පුංචි තිරයෙන්, රිදී තිරයෙන් දශක තුනකට ආසන්න කාලයක් රසික හදවත් පිනවූ ප්‍රවීණ රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ කුලුඳුල් සිනමා නිෂ්පාදන කාර්යය වන ආදරණීය තරුවක් මේ වන විට රිදී තිරය ආලෝකවත් කරමින් සිටියි. සිය ආදරණීය නෑනා වන ශනුද්‍රි සමඟ මේ සිනමා වතේ ප්‍රධාන චරිතයට පණ පොවන සාරංග, තරුණි අප හමුවේ ආදරණීය තරුවක් ගැන මෙසේ අදහස් පළ කළේය.
ඔබ චිත්‍රපට නිෂ්පාදනයට යොමු වුණේ ඇයි?
ඒක ඒ දවස්වල ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්. රංගන ශිල්පියෙක් ලෙස කාලයක් පුරා ක්ෂේත්‍රයේ ස්ථාවරයක් ගොඩනඟා ගත් මට මගේම වැඩක් කිරීමේ බලාපොරොත්තුවක් තිබුණා. ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ පළමු පියවර ලෙස මං මීට වසර හයකට පමණ පෙරාතුව ටෙලි නාට්‍ය නිෂ්පාදනයට යොමු වුණා. මා මුලින්ම නිෂ්පාදනය කළ ඒ ටෙලි නාට්‍ය ලන්සුපතිනියෝ නමින් 2019 වසරේදී විකාශය වුණේ ස්වාධීන රූපවාහිනියෙන්. අනතුරුව මා නිෂ්පාදනය කළ ටේක් කෙයාර් ටෙලි නාට්‍යය සම්මාන රැසකින් පිදුම් ලැබුවා වගේම අතිශය ජනප්‍රිය වුණා.
ඉතින් ටෙලිනාට්‍ය නිෂ්පාදනයෙන් අනතුරුව මගේ නිෂ්පාදන ආයතනය වන දිසාසේකර ෆිල්ම්ස් හරහා ආදරණීය තරුවක් චිත්‍රපටය රසිකයන්ට තිළිණ කළා.
චිත්‍රපට නිෂ්පාදනයට කුලුඳුලේම අත ගහන ඔබට එය අභියෝගයක් වුණාද?
මං එය අභියෝගයක් විදිහට ගත්තේ නෑ. මං මේ කාර්යය බොහොම ආසාවෙන් සිදු කළා. ඒ වගේම කැප වීමෙන් කටයුතු කරන කණ්ඩායමක් මං මේ සඳහා තෝරා ගත්තා. මෙය මෙහි අධ්‍යක්ෂවරයාගේ වගේම තිර රචිකාවියගේත් කුලුදුල් සිනමා නිර්මාණය. ඒ වුණත් හැමෝම වෘත්තියමය මට්ටමෙන් මේ වැඩේට එකතු වුණා. විශේෂයෙන්ම මෙහි කැමරා අධ්‍යක්ෂණය සිදු කළේ විශ්වජිත් කරුණාරත්න. ෆාදර් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදු කළෙත් ඔහු විසින්. මෑත කාලයේ ඔහු විසින් සිනමා ක්ෂේත්‍රයේ විශිෂ්ට නිර්මාණ රැසකට දායක වී තිබුණා. ඉතින් ඒ වගේ හොඳ කණ්ඩායමක් අප වටා එකතු වුණා. අපි හැමෝටම තිබුණේ හොඳ ඉලක්කයක්. ඉතින් ඒ ඉලක්කය අනුව හොඳ නිර්මාණයක් අප සිදු කර තිබෙනවා. ඒ වගේම මේ සමය සිනමා රසිකයන් හොඳ නිර්මාණ වටා එක් වෙමින් සිනමා ශාලාවලට ඇදී එන කාලයක්. අපි මේ වැඩේට බැස්සේ ඒ ධනාත්මක අදහස ඔළුවේ තියාගෙනයි. ඉතින් ප්‍රායෝගිකව එන අභියෝගවලට කණ්ඩායමක් ලෙස සාකච්ඡා කරමින් ඒ ගැටලු නිරාකරණය කරගෙන අප මේ කාර්යය සාර්ථකව කළා.
මේ චිත්‍රපටය ගැන කීවොත්..
මේ චිත්‍රපටය ප්‍රධාන චරිත තුනක් මත පදනම් වෙනවා. මෙහි ප්‍රධාන චරිත රඟදක්වන්නේ මම, ශනුද්‍රි සහ සංගීතා වීරරත්න. ඊට අමතරව ජීවන් කුමාරතුංග, සුජීව ප්‍රියලාල්, වාසනා දන්තනාරායන, දෙව්මි තත්සරණී, ප්‍රසන්න දැකුම්පිටිය මෙහි රංගනයෙන් දායක වෙනවා. මෙහි තිර රචනය සිදු කර තිබෙන්නේ දිල්හාරි ඉලංගකෝන්. දිල්ෂාන් අමරසිංහ මෙහි අධ්‍යක්ෂණය සිදු කර තිබෙනවා. චිත්‍රපටයේ කැමරාකරණය විශ්වජිත් කරුණාරත්න සිදු කරද්දී සිනමා නිර්මාණය සිදු කර ඇත්තේ ඔෂාන් ලියනගේ.
ආදරයේ තිබෙන පරිත්‍යාගශීලි බව මෙම නිර්මාණයෙන් ඉස්මතු කරනවා. වයස් භේදයකින් තොරව ආදරය අපේ ජීවිතවලට බද්ධ වී ඇති ආකාරය මෙයින් පෙන්වා දෙන බව කිව යුතුයි. ආදරය යනු හුදෙක්ම තමන්ගේ කර ගැනීම නොව පරිත්‍යාගයක් බව මෙයින් ගම්‍ය වෙනවා.
චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ගැන කිවුවොත්..
මේ චිත්‍රපටය රොමැන්ටික් ශානරයට අයත් වෙනවා. ඒ ශානරයේ චිත්‍රපටයක් ලෙස අපට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින බව කිව යුතුයි. සාමාන්‍යයෙන් අපේ රටේ චිත්‍රපටයක් ජනගත වන්නට සති දෙක තුනක පමණ කාලයක් ගත වෙනවා. අප දැන් ගත කරන්නේ ඒ කාලවකවානුව. ඉතින් තව සතියකින් දෙකකින් චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරය ගැන හරියටම කිව හැකියි. එහෙත් සිනමා ශාලා හිමිකරුවන් පවසන ආකාරයට මුල් සතිය නිමා වන විට ලැබෙන ප්‍රතිචාර, සතුටු විය හැකි මට්ටමක පවතින බව දැන ගන්නට ලැබෙනවා.
නෑනාත් එක්ක චිත්‍රපටයේ රඟපාද්දී ඔබට දැනුණේ කොහොමද?
රංගන ශිල්පියෙක් ලෙස මා එක්ක රඟපාන්නේ කවුද යන්න මට වැදගත් කාරණයක් නොවේ. මං එහි කරන්නේ චරිතයක්. මට එහිදී වැදගත් වන්නේ මං නිරූපණය කරන චරිතය හා ගැටෙන චරිතය කවුරුන්ද යන්නයි. ඇය ප්‍රවීණද අලුත්ද මගේ නෑයෙක්ද යන්න එහිදී අදාළ වන්නේ නෑ. වෘත්තීමය රංගන ශිල්පියෙක් ශිල්පිනියක ලෙස අප දෙන්නා, චිත්‍රපටයේ චරිතයට සාධාරණයක් කිරීම ප්‍රධාන අරමුණ වුණා. ඉතින් අධ්‍යක්ෂවරයාගේ හැසිරවීම යටතේ අපි දෙන්නාම මෙහි චරිත නිරූපණය කළා. ප්‍රේක්ෂකයන් එවන් ප්‍රශ්නයක් මට යොමු කර නැති බවද කිව යුතුයි. ඒ අනුව සැබෑ ජීවිතය මත පදනම්ව නොව, තිරයේ පද්මා සහ සිරිල් යන චරිත තුළ ප්‍රේක්ෂකයා බැඳී සිටිනවා.
දිනක්ෂි ඇතුළු පවුලේ සියලු දෙනාගේ ප්‍රතිචාර ගැනත් කියමු..
දිනක්ෂි ඇතුළු පවුලේ සියලු දෙනා මේ නිර්මාණය ගැන බොහොම සතුටුයි. මහන්සිවෙලා සිදු කළ මේ සිනමා වෑයම, දිනක්ෂි බොහෝ සෙයින් අගය කරනවා. ඒ වගේම ශේෂාද්‍රි, තාත්තා දිනේෂ් ප්‍රියසාද් මේ නිර්මාණය බොහෝම අගය කළා. සිංහල සිනමාවේ විචිත්‍රත්වයට ඔහු බොහෝ සෙයින් ආදරය කරනවා. ආදරණීය තරුවක් චිත්‍රපටයේ ප්‍රිමියම් එකේ සැණකෙළි ස්වභාවය ගැන ඔහු බොහෝ සෙයින් සතුටු වූ බවත් කිව යුතුයි. ඉතින් සිනමාව හරහා විචිත්‍රවත් දෙයක් රැගෙන ඒමේ සංස්කෘතිය ප්‍රේක්ෂකයන් හමුවේ තබන්නට අප මෙහිදී උත්සාහ කළා.
චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙස ඉදිරි වැඩ කටයුතු ගැන කීවොත්..
මා නිෂ්පාදනයෙන් දායක වන දෙවැනි චිත්‍රපටය සඳහාත් මේ වන විට පිඹුරුපත් සකසමින් සිටින බව කිව යුතුයි. මේ නිර්මාණයේ ප්‍රචාරණ කටයුතු කරමින් මෙය ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන අවස්ථාවේ එහි වැඩ කටයුතුත් කරගෙන යනවා. ඒ ගැන විස්තර ඉදිරියේදී කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. දිසාසේකර ෆිල්ම්ස් ලේබලයෙන් එයත් ඉදිරිපත් කිරීමට නියමිතයි.
අධ්‍යක්ෂණය පැත්තෙන් සිනමා නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?
ඔව්. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ අරමුණක්ද මගේ හිතේ තිබෙනවා. එය මෙයට වඩාත් වෙනස් විදිහේ වැඩක්. එය ටිකක් පර්යේෂණාත්මක රැඩිකල් වැඩක් වේ යැයි විශ්වාස කරනවා. එයත් ඉදිරියේදී ප්‍රේක්ෂකයන් අතරට පැමිණීමට නියමිතයි.
මේ දවස්වල පුංචි තිරයෙන් ඈත් වී සිටින්නේ කාර්යබහුලත්වය නිසාමද?
ඔව්, කාර්යබහුලත්වයත් එක් හේතුවක්. මේ චිත්‍රපටයට ලොකු අවධානයක් යොමු කිරීම තව හේතුවක්. මෑත කාලයේ හිතට දැනෙන පිටපතක් හෝ මගේ කාලය යෙදවිය යුතු යැයි සිතෙන බලපෑම්සහගත චරිතයක් නිරූපණය කළ හැකි අවස්ථාවකට ඇරයුම් ලැබුණෙත් නෑ. ඒ නිසා එයින් ලැබූ විවේකය චිත්‍රපටයේ කටයුතු සඳහා පහසුවක් වුණා. වැඩිපුර කාලයක් සිනමාවට යොමු කිරීමටද එයින් අවස්ථාව ලැබුණා.
ගායකයෙක් වූ දිනේෂ්වත් මේ චිත්‍රපටයේ කොටසක දකින්නට ලැබෙනවා. ඒ ගැන කිවුවොත්..
ඔහු එතැන නළුවෙක්ට වඩා එතැනට අදාළව යොදා ගත් බව කිව යුතුයි. එසේ නැතිව පවුලේ කෙනෙක්ව එතැනට යොදා ගත යුතු යැයි අප සිතුවේ නෑ. එතැනට ගැළපෙන ගීතය දිනේෂ්ගෙන් කර ගත හැකි යැයි අප විශ්වාස කළා. දිනේෂ් සහ කෛසර් දෙන්නාම චරිත දෙකක් ලෙස නොව ගායකයන් ලෙස ඔවුන්ගේ සැබෑ භූමිකාව එහි දක්වන බව කිව යුතුයි.
මේ කාර්යයේදී පවුලේ අයගෙන් ලැබුණු සහයෝගය..
මේ චිත්‍රපටයේදී පමණක් නොව ඕනෑම නිර්මාණ කාර්යයකදී පවුලේ අයගේ සහයෝගය නිබඳවම මට ලැබෙනවා. ඒ සහයෝගය නැත්නම් මේ වගේ වැඩක් වුණත් මට තනිව කරන්නට බෑ. ඉතින් ඒ ගැන ගොඩාක් සතුටුයි.
මේ දවස්වල ගෙවෙන ජීවිතය ගැන කිවුවොත්
මායි දිනක්ෂියි බබයි අලුත් නිවෙසක පදිංචියට ආවා. අපි කැමැති විදිහට එය සකස් කරගෙන සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙනවා. අපි දෙන්නම නිර්මාණකරණයේ යෙදෙනවා. නිර්මාණ කටයුතුවලදී මං ඇයට උදවු කරගෙන ඇය මට උදවු කරගෙන සහයෝගයෙන් ඉදිරියට යනවා. ඒ වගේම අපේ බබාත් කලාවට ගොඩක් නැඹුරුයි. එයා චිත්‍ර අඳිනවා, සින්දු කියනවා, නටනවා.. එයත් අප දෙන්නා වගේම කලාවට ඇලුම් කරන බව පේනවා.
ඉදිරි වැඩ කටයුතු මොනවාද?
මේ දවස්වල අනුෂ්ක රසාංජනගේ පළමු සිනමා නිර්මාණයට දායක වෙමින් සිටිනවා. එය නිෂ්පාදනය කරන්නේ වාසවබදුගේ ඇතුළු කණ්ඩායමක්. මම, දිනක්ෂි, රෙබෙකා ඇතුළු ටේක් කෙයාර් නාට්‍යයේ කණ්ඩායම එහිදී රිදී තිරයේ ඔබට දැක ගත හැකි වේවි.