ අති දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුත් සමඟ මේ වගේ නිර්මාණයකට දායක වෙන්න ලැබුණ එක ගැන මට තියෙන්නේ සතුටක්. ඇත්තටම මේ නිර්මාණයේ මගේ චරිතය යම් ආකාරයකට සාර්ථක කරගන්න හැකි වුණානම් එයට රොෂාන් අයියගේ අධ්‍යක්ෂණ කාර්යය විශාල වශයෙන් බලපෑවා කිව්වොත් හරි.


මනුෂි ඉදිරියේදී දිගටම රංගන ක්ෂේත්‍රයේ රැඳී සිටින්න ද බලාපොරොත්තු වෙන්නේ?


මගේ උපාධිය අවසන් කළාට පස්සේ මේ ක්ෂේත්‍රයේ රැදිලා ඉන්නවා කියලා තීරණයක් අරගෙන තියෙන්නේ. මේ මොහොතෙත් ඉන්නේ මම ආස දේ කරමින්. ඒ නිසා මම ඒ තීරණේ වෙනස් කරන්න ඉක්මන් වෙන එකක් නෑ.


ඔබට නිර්මාණයකට ආරාධනාවක් ලැබුණු විට ඒ නිර්මාණයේ පිටපත යම් කිසි තෝරා බේරා ගැනීමකට ලක්කරනවා ද?


මම ඇත්තටම මේ ක්ෂේත්‍රයට ආධුනිකයි. ඒ නිසා මේ වෙනකොටත් මම රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ඉතාම සීමිත නිර්මාණ ප්‍රමාණයකට. ආරාධනාවක් ලැබුණම ඒ පිටපත් කියවන්න ලැබෙනවා. නැත්තම් අවම වශයෙන් අපේ චරිතයේ ගමන් මඟ පැහැදිලි කරලා දෙනවා. ඒ ආකාරයට ආරාධනාව ලැබෙන අවස්ථාවේදී හිතට එකඟව දැනෙන නිර්මාණය රංගනයෙන් දියකවෙන්න ආසාවෙන් ඉන්නේ.


රංගනය කියන්නේ යම් කිසි හැදෑරීමක් සහිතව කළ යුතු දෙයක් කියල ද මනුෂි හිතන්නේ?


මම නාට්‍ය කලාවට පිවිසුණේ යම්කිසි ආකාරයක අධ්‍යයනයක් ඇතුව. නාට්‍ය කලාව හැදෑරුවේ සෝමලතා සුබසිංහ ප්ලේහවුස් ආයතනයෙන්. එතැනදි මම වැඩිදුර ඉගෙන ගන්නේ වේදිකා රංගනය. මට වේදිකා රංගනය ගැන යම්කිසි මූලික අධ්‍යයනයක් තිබුණත් කැමරාවක් ඉදිරියේ කරන ප්‍රකාශනයේ මූලික අංග තවමත් ඉගෙන ගනිමින් ඉන්නේ. ඒ අපේ ප්‍රවීණ, නවක රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් අසමින්, බලමින් හදාරමින් යන විධිමත් නොවන අධ්‍යයනයකින්. ඒක කොයිතරම්දුරට තව හොයාගෙන යන්න උනන්දු වෙනවාද කියන එක ඇතුළෙ තමයි අපි නිරන්තරයෙන් පෝෂණය වෙන්නේ.‍


ඔබ වැඩිපුරම රංගනයෙන් දායකත්වය ලබා දීමට කැමැති වේදිකාවට ද, සිනමාවට ද නැතිනම් පුංචි තිරයට ද?


මම වේදිකාවේත් රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ඉතාම සීමිත නිර්මාණ ටිකකට. කොහොමත් සිනමාව, ටෙලිවිෂනය කියන මාධ්‍ය තුළත් තවම මම නවකයෙක්. ඒ ඒ මාධ්‍ය තුළ අත්දැකීම් ලබා ගනිමින් යන ගමනක තමයි මේ වෙනකොට ඉන්නේ. වේදිකාවේදී නැවත නැවත රංගනය කිරීම තුළ අපේ චරිතයේ වර්ධනයක් ඇතිවන එක ගැන මම හරි කැමැතියි. ජීවිතයේ එන අත්දැකීම් එක්ක නැවත නැවත එකම චරිතයක් ගොඩනඟන්න ලැබෙන එක මට ලොකු අභ්‍යාසයක්. ටෙලිවිෂන් එක නැත්තම් සිනමාව ගත්තොත් අපි චරිතයක් නිරූපණය කරලා තැන්පත් කරපු රූප පෙළක් දිහා අපිට බලන් ඒක රසවිඳින්න හෝ තව කරන්න තිබ්බා කියලා හිතලා දුක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අපේ රංගනය නරඹලා. ඒ හැකියාව වේදිකාවේ නෑ. මගේ ආධුනික බවත් එක්ක සහ ඒ ඒ මාධ්‍ය තුළ තිබෙන විවිධ අත්දැකීම් සහ වෙනස්කම් එක්ක මම කැමැතිම මාධ්‍යයක් තෝරගන්න ඉක්මන් වෙන්නේ නෑ. කොහොම වුණත් චරිතයක් නිරූපනය කරද්දී දැනෙන හැඟීමත් එක්ක මාධ්‍ය මොකක් වුණත් රංගනයට තියෙන ආසාවත් එක්ක හැම අවස්ථාවක්ම රස විදිමින් තමයි මේ ගමන යමින් ඉන්නේ.


මේ වෙද්දී රඟපෑ ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


මහින්ද ප්‍රසාද් මස්ඉඹුල අධ්‍යක්ෂණය කරපු ‘මැයි මාර ප්‍රසංගය‘ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම ශ්‍යාම් ෆර්නෑන්ඩෝ අධ්‍යක්ෂණය කළ ‘කොටුව පිට කොටුව‘ කියන ටෙලි නාට්‍යයත් ඉදිරියට එන්න තියෙනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post