එකම විදිහේ චරිත වුණත් වෙනස් අයුරින් රඟපාන්න උත්සාහ කළා- ජෙනට් ඇන්තනි

gossiplanka image 1
 


උප්පැන්න සහතිකයට අනුව ඔහු ජෝන් ඇන්තනී ජෙනට් දුලාංජ නම් වෙයි.ප්‍රේක්ෂකයින් ජෙනට් ඇන්තනී ලෙස ඔහුව හැඳීන්වුව ද ඔහුගේ සමීපතමයින් ආදරයට ඔහුව අමතන්නේ “ජෙනා” ලෙසය.දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ ජෙනට් කුඩා කාලයේ දී වැඩි දක්ෂතාවයක් දක්වන්නේ ගීත ගායනයටය.ඔහු රංගනයට යොමු වන්නේ ජාතික තරුණ සේවා නාට්‍ය පාසලට ඇතුළත්වීමත් සමඟය.වේදිකා පරිපාලක සහායකවරයෙකුගේ කාර්යභාරයෙන් වේදිකාවට අත් පොත් තබන ජෙනට් ,වේදිකා රංගනයට මුලින් ම ප්‍රවිෂ්ට වන්නේ එදිනෙදා නොපැමිණෙන රංගන ශිල්පීන්ගේ පාඩු පුරවමින් කුඩා කුඩා චරිතවලට පණ පොවමිනි.එසේ වේදිකාවේ හිස්තැන් පුරවන ඔහු “මම අපි සහ කළු රිය ” වේදිකා නාට්‍යය වෙනුවෙන් 2012 වසරේ දී ප්‍රතිභා සම්මාන උළෙලේ දී හොඳම නළුවා ලෙස අභිෂේක ලැබුවේය. ක්‍රිෂාන්ත ජයබාහුගේ “ඇයි අවුල්ද” වේදිකා නාට්‍ය තුළින් වේදිකාවේ ස්ථාවර වන ඔහු, ඉන් අනතුරුව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ජෝසප් ජෙරම්ගේ ටෙලිනාට්‍යයකිනි. ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ “කෝටිපතියෝ” ටෙලි නාට්‍යයේ ඔහු රංගනයෙන් දායක වූ “ජෙනා” චරිතයත්, කොළඹ ඉතාලිය ටෙලි නාට්‍යයේ ඔහු දායකත්වය දැක්වූ ත්‍රිත්ව චරිතත් ප්‍රේක්ෂකයින්ගේ සිත්වල ඔහු පිළිබඳව මුද්‍රා සලකුණු තැබීමට සමත් විය. ජගත් මනුවර්ණගේ “කොඩි ගහ යට” ඉන්දික ධර්මතිලකගේ “මැස්සා” සේම “අමුතු රසිකයා, අගනි පියාපත්, ඇතුල්වීම තහනම්, සරකස්කාරයෝ” වැනි ටෙලි නාට්‍යවල සිට, දිල්ෂාන් සජුන් බණ්ඩාර අධ්‍යක්ෂණය කරන “බෝල්ට් ඇණයක්” ටෙලි නාට්‍යය දක්වා ඔහු ආ ගමන් මග බොහෝ දිගුය. බෝලට් ඇණයක් ටෙලි නාට්‍යයේ ඔහු රඟ දක්වන “ජාලියගේ” චරිතය තුලින්, ඔහු තුළ වූ වෙනස්ම මානයක් දෘශ්‍යමාන වේ.මේ දිනවල බෝල්ට් ඇණයක් ප්‍රේක්ෂකයින්ට තමන්ගේ සුව නින්ද පවා අහිමිව ගොස් ඇත්තේ ජාලිය නිසාවෙනි. සාත්වික අභිනයෙන්, ඉතා පහසුවෙන් ප්‍රේක්ෂකයින් දිනා ගැනීමට ඔහුට ඇත්තේ අපූරු හැකියාවකි.


කොහොමද ජෙනට් මේ දවස්වල තොරතුරු?


මේ දවස්වල ඉලංගෝ රාම්ගේ “ප්ලේන් ටී” සිනමාපටයේ රූගත කිරීම් කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා.හපුතලේ,බදුල්ල වගේ ප්‍රදේශවල මාසයක් පුරා රූගත කිරීම් කටයුතු යෙදිලා තියෙනවා. පහුගිය දවස්වල චාලක රණසූරියගේ “පෝරකයක මඟුල් ගෙයක්” වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කටයුතුත් එක්කත් සම්බන්ධ වෙලා හිටියා.එහි මංගල දර්ශනය සැප්තැම්බර් මස 12 සහ 13 යන දිනවල සවස හතට බොරැල්ල පුංචි තියටර් හිදී පැවැත්වෙනවා.මෙම වේදිකා නාට්‍යයේ මාත් සමඟ දිනක්ෂි ප්‍රියසාද්, කුසල් මදුරංග, චනුක සංදීප එකතු වෙලා ඉන්නවා. මේක හරිම අපූරු වැඩක් ;වෙනස් විදිහේ වැඩක්. ඒ වගේම “අහංකාර නගරයේ සහ බෝල්ට් ඇණයක්” කියන ටෙලි නාට්‍යවල රූගත කිරීම් සඳහාත් සහභාගී වෙනවා.


බෝල්ට් ඇණයක් ටෙලි නාට්‍යයේ “ජාලියට” ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඒ ගැන නම් වචනයෙන් කියන්න බැහැ. හිතපු නැති විදිහට ප්‍රේක්ෂකයින් මේ චරිතයට ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා. ඔවුන්ගේ ප්‍රතිචාර ගැන මට ඇත්තටම පුදුමයි. ඔවුන් කියන විදිහට ජාලිය ඔවුන්ගේ සිත් පුදුම විදිහට කම්පනයට පත් කරලා තියෙනවා. මගේ හිතටත් පුදුම විදිහට දැනුණු චරිතයක් තමයි ජාලිය කියන්නේ.මේ දවස්වල හැමෝම කතා කරන්නේ ජාලිය ගැන. මමවත් හිතුවේ නැහැ මේ චරිතය මේ තරම් ප්‍රේක්ෂකයින් වැලඳ ගනියි කියලා.ඒ පිළිබඳව නිහතමානී සතුටක් මට තියෙනවා. ප්‍රේක්ෂකයින්ගේ ආදරය මට මේ විදිහට ලැබීමේ ගෞරවය හිමිවෙන්න ඕනේ බෝල්ට් ඇණයක් ටෙලි නාට්‍යයේ නිෂ්පාදක ජනක සම්පත් තඹරවිලට. ඔහු තමයි මෙම ටෙලිනාට්‍ය සඳහා මට ආරාධනා කළේ. ඒ වගේම එහි පිටපත් රචකයා වූ චාලක රණසූරියවත් ආදරයෙන් මතක් කරනවා. බෝල්ට් ඇණයක් අලුත් අධ්‍යක්ෂකවරයකු වූ දිල්ෂාන් සජුන් බණ්ඩාරගේ කුලුඳුල් නිර්මාණය. දුක සතුට ඔක්කොම එකට කැටි වෙලා තියන සංවේදී ටෙලිනාට්‍යයක් තමයි බෝල්ට් ඇණයක් කියලා කියන්නේ. සමස්තයක් විදිහට ගත්තොත් එහි චරිතය සඳහා මට ලැබෙන සියලුම ප්‍රතිචාර සර්ව සුබවාදීයි.


නවක අධ්‍යක්ෂකවරයකු යටතේ මෙවැනි චරිතයක් නිරූපණය කිරීම පිළිබඳව චකිතයක් දැනුණේ නැද්ද?


අලුත්ම අධ්‍යක්ෂකවරයෙකු යටතේ වැඩ කරන එක ගැන චකිතයක් සහ අවදානමක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. මුලින්ම දිල්ෂාන් කවුද කියන එක ගැන මට හරියටම කිව්වේ චාලක සහ ජනක.එයාලගේ තේරීම ගැන මගේ විශ්වාසයක් තිබුණා. දිල්ෂාන් කියන්නේ මියුසික් වීඩියෝ කරපු කෙනෙක්. මම ඔහුගේ වැඩ බලලා තියෙනවා. නවක පරපුරේ වෙනස් විදිහේ නව මානයකින් නිර්මාණ කරන නිර්මාණකරුවෙකු විදිහට මම ඔහුව හඳුනාගෙන තිබුණා. රූගත කිරීම් වලට කලින් කෙරුණු සාකච්ඡාවලදී ඔහුගේ කැපකිරීම සහ ඔහුගේ පරාසය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවකුත් මට ලැබුණා. ඒ තුළින් ඔහු ගැන පූරණ විශ්වාසයක් මගේ හිතේ ගොඩනැගුණා.


අනෙක් කාරණය, මම විශ්වාස කරන දෙයක් තමයි අලුත් නිර්මාණකරුවන් මේ ක්ෂේත්‍රයට නිතර නිතර අවතීර්ණ වෙන්න ඕනේ කියන එක.මොකද, අපිත් යම්කිසි කාලයක දී අලුත් අය විදියට තමයි මේ ක්ෂේත්‍රයට ආවේ. අද අපිට මේ විදිහට ස්ථාවර වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ අපේ ප්‍රවීණයින් අපිට ඉඩක් ලබා දුන්න නිසා. මම හිතනවා, අපිත් අලුත් අයට අත හිත දෙන්න ඕනේ කියලා. එතකොට තමයි ඔවුන්ට පුළුවන් වෙන්නේ ඔවුන්ගේ නිර්මාණය කෞශල්‍ය වඩා වර්ධනය කරගෙන මේ ක්ෂේත්‍රයට යමක් කරන්න. මේ ක්ෂේත්‍රය යාවත්කාලීන වෙන්න ඕනෙ වගේම නවීකරණය වෙන්නත් ඕනේ. අලුත් නිර්මාණකරුවන්ට පහසුවෙන් ඒක කරන්න පුළුවන්.


කෙටි කාලයක් තුළ දී වුණත් ඔබට විවිධ ශානරවල චරිත ලැබිලා තියෙනවා. ඒ ගැන මොකද හිතන්නේ?


වාසනාව වගේ දේවල් ඒකට හේතු වුණා කියලා කියන්නත් පුළුවන්. නමුත් මම වැඩිපුර කැමතියි,මගේ කැපවීම, විෂයට ඇති ආදරය සහ විෂය විශ්වාස කිරීම කියන කරුණු ඒකට හේතුවුණා කියලා කියන්න. මුලදී මට වුණත් එකම විදියේ චරිත ලැබුණා. හුඟක් වෙලාවට මට ලැබුණේ මැරයන්ගේ චරිත. නමුත් හැම මැරයෙකුම එක වගේ නෑනේ. ඒ නිසා මැර චරිතය වුණත් එකිනෙකට වෙනස් විදිහකින් ඉදිරිපත් කරන්න මම හැම වෙලාවෙම උත්සාහ කළා.ඒ නිසා එකම චරිතය තුළින් වුණත් වෙනස් මුහුණුවරකින් මට ප්‍රේක්ෂකයින් අතරට එන්න හැකියාව ලැබුණා. අපිට එකම විදියේ චරිත ලැබුණත් ඒවා තුළත් වෙනසක් ඇති කරගන්න කලාකරුවෝ විදිහට අපි දැනගන්න ඕනේ. ඒක තියෙන්නෙ අපේ අතේ.මට චරිතයක් ලැබුණහම මම හිතනවා,ඒ චරිතය නිරූපණය කිරීම මට අභියෝගයක් කියලා.ඒ නිසාම මම ඒ චරිතය වෙනුවෙන් ගොඩක් සූදානම් වෙනවා.ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැප කිරීම කරනවා.ඒක තමයි හැම වෙලාවෙම මාව නියමිත තැනට අරගෙන යන්නේ.


ඔබට පිටපතක් ලැබුණාම එහි ඇති ඔබේ චරිතය ඔබ ගොඩනගා ගන්නේ කොහොමද?


ඉස්සෙල්ලාම මම කරන දේ තමයි මට ලැබෙන පිටපත ඉතා හොඳීන් කියවන එක.මම ඒක බොහොම සැලකිල්ලෙන් කරන දෙයක්. පිටපත කියවද්දි මුලින්ම මගේ චරිතය පිළිබඳව මට දැනෙන අවබෝධයට සහ හැඟීමට ලොකු ඉඩක් ලබාදෙන කෙනෙක් මම.ඒ වගේම ඉන් පස්සේ මම කරන්නේ අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා සමඟ එම චරිතය පිළිබඳව සාකච්ඡා කරන එක. ඔවුන් එම චරිතයෙන් බලාපොරොත්තු වෙන චරිත පරාසය සහ එහි හැඩතල පිළිබඳව ඔවුන්ගේ අදහස් මට ඉතා වැදගත්.


ප්‍රේක්ෂකයෙකු පළවෙනි රූප රාමුවෙන් දකින චරිතයකට, ඊට එහා ගිය අතීතයක් තියෙනවා. ප්‍රේක්ෂකයා චරිතය දකින පළවෙනි අවස්ථාව එය වුණත්, රංගන ශිල්පියා එම චරිතය එතනට අරගෙන ඒමට පෙර එහි වපසරිය පිළිබඳව හොඳ අවධානයකින් සහ අවබෝධයකින් ඉන්න ඕනි කියලා මම හිතනවා. ඒ චරිතයේ දිග පළල, හැඩරුව, අතීතය, පාරිසරික සාධක, එම අවස්ථාව උදා වීමට පෙර තිබූ ආසන්නතම අවස්ථාවේ ස්වභාවය ආදී දහසකුත් දේ චරිත නිර්මාණයේ දී නිර්මාණකරුවාට වඩා වැදගත් වෙනවා. ඒ වගේම එම චරිතය සඳහා මා විසින් එකතු කළ යුතු දේ පිළිබඳව මම සොයා බලනවා. අපිට ප්‍රතිනිර්මාණය කරන්න ලැබෙන්නේ මේ සමාජයේ සිටිනා විවිධ චරිත. ඒ චරිත ප්‍රතිනිර්මාණයේ දී අප දන්නා සේ ම අප නොදන්නා පරාසයන් පිළිබඳවත් අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. ඒ නොදන්නා පරාසය අපට සොයා දැනගන්න සිද්ධ වෙනවා.


චරිතයක් ගොඩනඟනවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. මං හිතන විදිහට අපිට ලැබෙන චරිතය, හරියට පුංචි දරුවෙක් වගේ. ඔහුව කවා පොවා නිරෝගීව ඇති දැඩි කිරීම කරන්න ඕනේ අපි.ඔහුට ආදරය කරන්න ඔහුව ආරක්ෂා කරන්න වගේම ඔහු සමඟ නිරන්තරයෙන් එකට ගැවසෙන්නත් අපිට පුළුවන් වෙන්න ඕනි. හොඳ චරිතයක් ගොඩනගන්න නම් නිර්මාණකරුවෙකු දිවා රෑ නොබලා විශාල පරිශ්‍රමයකින් කටයුතු කරන්න ඕන කියලා මම හිතනවා.


වේදිකාව පිළිබඳ ඔබේ අදහස මොන වගේද?


මට අනුව නම්, වේදිකාව කියන්නේ මගේ කලා ජීවිතයේ අත්තිවාරම. වේදිකාව මට ඉතා හොඳට දැනෙනවා. ඒ වගේම වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමාව කියලා කියන්නේ වෙනස් ආකාරයේ මාධ්‍ය තුනක් කියන එක මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ. සිනමාව සහ ටෙලි නාට්‍ය කියන මාධ්‍ය දෙකේම මගේ පැවැත්ම රඳා පවතින්නේ වේදිකාව මත කියන එක මම විශ්වාස කරනවා.මේ ක්ෂේත්‍රයේ දී පුහුණුව කියන එක ඉතාම වැදගත්. එකිනෙකා පුහුණුව ලබා ගන්නා ආකාරය විවිධාකාරයි. මම මගේ පුහුණුව ලබා ගන්නේ වේදිකාව තුළින්. ටෙලි නාට්‍ය සහ සිනමාවේ මගේ චරිත නිරූපණය සඳහා වේදිකාව මට ලොකු පිටුවහලක්. ඒ නිසාම වසරකට එක් වේදිකා නාට්‍යයකටවත් සම්බන්ධ වෙන්න හැමවෙලාවෙම මම උත්සාහ කරනවා.


ඒ කියන්නේ ඔබේ වැඩි ප්‍රේමය තියෙන්නේ වේදිකාවට?


නැහැ. මම මේ මාධ්‍ය තුනටම ආදරය කරනවා.ඕනෑම රංගන ශිල්පියකුගේ තියෙන හීනයක් තමයි, තමන්ගේ රූපය පුළුල් තිරයකින් දකින එක.මගෙත් ඒ හීනය තිබුණා.ඒ නිසා වේදිකාවට තරමටම මම සිනමාවටත් කැමතියි. මම කියන්නේ මගේ පැවැත්ම හැදෙන්නේ වේදිකාවෙන් කියන එක.මං මුලින්ම කිව්වා වගේ මේ මාධ්‍ය තුනෙන් ලැබෙන්නේ පාඩම් තුනක්; අත්දැකීම් තුනක්. ඒ වගේම තමයි මේ මාධ්‍ය තුනට සිටින ප්‍රේක්ෂකයෙනුත් තුන් ආකාරයි. වේදිකා නාට්‍ය බලන පිරිසක් ඉන්නවා වගේම නොබලන පිරිසකුත් ඉන්නවා. සිනමාව පමණක් රස විඳීන පිරිසකුත් ඉන්නවා. ටෙලිනාට්‍යවලින් පමණක් තමන්ගේ රසවින්දනය ලබාගන්න පිරිසකුත් ඉන්නවා. මේ ත්‍රිවිධ රසිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර එකිනෙකට වෙනස් මේ හැම ප්‍රතිචාරයක්ම මම බාරගන්නේ ඉතාමත් සතුටින් කියන එක අනිවාරයයෙන්ම කියන්න ඕනේ.


චරිතාංග නළුවෙක් ලෙස ඔබ අද ක්ෂේත්‍රයේ ස්ථාවර වෙලා ඉන්නවා.ඒ ආ ගමන් මග දෙස හැරී බැලුවොත් මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?


අනිත් අය මාව චරිතාංග නළුවෙක් ලෙස හැඳීන්වුවත් මම තවමත් මාව චරිතාංග නළුවෙක් ලෙස හඳුන්වන්න ඉක්මන් වන්නේ නැහැ.මොකද,තව දුරටත් මම රංගනය හදාරමින් ඉන්නේ.තව කරන්න දේවල් ගොඩක් තියෙනවා කියලා මට හිතෙනවා.මම හැම වෙලාවෙම හිතන්නේ නිර්මාණයකින් ලැබෙන අලුත් චරිතයකින් මට අලුතින් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා.මේ ක්ෂේත්‍රය තුළ විවිධාකාරයේ චරිත නිරූපණය කරන්න අපිට අවස්ථාව උදාවෙනවා. ඒ වගේ වෙලාවට අපි ඒ ඒ චරිත පිළිබඳව නැවත නැවත හදාරන්න ඕනේ.එතකොට තමයි අපිට චරිතේ ඇතුලේ ස්ථාවර වෙන්න පුළුවන් වෙන්නේ රංගන ශිල්පියෙක් චරිතයක් තුළ ස්ථාවර වීම කියලා කියන්නේ, ඔහු ලබන ලොකු ජයග්‍රහණයක්.


මෙතෙක් දුර මම ආව ගමන් මග ගැන කිව්වොත්, මගේ කලා ජීවිතය ආරම්භ වන්නේ මගේ පාසලෙන්. මගේ පාසල දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය.පාසල තුළින් තමයි මම මුලින්ම නාට්‍ය හා රංග කලාව හදාරන්නේ. නමුත්, මගේ පවුල් පරිසරය දෙබස් කථන මුද්‍රා නාට්‍යවලට යම් සම්බන්ධයක් තියෙනවා. සමහර විට මම නාට්‍ය හා රංග කලාව තෝරා ගන්නේම ඒ නිසා වෙන්න ඇති.මම ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධ වන්නේ 2012 වසරේදී.ඉන් පස්සේ රාජ්‍ය නාට්‍ය උලෙළ හරහා වේදිකාවට පිවිසෙන්න මට පුළුවන්කම ලැබෙනවා. වේදිකාව තුළින් පුංචි තිරයටත් ඉන්පසු පුළුල් තිරයටත් මම සම්බන්ධ වෙනවා. පුළුල් තිරයට නම් මම තාම ආධුනිකයි.



“කොළඹ ඉතාලිය” ගැන කතා නොකරම බැහැ.


“කොළඹ ඉතාලිය” ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක්. මගේ ජීවිතයේ මාව ප්‍රේක්ෂකයින් අතරට අරගෙන ගිය කෙනෙක් තමයි ශිවා අයියා කියලා කියන්නේ. අද මම යම් තැනක ඉන්නවා නම් ඒ ශිවා අයියා නිසා. ඔහු ආධුනිකයින්ට අවදානම නොතකා විශාල වශයෙන් ඉඩකඩක් ලබා දෙන අධ්‍යක්ෂකවරයෙක්. ජෙනට් ඇන්තනීව ගොඩනැගිවේ ශිවා අයියා කියලා කියන්න පුළුවන්. ඒ තරමට ඔහු මගේ ජීවිතයට සම්බන්ධයි. මේ ටෙලිනාට්‍යයේ පිටපත රචනය කළේ චාලක රණසූරිය. ඇත්තටම මේකෙ මට තිබුණේ පොඩි චරිතයක්. චාලක ,මම නිසාම මේ චරිතයට දිගුවක් එකතු කළා.ඇත්තටම චාලක සහ ශිවා අයියා නිසා ප්‍රේක්ෂකයින් මාව අඳුර ගත්තා. අජිත්, අජී සහ අජන්තා කියන චරිත තුනම මම මේ නාට්‍යයේ රඟපෑවා. මේ චරිත තුන ක්‍රමිකව තමයි විකාශනය වුණේ. මෙහි එන එක චරිතයක් පිරිමි චරිතයක්. අනිත් චරිතය කාන්තා ලක්ෂණ වැඩිපුර තිබෙන චරිතයක්. ඊළඟ චරිතය කාන්තාවකගේ චරිතයක්.මේ හේතුව නිසාම ප්‍රේක්ෂකයින්ගේ අවධානය මේ චරිතයට ලැබුණා කියලා මම හිතනවා.


ඒ වගේම මට පෞද්ගලික වශයෙන් ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ලැබුණු, මා පිළිබඳව ආත්ම විශ්වාසයක් ඇති කෙරුණු තැනක් තමයි කොළඹ ඉතාලිය කියලා කියන්නේ.අදට වුණත් මාව මුණ ගැහෙන ප්‍රේක්ෂකයින් මේ චරිත ගැන කතා කරනවා; ඔවුන්ගේ අදහස් කියනවා.රංගන ශිල්පියෙකුට තියෙන ලොකුම සතුට තමයි ප්‍රේක්ෂක ප්‍රතිචාර. එය රංගන ශිල්පියෙකුගේ හැකියා පරාසය තව තවත් පුළුල් කරන්න හේතු වෙනවා කියලා මම විශ්වාස කරනවා. නවකයෙක් වුණු මාව විශ්වාස කරලා මේ වගේ චරිත තුනක්ම ලබා දුන්නු කොළඹ ඉතාලිය ටෙලි නාට්‍යයේ නිෂ්පාදිකා සුධරමා නෙත්තිකුමාර අක්කාවත් මේ වෙලාවේදීත් මතක් කළ යුතුමයි.


පට්ටි ගෙදර “උපාලි” ඔබට දැනුණේ කොහොමද?


පට්ටි ගෙදර අනුෂ්ක රසාංජන සිල්වාගේ තිර රචනයක් සහ අධ්‍යක්ෂණයක්.මට ලැබුණු වෙනස්ම චරිතයක්.අනුෂ්ක කියල කියන්නේ වයසින් අඩු , චරිත හදන්න පුළුවන් සහ චරිතවලට ගැඹුරක් එකතු කරන්න පුළුවන් දක්ශ නවක අධ්‍යක්ෂකවරයෙක්.මම මගේ චරිතය තුළින් වගේම සමස්ත නාට්‍ය තුළිනුත් විශාල අත්දැකීම් රැසක් එකතු කරගත්ත තැනක් තමයි පට්ටි ගෙදර කියලා කියන්නේ.හරිම එකමුතුකමින් සාමූහික වගකීමෙන් කටයුතු කරපු ටෙලි නාට්‍යයක්.උපාලි සඳහා ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. මගේ රංගනය ප්‍රේක්ෂකයින් අතරට ගෙන යන්න ලෝභකමක් නැතුව මට උදව් කරපු හැමෝටම ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්න ඕනේ.විශේෂයෙන්ම දිනක්ෂි ,රෙබෙකා සහ නාට්‍යයේ සමස්ත රංගන ශිල්පීන්ට.ඔවුන්ගෙන් මට ලැබුණු සහයෝගය මං ගොඩක් අගය කොට සලකනවා.රංගන ජීවිතයේ මට දැනුණු, චරිතයක් තමයි උපාලි කියලා කියන්නේ.


ඉදිරියට ඔබව දකින්න ලැබෙන සිනමාපට මොනවාද?


ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කරන “ප්ලේන් ටී” සිනමාපටය මේ දවස්වල රූගත කිරීම් කරනවා. ඒ වගේම සජිත් අක්මීමන අධ්‍යක්ෂණය කරන “සීනි” සහ ලලිත් රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන “විසේකාර” කියන සිනමාපටවලිනුත් ඉදිරියට ප්‍රේක්ෂකයින්ට මාව දැක බලා ගන්න පුළුවන්.තවත් සිනමාපට දෙක තුනකට ආරාධනා ලැබිලා තියෙනවා.මේ දිනවල ඒ පිළිබඳව සාකච්ඡා කරමින් තමයි ඉන්නේ.


පවුලේ විස්තර ටිකක් කියමු.


මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි නංගියි මල්ලියි. මල්ලි නර්තන ශිල්පියෙක්.ඔහු තමයි මහ ගෙදර මගේ කාර්යභාරය අදටත් ඉෂ්ඨ කරන්නේ. ඒ සියලු දෙයින්ම ඔහු මාව නිදහස් කරලා තියෙන්නේ. මගේ බිරිඳ බුද්ධිකා කාවින්දී. ඇය නර්තන ගුරුවරියක්. ඇය තමයි මගේ පාසල් ප්‍රේමය.අපිට වසර දහයක විතර හරිම ලස්සන යොවුන් ප්‍රේමයක් තිබුණා. ඉතාම හොඳ බිරිඳක් වගේම, ඇය තමයි මගේ ළඟම ප්‍රේක්ෂිකාව;ඒ වගේම පළවෙනි විචාරකවරිය. ජීවිතයේ දුක සහ සතුට කියන දෙක ළඟම, ඇය මගේ ළඟින්ම හිටපු කෙනෙක්.ඇය තමයි දැන් මගේ ජීවිතය. වේදිකාවේ පුංචි පුංචි චරිත කරන කාලයේ පටන් ම ඇය මගේ හිත ළඟ සවියට හිටියා.අනාගතය ගැන කියලා නිතරම මට ධෛර්යය දුන්නා. වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව පිළිබඳව ඇයට ලොකු වැටහීමක් තියෙනවා. ඒ වැටහීම මගේ රංගන ජීවිතයට ලොකු ශක්තියක් වගේම පහසුවක්. චරිතයක් තුළ මගේ රංගනය ගැන ඇගේ අදහස් දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ. අපි හරි සතුටින් සහ ආදරෙන් ඉන්නවා. ඇගේ ආදරය මගේ ජීවිතයට කියන්න බැරි තරම් ආලෝකයක් ගේනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post