මම ආදරය කරපු කෙනා මට නොලැබුන අවස්ථා ජීවිතයේදි තිබිලා තියනවා-රවීන් කනිෂ්​ක

gossiplanka image 1
 1.දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයෙන් ගායකයෙක් වුන රවීන් අපූරුවට රගපාන්න පුරුදුවුනේ කොහොමද  ? 

මාව ගායකයෙක් කරපු දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය මට නිකන්ම නිකන් ගායන තරගයක් වුනේ නැහැ⁣. ඩ්‍රීම් ස්ටාර් තරගයේදී ප්‍රාසාංගික රංගනය, නර්තනය, අංගචලන හැසිරවීම ඇතුළු ගොඩක් දේවල් අපිට පුහුණු කෙරෙව්වා. ඉතින් ඩ්‍රීම් ස්ටාර් හරහා තමයි මම රංගනය ගැන මූලික දේවල් ඉගෙනගෙන රගපාන්න පුරුදුවුනේ. ඩ්‍රීම්  ස්ටාර් තරගයෙන් ඉගෙනගත්ත දේවලුත් එක්ක රංගන ක්ෂේත්‍රයට ආපු මට ක්ෂේත්‍රයේ අත්දැකීම් උදව් වුනා මම තුළ ඉන්න රංගනශිල්පියාව වැඩිදියුණු කරගන්න. එතනින් පස්සෙ රංගනය ගැන මම ස්වයං අධ්‍යයනයක් කරලා වැඩිදුරටත් රංගන හැකියාව දියුණු කරගෙනයි අද රංගනශිල්පියෙක් විදිහට මේ තත්වෙ ඉන්නෙ. 

2. දෙවෙනි ඉනිම අවසාන වුනාට පස්සෙ රවීන්ට මොකද වුණේ ? 

අවුරුදු 8 ට ආසන්නව විකාශයවුන දෙවෙනි ඉනිම ඉවර වුනහම නිදහසක් හම්බෙයි කියලා මම බලාපොරොත්තු වුණා. හැබයි දෙවෙනි ඉනිම ඉවරවෙනවත් එක්කම තිලින බොරලැස්ස අධ්‍යයක්ෂණය කරන හත්වෙනි මනාලි ටෙලිනාට්‍යයේ රගපාන්න මට ආරාදනා ලැබුනා. ඉතින් බලාපොරොත්තුවෙන් හිටපු නිදහස ගැන අදහස අතෑරලා හත්වෙනි මනාලි ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. 

3. හත්වෙනි මනාලි ටෙලිනාට්‍යයේ රවීන් කවුද ? 

දේව් සූරියසිංහ විදිහ⁣ටයි මම හත්වෙනි මනාලි ටෙලිනාට්‍යයෙන් රසිකයො අතරට එන්නෙ. කැම්පස් කාලෙදි දේව් කෙල්ලෙක් එක්ක අවංක ආදරයක් පවත්වගෙන යනවා. හැබැයි දෙන්නා අතර ඇතිවුන ප්‍රශ්න නිසා දේව්ට ඒ ආදරය නැතිවෙනවා. එතනින් පස්සෙ දේව්ට ඇතිවන දුක, කේන්තිය එක්ක පවුලෙ අය ගේන මංගල යෝජනා බලන්න යනඑකෙන් තමයි හත්වෙනි මනාලි කතාව පටන්ගන්නෙ. 

4. ලොකු පවුලක් හත්වෙනි මනාලි ටෙලිනාට්‍යයේදි රවීන්ට ඉන්නවා නේද ? 

ඔව්. හත්වෙනි මනාලි ටෙලිනාට්‍යයේදි මට ඉන්නවා අම්මයි, තාත්තයි, ආච්චියි, අක්කයි, මස්සිනයි. හැමදේටම හිනාවෙන් සතුටෙන් මුහු⁣ණ දීම තමයි මේ පවුලෙ අයගේ විශේෂත්වය. හත්වෙනි මනාලි ටෙලිනාට්‍යයේදි මම ආදරෙන් පැරදුනාට මගේ පවුලෙ අය ඉන්නකන් මාව මානසිකව වැටෙන එකක් නැහැ⁣ කියලා මම හිතනවා. 

5. මනමාලියො හත් දෙනෙක්ම බලන්න යනවද ? 

ඔව්නෙ. ආදරය කරපු කෙල්ලට රිද්දන්නයි පවුලෙ අයගේ කීමටයි මනමාලියො හත්දෙනෙක්ම බලන්න යනවා. හත්දෙනෙක් කිව්වට කතාවෙ මට ආදරය කරන කෙල්ලො නවදෙනෙක් විතර ඉන්නවා. හැබැයි මුල් ආදරය තවමත් හිතේ තියන නිසා දේව් මේ එක කෙල්ලෙක් ළගවත් නතරවෙන්නෙ නැහැ⁣. 

6. දෙවෙනි ඉනිමෙ අනුහස්ට වඩා හත්වෙනි මනාලි ටෙලිනාට්‍යයේ දේව් නපුරුයිද ? 

අනේ නැහැ⁣. දේව් නපුරු කෙනෙක් නෙමෙයි. අවංකව ආදරය කලත් දේව්ට ලැබුනෙ ⁣ද්‍රෝහිවීම විතරයි. ඒ නිසා ආදරය සම්බන්ධයෙන් දේව්ට තියෙන්නෙ වෙනස් අදහසක්. ඒ ඇරුනහම අනුහස්ට තිබුන හොද ගතිගුණම තමයි දේව්ට තියෙන්නෙ. හැබැයි මේ දෙවෙනි ඉනිම නෙමෙයි. මේ වෙනස්ම කතාවක් ඔස්සෙ දිගහැරෙන හත්වෙනි මනාලි ටෙලිනාට්‍ය. 

7. දේව් මේ කරන්නෙ එයාවත් රවට්ටගෙන තවත් ගෑණු ළමයින්ට බලාපොරොත්තු දෙනඑකද ? 

ඔව්. එහෙම හිතන්න පුළුවන්. ආදරය කරපු කෙල්ල දාලා ගියා නම් දිගටම ඒ ගැන හිතහිත ඉන්නෙ නැතුව වෙන කෙල්ලෙක්ට ආදරය කරලා ජීවිතය පිළිවෙලක් කරගන්නඑක හොදම දේ කියලයි මම හිතන්නෙ. හැම කෙනෙක්ටම ආදරය කරපු කෙල්ල එක්කම විවාහවෙන්න ලැබෙන්නෙ නැති අවස්ථා තියනවා. ඒක තමයි ජවිතය කියන්නෙ. ජීවිතයේදි ඒකත් විදින්න ලැබුන අත්දැකීමක් කියලා හිත හදාගෙන ඉදිරිය හොද විදිහට ගොඩනගාගැනීමයි කරන්න ඕන. හැබැයි මම හිතන විදිහට නෙමෙයි දේව් හිතන්නෙ. පරණ ආදරේ තවම හිතේ තියාගෙන තමන්ටම රිද්ද ගැනීම දේව් කරන මෝඩ වැඩක් විදිහටයි මම දකින්නෙ. 

8. ආදරය කරපු කෙනා නොලැබුන අවස්ථාවලට රවීන් මුහු⁣ණ දීලා තියනවද ? 

ඔව්. මම ආදරය කරපු කෙනා මට නොලැබුන අවස්ථා ජීවිතයේදි තිබිලා තියනවා. හැබැයි මම ඒවට උපේක්ෂා සහගතව මුහු⁣ණදීලා ජීවිතය සාර්ථකව ගොඩනගාගත්තා. 

9. රවීන් බලාපොරොත්තුවුන ආදරය මේ වෙද්දි හම්බෙලාද තියෙන්නෙ ? 

ඔව්. මම බලාපොරොත්තුවුන ආදරය මේ වෙද්දි ලබාගෙන ඉවරයි. හැබැයි ඒ මනුස්සයෙක්ගෙන් නම් නෙමෙයි. මගේ ජීවිතයේ සතුට සැනසුම තියෙන්නෙ මෝටර් බයික් ළග කියලයි මම විශ්වාස කරන්නෙ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මනුස්සයා මොන පිස්සු කතාවක්ද මේ කියන්නෙ කියලා. හැබැයි මෝටර් බයික් කියන්නෙ මගේ පණ. පුංචිකාලෙ ඉදලා මම මෝටර් බයික් ගැන සිහින දැක්කා. මම සිහින දැකපු හැම බයික් එකක්ම අද මං ළග තියනවා. එතනින් එහාට ජීවිතයේ වෙන මොනවත් මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ⁣. 

10. හත්වෙනි මනාලි ටෙලිනාට්‍යයෙන් රසිකයො අතරට එන අතරතුරේදි කල්පනා චිත්‍රපටයෙනුත් රසිකයො අතරට එන්න ලැබීම ගැන රවීන් මොකද හිතන්නෙ ? 

මම රංගනයෙන් දායකවුන 4 වැනි චිත්‍රපටය "කල්පනා" අගෝස්තු 13 වනදා ඉදලා සිනමා ශාලාවල තිරගතවෙන්න පටන්ගත්තා. තවමත් සිනමා ශාලාවලින් කල්පනා චිත්‍රපටය රසිකයන්ට නරඹන්න පුළුවන්. පුංචි තිරයෙන් හත්වෙනි මනාලි ටෙලිනාට්‍යයේන් රසිකයො අතරට එන අතරතුරේම කල්පනා චිත්‍රපටයෙන් රිදී තිරය හරහා රසිකයො අතරට එන්න ලැබීම මට සතුටක්. මේ දිනවල තවත් චිත්‍රපට කීපයකම රංගන කටයුතු වලට මම සම්බන්ධවෙලා ඉන්නවා. ඉතින් ලබන අවුරුද්දෙදිත් රසිකයන්ට පුංචිතිරයෙන් මාව නරඹන අතරතුරේදි රිදී තිරයෙනුත් නරඹන්න පුළුවන්. 

11. රවීන් රංගනයෙන් වැඩිපුර රසිකයො අතරට එනවා කියන එකේ තේරුම ගායකයෙක් විදිහට දකින්න අඩුවෙනවා කියලද ? 

අනේ නැහැ⁣. මම රංගනය නිසා ගායනය  අතෑරලා නැහැ⁣. අලුත් සිංදු වගයක් රසිකයන්ට ලබාදෙන්නෙ මම සූදනමින් ඉන්නවා. ඉදිරියෙදි ගායනයෙන් නැවුම් ආරම්භයකින් රසිකයො අතරට එන්න මම බලාපොරොත්තු වෙනවා. 

ලක්ෂාන් ජයසූරිය

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post