ලස්සන යනු මුහුණේ රැඳෙන සිනහවක් පමණක් නොවේ. එය ආත්ම විශ්වාසයේත්, කැපවීමේත්, අභියෝග ජයගැනීමේත් ප්රතිඵලයයි. එවන් සුන්දරත්වයකට නව අරුතක් එක් කරමින් ජාතික තලයේ වේදිකාවක තම නාමය ඔසවා තැබූ ඇය ඉරුණි තෂ්මිලා පීරිස් ය. මිසිස් යුනිවර්ස් ශ්රී ලංකා කිරුළ හිස මත පැලඳීම තෂ්මිලාගේ පෞද්ගලික ජයග්රහණයක් පමණක් නොවේ. එය ශ්රී ලාංකේය කාන්තාවකගේ හැකියාව, පෞරුෂය සහ අධිෂ්ඨානය වේදිකාවක් මත සනිටුහන් කළ සුවිශේෂී අවස්ථාවකි.
මේ ඔබ බලාපොරොත්තු වූ ජයග්රහණයක් ද?
ඇත්තෙන්ම ඔව්. මම ඔව් කියලා කිව්වේ ඇයි කියලා ඔයාලා හිතනවා ඇති. ඒ මම ඒ වෙනුවෙන් අවැසි මාවත තනාගෙන සිටිය නිසා. මේ ක්ෂේත්රයේ කිරුළක් දැරිය යුතුයි කියන අධිෂ්ඨානය මගේ හිත පුරාවටම තිබුණා. එය එක්තරා ලෙසක සිහිනයක්. එහෙත් අපේ රටේ සංවිධානය කරන මෙවැනි තරග පිළිබඳ මට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. ෆේවරේෂන්වලට මුල් තැන දුන් තරග වැඩිම ප්රමාණයක් සංවිධානය වෙන්නේ. මේ නිසා පැජන්ට් එකකට සහභාගි වීමේ අදහස අතහැර දැමූ කාලයක් තිබුණා.
කිරුළක් දිනා ගැනීමේ සිහිනයක් පසුපස ඔබ හඹා ගියාද?
මේ ගැන මගේ සැමියාට මුලින්ම පවසද්දී ඔහු මාව දිරිමත් කළා. ඔයා ලස්සනයි, ඔයාට පුළුවන් කියලා ඔහු හැමවෙලේම කිව්වා. මිස් එක මිස්ඩ් වුණු නිසා මිසිස් එක අතහැර ගන්න ඕන නැහැ කියලා ඔහු කිව්වේ. අයැදුම් පත්රය දමද්දි නම් කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. විනිශ්චය මණ්ඩලයේ හිටපු කිසිම කෙනෙක්ව මම අඳුරන්නේ නැහැ. තරගය ක්රමක්රමයෙන් ඉදිරියට ඇදෙද්දී මට හිතුණා ඇත්තටම කොයිතරම් සාධාරණ විනිශ්චයන්ද මේ ලැබෙන්නේ කියලා. සියයට සියයක්ම අවංක තීන්දු.
අද ඔබේ හිස මත දිදුලන්නේ කිරුළක්. ඒ පිටුපස ඇති ඔබේ උත්සාහයේ කතාව කිව්වොත්?
මම පිළියන්දල. අපේ ගෙදර කෙල්ලොම තුන්දෙනයි. අක්කයි, නංගී, මායි. මගේ තාත්තා ඉංජිනේරුවෙක්, අම්මා ගණකාධිකාරිවරියක්. ඒ දෙන්නම වරාය අධිකාරියේ සේවය කරන්නේ. අක්කා දැන් ඉන්නේ ෆින්ලන්තයේ. නංගි පිහිනුම් ශූරියක්.
පැජන්ට් සඳහා සහභාගි වීමේ ගමනේ ආරම්භය කොයි වගේද?
මුලින්ම මම සහභාගි වුණේ සියත ‘මිස් වර්ල්ඩ් ශ්රී ලංකා‘ තරගාවලියට. ඒ 2017 දී. එතකොට මට වයස අවුරුදු 18යි. ටොප් 10වලට තේරෙන්න පුළුවන්කම තිබුණා. බොඩි බියුටි කියන මිනි පැජන්ට් එක එහිදී මට හිමි වුණා. මේ අවධියේ මම ෆැෂන් ඩිසයින් සම්බන්ධ ඩිප්ලෝමාව හදාරමින් සිටියේ. මේ කාලේ මට ෆොටෝ ෂූට් සඳහා ආරාධනා ආවා. මට ඕන වුණේ දිගටම හැදෑරීම් කරන්න. අධ්යාපනය අතින් ඉහළටම එන්න. ඉන්පසු මම ෆැෂන් ඩිසයින් සම්බන්ධව උපාධිය හැදෑරුවා. ඒ කාලේ මම ඔරියන්ට් ඩිසයින් නමැති ආයතනයක ඩිසයිනර් කෙනෙක් ලෙස සේවය කළා. එයින් පසු මම පශ්චාද් උපාධිය හදාරන්න පටන් ගත්තා. එය නම් කෙරුණේ ‘මාස්ටස් ඉන් ෆැෂන් බිස්නස් මැනේජ්මන්ට්‘ ලෙස. එහි අන්තිම වසර මේ ගතවෙන්නේ. දැන් මට රිසර්ච් එක කරන්න තියෙන්නේ. සමාජ මාධ්ය සඳහා ෆැෂන් සම්බන්ධවන අන්දම පිළිබඳයි මම රිසර්ච් එක කරන්නේ.
ඔබ ව්යවසායිකාවක් නේද?
ඔව්. මට මගේම කියා ක්ලෝතිං බ්රෑන්ඩ් එකක් තියෙනවා. මගේ සැමියා සමඟයි මේ ව්යාපාරය කරන්නේ. කාන්තා ඇඳුම් පමණයි අපි සිදු කරන්නේ. මගේ ප්රධානම ආදායම් මාර්ගය එයයි.
මීට අමතරව මම ෆැෂන් ඩිසයින් සම්බන්ධ කථිකාචාර්යවරියක්. කාන්තාවන් සඳහාම ෆැෂන් ඩිසයින් උගන්වන ආයතනයකටයි මම සම්බන්ධ වී සිටින්නේ. ව්යවසායිකාවන් බිහි කිරීමයි මෙම ආයතනයේ අරමුණ. මම හරිම ආසාවෙන් ඒ ආයතනයේ උගන්වන්නේ. ඉගෙන ගත්ත දේ, දන්න දේ උගන්නන්න මම හරිම ආසයි.
මිසිස් තරගාවලියකට සහභාගී වීමේ සිට ජයග්රහණය දක්වා ආ ගමනට සැමියා ඒ සහයෝගය අතිශය වැදගත් නේද?
ඔව් ඇත්තටම. ඒ සහයෝගය මට මගේ සැමියාගෙන් උපරිමයෙන්ම ලැබුණා. ඔහු ඉතාම හොඳ කෙනෙක්. හරිම මිත්රශීලී, මනා අන්යෝන්ය අවබෝධයකින් යුතුව කටයුතු කරන කෙනෙක්. ඔහුව මට මුණ ගැසුණේ මම ෆැෂන් ඩිසයින් ඩිප්ලෝමාව හදාරන කාලයේ. හරියටම මට අවුරුදු 18දී. අපි අවුරුදු 7ක් ආදරය කරලයි විවාහ වුණේ. ඔහු ළහිරු ධනංජය. ඔහුත් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් සහ ව්යාපාරිකයෙක්.
මේ තරගයේදී වුණත් ඔහු මට කිසිම වාරණයක් දැම්මේ නැහැ.
මෙහිදී ඔබ මිනි පැජන්ට් දෙකකින් ජයග්රහණය කරනවා නේද?
බොඩි බියුටි සහ මිසිස් ඉන්ටැලිජන්ට් කියන තරග දෙකේ ජයග්රහණය හිමිවෙන්නේ මට.
මිසිස් යුනිවර්ස් කිරුළ වෙනුවෙන් ඔබ බොහෝ කැප කිරීම් කරන්නත් ඇති නේද?
මගේ මුලින්ම බර තිබුණේ කිලෝ 67ක්. සති 3කින් කිලෝ 61ක් දක්වා බර අඩු කරගත්තා. ජාත්යන්තර තරගයට සහභාගි වීමට පෙර තවත් කිලෝ 5ක් පමණ බර අඩු කර ගැනීමේ අධිෂ්ඨානයෙනුයි ඉන්නේ. හාර්ඩ් වර්ක් අවුට් එකකට යන්න ඕන. ඒ සඳහා විශාල කැප කිරීමකුත් කරන්න වෙනවා.
ලැබූ ජයග්රහණයත් සමඟින් ඔබ නුදුරේදීම ජාත්යන්තර තරගයක් සඳහා සූදානම් විය යුතුයි. ඒ සඳහාවන සූදානම කොහොමද?
මිසිස් යුනිවර්ස් වැනි ජාත්යන්තර තරගයක් රූපලාවණ්යයට පමණක් සීමා වූ වේදිකාවක් නොවේ. කාන්තාවකගේ පෞරුෂය, සන්නිවේදන හැකියාව, නායකත්ව ගුණාංග, සමාජය පිළිබඳ අවබෝධය සහ තම රට නියෝජනය කිරීමේ හැකියාවට එහිදී වැදගත් තැනක් හිමි වෙනවා. එබැවින් කිරුළක් හිමිවීම යනු බාහිර සුන්දරත්වයට පමණක් ලැබෙන ඇගයීමක් නොව, සමස්ත පෞරුෂයකට ලැබෙන පිළිගැනීමක්. මම නියෝජනය කරන්නේ මාව නෙවෙයි. මගේ රට. ශ්රී ලංකා නාමය බැබළවීම සඳහා ජයග්රහණයක් කරා යා යුතුමයි කියන අදිටනේ මම ඉන්නේ.
මේ ඔටුන්න හරි ලස්සනයි, ඒ වගේම බරයි. මගේ හිසමත තැබුයේ විශාල බරක්. ඒ බර මට හොඳට දැනෙනවා. මෙය මට වගකීමක්. මම ඒ සඳහා වග විය යුතුයි.
මේ ගමන තනිව යා හැකි ගමනක් නොවේ. සෙස්සන්ගේ සහයෝගය ඕනෑවටත් වඩා ලැබිය යුතුයි. ඔබට උදව් උපකාර කළ අය ගැන සිහිපත් කරමු නේද?
මෙහි විනිශ්චය මණ්ඩලයට, තරග සංවිධායක මලිත් රණසිංහ මහාතාට බොහෝම ස්තුතියි, මෙවැනි දැවැන්ත තරගාවලියක් සංවිධානය කරනවාට. එසේම සංජීවනි ඇඹුල්දෙණිය, ඇය කලින් තරග ජයග්රාහිකාවක්. ඇගේ ලද ගුරුහරුකම් බොහොමයි. ඒ වගේම රුවන් මහත්මයා, ඌෂා ආදරයෙන් මතක් කළ යුතුයි.
ඡායාරූප : ශාන් රඹුක්වැල්ල