නිපුන් කියලා කතා කරන්නද, විහස් කියලා කතා කරන්නද?
මේ දවස්වල නම් හැමෝම කතා කරන්නේ විහස් කියලා. ඒත් නිපුන් කියනවට කැමැතියි.
නිපුන්, කොහොමද ‘මං ආදරෙයි’ ටෙලිනාට්යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ?
ලක්සිරි සර් සහ සුභා අක්කා තමයි මාව ‘මං ආදරෙයි’ ඩිරෙක්ටර් හර්ෂ උඩුකන්ද සර්ට සම්බන්ධ කරන්නේ. හර්ෂ සර්ගේ වැඩක් නිසා මම මාර ආසාවෙන් මේකට සම්බන්ධ වෙන්නේ. හැබැයි මේ හැම දේටම මුල් වුණේ දෙරණ ඩී්රම් ස්ටාර්.
විහස් කියන චරිතය ගැන නිපුන්ට මොකද හිතෙන්නේ?
කෙළින්ම කිව්වොත් විහස් කියන්නෙ නිපුන්ම තමයි. වෙනසක් නැහැ. ඒ නිසා මට අමුතුවෙන් ඒ චරිතයට හැඩගැසෙන්න ඕනෙ වුණේ නැහැ.
විහස් කියන්නේ ඔබේ පළමු රංගන අත්දැකීම නේද?
ඔව්. ‘මං ආදරෙයි’ කියන්නේ පුංචි තිරයේ මගේ පළමුවැනි රංගන අත්දැකීම.
ඉදිරියේදී විහස් සහ ආරාධනාගේ ආදර කතාවේ මොන වගේ වෙනස්කම් සිදුවෙයිද?
හිතාගන්නවත් බැරි විදිහට ඉස්සරහට අපේ ආදර කතාව ලස්සන වෙනවා. ලස්සන වෙනස්කම් ගොඩක් ඉස්සරහට සිද්ධ වෙයි. ඉස්සරහට සප්රයිස් ගොඩයි.
ඩී්රම් ස්ටාර් කාලයේදී නිපුන් ගොඩක් දෙනාගේ ක්රෂ් එක වෙලා හිටියා කියලා මතකයි. ඒ කාලය ගැන අද මතක් වෙද්දි මොකද හිතෙන්නේ?
අදටත් ජීවිතේ ලස්සනම කාලේ ඒ කාලේ. මං මොන වගේ තැනකට ගියත් එච්චර පිරිසක් මං එක්ක හිටපු නිසා තමයි මං අද මෙතැන ඉන්න කියන එක මං තදින්ම විශ්වාස කරනවා.
ඩී්රම් ස්ටාර් කාලයේදී දිගට කොණ්ඩය වවාගෙන හිටපු නිපුන්ම දැන් සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකින් දකින්න ලැබෙනවා. ඒ වෙනස කරන්න හිතුවේ ඇයි?
මම එක විදිහකට ඉන්න කැමැති කෙනෙක් නෙමෙයි. කොණ්ඩේ කපනවට කිසිම කෙනෙක් කැමැති වුණේ නැහැ. ගෙදරින්වත් කැමැති වුණේ නැහැ. අන්තිමට මං කාටවත් නොකියා හොරෙන්මයි කොණ්ඩේ කැපුවේ.
‘ආල මනාපේ’ ගීතයට මේ දවස්වල ලැබෙන ප්රතිචාර කොහොමද?
‘ආල මනාපේ’ ටික්ටොක්වල නිතරම ඇහෙන සින්දුවක් වෙලා. ප්රතිචාර ඉහළයි.
ඩී්රම් ස්ටාර් වේදිකාවෙන් පටන් ගත්ත ගමන ගැන ආපසු හැරිල බලද්දි මොකද හිතෙන්නේ?
අද මං මේ ඉන්න තැන ගැන හීන මැව්වේ මට අවුරුදු දොළහෙ විතර ඉඳලා. මොකද මං මේ ගමන පටන් ගත්තෙ දෙරණ ලිට්ල් ස්ටාර්වලින්. ඉතින් මම මගේ මහන්සිය ගැන නිහතමානීව ආඩම්බරයි.
මොඩ්ලින් පැත්තටත් කැමැත්තක් තියෙනවා වගේ පේනවා. ළඟදි කරපු ලස්සන ෆොටෝ ෂූට් එක ගැනත් කතා කරමු නේද?
සාමාන්යයෙන් T-shirt brands promotional photoshoots, Groom photoshoots කරනවා. අන්තිමට කළේ Salon Dinu dreamz හි groom photoshoot එකක්.
ගායකයෙක් විදිහට ඉඳපු නිපුන්ට රංගනය ගැන මොකද හිතෙන්නේ?
ගායකයෙක්ගේ career එකේ එන්න පුළුවන් උපරිම තැනට මම ඇවිත් ඉන්නේ. රංගනය මම දවසින් දවස ඉගෙන ගන්නවා. තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.
ළඟදීම නිපුන්ගෙන් අලුත් ගීතයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
මගේ අලුත් ගීතය හෙට අනිද්දම අහන්න පුළුවන්. මේ වෙද්දි ඒක හැදිලා ඉවරයි. මේ හැම එකකටම වඩා වෙනස් එකක්. අනිවා ඔයාලා කැමැති වෙන විදිහේ වැඩක් වෙයි ඒක.
ඉදිරියේදී ඔබව අලුත්ම පැත්තකින් ප්රේක්ෂකයන්ට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවාද?
ඔව් සමහරවිට. තව එක හීනයක් තියෙනවා. ඉදිරියේදී බලමු.
නෙත්මි මල්ෂා