මිනිස්සු ජීවිතය විඳින්නේ නැහැ යාන්ත්‍රික වෙලා -නිල්මිණි තෙන්නකෝන්

gossiplanka image 1
 



ඇය ප්‍රවීණ රංගවේදිනී, නිල්මිණි තෙන්නකෝන් නම් වෙයි වෙයි.” පුංචි තිරයේ කඳුළ බිංදුව” යැයි විරුදාවලී ලත් ඇය පුංචි තිරයේ සේම සිනමාවේ ද අවිහිංසකාව වූවාය. ලේ කිරි කඳුළු සිනමාපටයේ, වසර ගණනාවක් පෙරුම් පුරා දස මසකට ඉතා ආසන්න කාලයක් කුස හොවා සිට, අනපේක්ෂිත ලෙස තමන්ට අහිමි වූ දරු පැටියා වෙනුවෙන් (නීතියට අනුව ජීවයක් නැති කළලයක් වුවත්) ගරු උසාවි භූමියේ ඇය හඬා වැටුණු ආකාරයට ඇය සමඟ එදා රටක්ම හැඬුවේය. ඇයගේ කම්පිත හඬින් මුළු සමාජයම කම්පිත විය. 2003 වරෂයේ සරසවි සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස ඇයව අභිෂේක ගැන්වීමට එම රංගනය සමත් විය. “කළලයක් ජීවියෙකු නොවේද?” යන්න ගැන එකල සමාජය තුළ කතිකාවතක් ඇති කිරීමට පවා ඇයගේ එම ප්‍රතිභා පූර්ණ රංගනය සමත් විය. දිය සුළිය ටෙලි නාට්‍යයේ සහෝදරත්වයටත් ප්‍රේමයටත් මැදිව සාධාරණය සහ අසාධාරණය අතර දෝලනය වූ පිවිතුරු ආදරවන්තිය වූ ඇය, නාලන් මෙන්ඩිස්ගේ දූ දරුවෝ හි නමින් “දීප්ති” වූ කොල්ලෙකු වැනි කෙල්ලක වූවාය. එහෙත් සිය ප්‍රේමය නොඑන ගමන් ගිය දා ඇය හැඬු හැඬුම, “හින්දි සිනමාවේ කඳුළු බිංදුව” යැයි නම් ලත් මීනා කුමාරි තරමටම ඇයව ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ ඔසවා තැබීමට සමත් විය. දිමුතු මුතු ටෙලි නාට්‍යයේ දෙවන කොටසින් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පැමිණිි ඇය ,පසුව දිය යට ගිනි,ඉසිදාසි, ඉටි පහන්,අභිසමය, පස්සෙ ගෙනා මනමාලි, අම්මා, හැන්දෑව, ගිරිකුල, පාට සරුංගල් ආදී තවත් සම්මානනීය ටෙලිනාට්‍ය රැසකට ඇයගේ දායකත්වය ලබා දුන්නාය. ඇය රඟපෑ සිනමාපට අතර මව්බිම නැතිනම් මරණය, සුරනිමල, වැලි සුළඟ, එක දා වැහි, අයෝමා, නගරං, තාත්තා, හීරෝ නීරෝ, බන්ධනය, කදිර දිව්‍ය රාජ ආදී සිනමාපට ප්‍රධාන වේ. කෙළිමඬල සිනමාපටයේ ඇයගේ රංගනය වෙනුවෙන් ඇය 1992 සරසවිය සම්මාන උලෙළේ නැගී එන නිළිය ලෙස සම්මාන දිනා ගන්නා විට ඇය තාරුණ්‍යයේ හිණිපෙත්තේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක වූවාය. ඉන්පසු ඇගේ සිනමා සම්මාන ලැයිස්තුව සරසවිය, සුමති, රයිගම් ආදී සන්නාමයන් සහිතව හොඳම සහාය නිළිය,හොඳම නිළිය, ජනප්‍රියම නිළිය ආදී කාණ්ඩායම් අතරේ කිහිප වරක් ම සඳහන් විය.


මේ දිනවල ඔබේ කාලසටහනේ වැඩි ඉඩක් ලැබිලා තියෙන්නේ සිනමාව වෙනුවෙන්ද?


ඔව්. පහුගිය දවස් ටිකේ නම් සිනමාපට කිහිපයක වැඩවලට තමයි සම්බන්ධ වෙලා හිටියේ. ශර්ලි පී. දෙලංකාවලගේ “හන්තානෙට ඇහෙනවද” සිනමාපටයේ රූපගත කිරීම් තිබුණා.ඒ වගේම නිපුණ මහර්ෂිගේ” ගගන” සිනමාපටයේ මගේ රූපගත කිරීමුත් අවසන්.තව ටික දවසකින් මම රංගනයෙන් දායක වුණු තිළිණ බොරලැස්සගේ “මං හොයන්නේ ප්‍රේමයක්” සිනමාපටය සිනමාහල්වලට මුදා හැරෙනවා.ඒත් එක්කම මීෂා ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලටත් සහභාගී වෙනවා.


සිනමාපටයක් අධ්‍යක්ෂණ කිරීම සඳහාත් මම මේ දිනවල යොමුවෙලා ඉන්නවා. මගේ හිතේ මැවුණු කතාවක්, පිටපතක් විදිහට ලියන්නේ ලක්ෂ්මන් පුෂ්පකුමාර. ඒ නිසා ඇත්තටම මේ දවස් කාර්යබහුලයි. පහුගිය කාලයේ දී මගේ දියණියගේ වැඩ කටයුතු නිසාත් වෙනත් කාරණා නිසාත් සමහර නිර්මාණවලට මට දායක වෙන්න බැරි වුණා. දැන් මං හිතනවා මගේ කාලය උපරිමයෙන් රංගනය සඳහා යොදවන්න පුළුවන් කියලා.


මේ සිනමාපටවල ඔබේ චරිත ගැනත් ටිකක් කියමු නේද?


“මං හොයන්නේ ප්‍රේමයක්” සිනමාපටයේ මගේ චරිතය මෙතෙක් මම රඟපෑ චරිතවලට වඩා වෙනස් ශානරයක චරිතයක්.ඉහළ පැලැන්තියේ රාත්‍රී සමාජ ශාලාවක් හිමිකාර කාන්තාවක් විදිහට තමයි මේ සිනමාපටයට මගේ චරිතය එකතු වෙන්නේ. ඇය සමාජ ශාලාවේ ගීත ගැයීම සඳහා පැමිණෙන තරුණයකු සමඟම අනිසි සම්බන්ධයතාවයක් ඇති කරගනිමින් තමාගේ පෞද්ගලික දියුණුව කරා යන ගමන සඳහා ඔහුව ප්‍රයෝජනයට ගන්නා ගැහැනියක්.


මීට හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි “ගගන” සිනමාපටයේ මට රඟපාන්න තිබුණේ.


මේ චරිතය කුණු කන්දක් ළඟ ජීවත්වන, පිරිසිදුවට ඇඳුම් අඳීන්නේවත් නැති දරුවන් දෙදෙනෙකු සිටින අම්මා කෙනෙකුගේ චරිතයක්.අපි කලාකරුවන් විදිහට අපිට නිර්මාණය කරන්න සිදු වෙන්නේ මේ සමාජයේ ජීවත් වන විවිධ චරිත. එතනදී ඒ චරිත නිරූපණයෙන් අපේ චරිතයට හානියක් වෙන්නේ නැතිනම්, ඒ ඕනෑම චරිතයක් ප්‍රතිනිර්මාණයට කලාකරුවෙක් සූදානම් වෙලා ඉන්න ඕනේ කියලා මම හිතනවා.ඒ වගේම,මම හිතනවා මට ඕනෑම ආකාරයක චරිතයක් රඟපාන්න පුළුවන් කියලා. මට ගමට යන්නත් පුළුවන්; නගරයට යන්නත් පුළුවන්; ඒ වගේම මුඩුක්කුවකට යන්නත් පුළුවන්.ඒ නිසා මම මගේ හැකියාව ගැන විශ්වාසයෙන් තමයි මේ විදිහේ විවිධ චරිත තෝරාගන්නේ.


මීෂා ටෙලි නාට්‍යයේ ඔබ නිරූපණය කරන්නේ තරුණ දූ දරුවන් සිටින මවකගේ චරිතයක්. මේ චරිතය ඔබට දැනුණේ කොහොමද?


නිමන්ත ප්‍රසාද්ගේ “මීෂා” ටෙලිනාට්‍යයේ මගේ චරිතය, සාමාන්‍යයෙන් ස්වාභාවික ජීවිතයේ මගේ චරිතයට වඩා හුඟාක් වෙනස් චරිතයක්. ඇය ඉක්මනින් කේන්ති ගන්නා නොසන්සුන් චරිතයක්. හැබැයි අම්මා කෙනෙක් විදියට දරුවන්ට, දරුවන්ගේ ආදරේට හරිම ලෝභ චරිතයක්. ටෙලිනාට්‍යයේ දරුවන්ට ආදරය දක්වන අවස්ථා නිරූපණය කරද්දී, මට මගේ දියණියව, ඇයට දෙන ආදරය නිරන්තරයෙන් මතක් වෙනවා.ඇත්තටම ඒ නාට්‍යයේ සමහර අවස්ථා මගේ හිතට හරිම සංවේදී සමීප අවස්ථා.


මම ගමේ චරිත ගොඩාක් කරලා තියෙනවා. ඒ වගේම ඒ චරිත වලට සම්මාන ලැබිලත් තියෙනවා. මේ චරිතය නාගරික චරිතයක්. නිමන්තගේ මේ පිටපත ලැබුණහම මට හිතුණා මේක මම කරන්න ඕනෙමයි කියලා.


ඔබ හිතන විදිහට, ඔබ වැඩියෙන්ම ප්‍රේක්ෂකයින්ට සමීප වූයේ පුංචි තිරයෙන්ද? පුළුල් තිරයෙන්ද?


මම රංගන ශිල්පිනියක් උණේ සිනමාව නිසා. නමුත් රංගන ශිල්පිනියක් විදිහට මම ස්ථාවර වුණේ පුංචි තිරය නිසා කියලා මම හිතනවා. අදටත් මගේ ප්‍රේක්ෂකයින් හමුවුණාම ඒ සමහර අය මගේ අත් දෙක අල්ලගෙන අඬන අවස්ථා තියෙනවා. මගේ නමින් වගේම මම නිරූපණය කළ චරිතවල නමිනුත් එක හා සමාන ආදරයකින් ඔවුන් මට කතා කරනවා. විශේෂයෙන්ම දීප්ති, සරෝජනී වගේ චරිත ප්‍රේක්ෂකයන්ට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔවුන් මට ඒ වෙලාවට දෙන ආදරේ මට දරා ගන්නත් හරි අමාරුයි. මං හිතනවා ඒක මගේ පෙර පිනක් වෙන්න ඇති කියලා.කොහොමටත් නිවසේ ආලින්දයේ රූපවාහිනිය තියෙන නිසා සිනමා නිළියකට වඩා ටෙලි නාට්‍ය නිළියකට ප්‍රේක්ෂකයන් අතරට යන්න සහ ජනප්‍රිය වෙන්න වඩා පහසුයි. හැබැයි චරිතාංග නිළියක් විදිහට දිගුකාලීනව ඒ ජනප්‍රියතාවය රැඳෙන්න ඕනේ.මගේ වැඩි ආදරේත් පුංචි තිරයට නිසා වෙන්න ඇති, සිනමාව මට යම් පමණකට මග හැරුණා කියලා අදටත් මට හිතෙනවා.


ඩේසි සූසන් ගැනත් කියමු.


ඔව්.ඩේසි සූසන් කියන්නේ ඉටි පහන් ටෙලි නාට්‍යයේ මගේ චරිතය.ඇත්තටම ඉටි පහන් දෙවැනි කොටසට තමයි මම සම්බන්ධ වෙන්නේ.දෙවන කොටස ආරම්භ වන්නේ ඩේසි සූසන්ගේ යොවුන් වියෙන්. මගේ ජීවිතයේ මම ගොඩක් ආදරය කරපු ලෝභ කරපු චරිතයත් තමයි ඩේසි සූසන් කියන්නේ.මේ නාට්‍යය සෝමේ අයියාගේ සහ රේණුකා අක්කාගේ (සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය). පිටපත සුමිත්‍රා රාහුබද්ධගේ. මේ පිටපත කියවලා ඉවර වුණ ගමන්ම මගේ හිතට ආපු පළමු සිතුවිල්ල තමයි “මේ චරිතය මට මඟ හැරුණා නම් ඒක මොනතරම් අපරාධයක්ද” කියන එක.මොකද ඒ චරිතයට මට ඒ තරමටම ලෝභකමක් ඇතිවුණා.


ඒ වගේ මගේ හිතේ උපරිම කැමැත්තක් ඇතිවුණු තවත් නාට්‍යයක් තමයි ෂර්ලි පී.දෙලංකාවලගේ “හැන්දෑව” නාට්‍යය. මේ පිටපත මට ලැබෙන වෙලාව වෙනකොට මගේ දියණිය ගොඩාක් කුඩා නිසා මම මුලින්ම මේ නාට්‍යයට බැහැයි කිව්වා. නමුත් “නිකම් පිටපත කියවල බලන්න” කියලා කිව්ව වචනයට තමයි මම මේ පිටපත කියෙව්වේ.මම වෙනත් ගමනක් යන ගමන් ටොරිංටන් එකේ ගහක් යට මගේ වාහනය නවත්තලා තමයි පිටපත කියවන්න පටන් ගත්තේ. එක හුස්මටම මම ඒක කියෙව්වා.කියවල ඉවර වෙනකොට හවස් වෙලත් එක්ක. පිටපත කියවලා ඉවර වුණ ගමන්ම ෂර්ලිට දුරකථන ඇමතුමක් අරගෙන මම කිව්වා ” මේ චරිතයට මම එනවා ;මේක මම අතහැර ගන්නේ නැහැ කියලා”ඔය වගේ අතහරින්න ගිහිල්ලත් මාව හොයාගෙනම ආපු තව ටෙලි නාට්‍යයක් තමයි උපුල් ශාන්ත සන්නස්ගලගේ “අම්මා” ටෙලි නාට්‍යය. ඒකත් පිටපත කියවලා ඉවර උන ගමන්ම “මම කැමතියි” කියලා කිව්ව නාට්‍යයක්. මේ නාට්‍ය කීපයම විවිධ සම්මාන උලෙළවලදී මට සම්මාන ලබා දුන්නු මගේ ජීවිතයට ගොඩාක් වටිනා ටෙලි නාට්‍ය.


දූ දරුවෝ ටෙලි නාට්‍යයේ “දීප්ති” ඔබේ ජීවිතයටත් දීප්තියක් ගෙන ආවා නේද?


ඇත්තටම ඔව්. “දීප්ති” තමයි මගේ ජීවිතය ආලෝකවත් කළේ.දීප්ති කියන්නේ ඒ කාලයේ රටේ හැමෝම ගොඩක් ආදරය කරපු චරිතයක්.අදටත් ඒ හැමෝටම මම “දීප්ති”. දීප්ති කියන්නේ ඒ කාලයේ Trend එකක් හදපු චරිතයක්. කොණ්ඩ මෝස්තරය, බෑග් එක වගේම දීප්තිගේ කබල් සෙරෙප්පු දෙකත් එදා මෝස්තරයක් වුණා. අදටත් මට හමුවෙනවා ඒ කාලේ “දීප්ති cut” එකට කොන්ඩේ කපපු මගේ රසිකාවියෝ. විශේෂයෙන්ම ඒ කාලයේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගත්ත තරුණියන් අනුගමනය කළේ දීප්තිව. දීප්ති කියන්නේ කිසිම ආයාසයක් නැතුව ප්‍රේක්ෂකයින්ගේ සිත්වල අදටත් ජීවත්වෙන චරිතයක්. ඒ චරිතය මගේ රංගන ජීවිතයේ සන්ධිස්ථානයක් වගෙයි.


පුංචි තිරයේ කඳුළු බිංදුව වුණත්, සැබෑ ජීවිතයේදී ඔබ යකඩ ගැහැණියක්.ඔබේ ජීවිතයේ පරමාර්ශීත්වය මොකක්ද?


මමත් සැබෑ ජීවිතය තුළ අඬපු තැන්, වැටුණු තැන් තිබුණා. ඒත් හේතුව මොකක්ද කියන්න මම දන්නේ නැහැ,කොයි තරම් ගැටලු ආවත් ඒවට ශක්තිමත්ව හිනාවෙලා මූණ දෙන්න පුළුවන් ශක්තියක් මගේ හිත ඇතුලෙ තියෙනවා. ප්‍රශ්නයක් ආවාම හොඳටම අඬන්නත් ඊට ටික වෙලාවකට පස්සේ මං ආස සින්දුවකට Dance කරන්නත් මට පුළුවන්. මට නිතරම හිතන දෙයක් තමයි, මොන ප්‍රශ්න ආවත් මම ඒ නිසා මගේ ජීවිතය දිය කරලා හරින්නේ නැහැ කියන එක.අපිට මේ ලෝකෙට බිහිවෙන්න විශ්වයෙන් අවස්ථාවක් දීලා තියෙනවානේ. පසුකාලීනව මිනිසා විසින්ම මූල්‍යමය වටිනාකමක් ලබා දුන්නා වුණත්, විශ්වය හෝ දෙවියන් හෝ මොන විදිහකට හරි ගහකොළ, සතා සිවුපාවා, පිරිසිදු වාතය වගේ ගොඩක් දේවල් අපිට නොමිලේම දීලා තියෙනවා.”එහෙම තිබියදී ඇයි මං මගේ ජීවිතය එක තැන නතර කරගන්නේ? විනාශ කරගන්නේ ගන්නේ? එහෙම කරලා ඒකට අගෞරව කරන්නේ?” කියලයි මම හැම වෙලාවෙම හිතන්නේ. කොච්චර කඩන් වැටුණත්, විශ්වයට ස්තූති කරලා මම මගේ ගමන ඉදිරියට යනවා. මම දන්නවා ඒ ශක්තිය තියෙන්නේ මගේ ඇඟ ඇතුළෙමයි. ඒ Aura එක හරිම වටිනවා. ඒක නැති කරගන්න හොඳ නැහැ. අනුන්ට ඊර්ෂ්‍යා නොකර අනුන් රිදවන්නේ නැතුව අනුන්ට අවමන් නොකර පුළුවන් තරම් ලෝකයට හොඳ වැඩක් කරලා ජීවත් වෙන එක තමයි මනුස්සයෝ විදිහට අපිට කරන්න පුළුවන් ලොකුම දේ. එහෙම කළාම තමන්ට ලැබෙනවා උතුරන්න. ඒක මං අත්දැකීමෙන් දන්න දෙයක්.


ඔය ශක්තිය මම ඉස්සෙල්ලාම දැක්කේ මගේ අම්මාගෙන්.අපේ තාත්තා නැති වුණේ අපි පුංචි කාලේ. තරුණියක්ව සිටියදීම මම නිළියක් වුණා. මගේ අම්මා අපිවත් පරිස්සම් කරගෙන, නැවත විවාහයක් කරගන්නෙත් නැතුව, අපිට දුකක් නොදී බොහොම හොඳට අපිව හැදුවා. මගේ ළඟත් ඒ ශක්තිය මහා ඉහළින් තියෙනවා. ඇත්තටම හුඟක් කාන්තාවන් ළඟ මේ ශක්තිවන්ත ගැහැනිය ඉන්නවා. එයාව අඳුර ගන්නේ නැති එකයි ප්‍රශ්නය.


ආගම දහමටත් ඔබ හුඟක් නැඹුරුයි වගේ නේද?


ඔව්. ඇත්තටම. මට සිදුවුණු බරපතළ රිය අනතුරෙන් මගේ ජීවිතය බේරුණේ මං හිතන විදිහට ආගම දහමට මගේ ඇති නැඹුරුව නිසා. මගේ දුව සහ මගේ අම්මා හැර මට අතාරින්න බැරි දේවල් මේ ලෝකේ නැහැ. අපි මේ ලෝකෙට එනකොට කිසිවක් ගෙනාවෙත් නැහැ; යනකොට අරගෙන යන්නේත් නැහැ. නමුත් මා තුළ මගේ දරුවා පිළිබඳව ලොකු හැඟීමක්, බැඳීමක්, වගකීමක් තියෙනවා. මගේ හුස්ම ටික යනකම් මට ඒ දේ අතහරින්න බැහැ. ඒ ඇරුණාම හුඟක් දේවල් වලින් මම නිදහස්.


වෘත්තිමය රංගන ශිල්පිනියක් වගේම ඔබ මනෝ උපදේශිකාවක්?


අද වෙනකොට මගේ කාලයෙන් සැලකිය යුතු කොටසක් ඒ සඳහා මම වෙන් කරලා තියෙනවා. ඇත්තටම මම ඒ විෂය සම්බන්ධයෙන් හරිම උනන්දුයි. දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “සිත් ගිමන් හල” මනෝ උපදේශන වැඩසටහන , මම අවුරුදු අටක් විතර ඉදිරිපත් කළා.ඒ තුළින් මට ලොකු අවබෝධයක් සහ දැනුමක් මේ සම්බන්ධයෙන් ලැබුණා. කොහොමටත් කෙනෙකුගේ ප්‍රශ්න පිළිබඳව අවබෝධ කර ගැනීමේ හැකියාවක් මට ඉස්සර ඉඳන් තිබුණා.මට මතක විදිහට 1993 දී විතර, කුමරි පුවත්පතේ විශේෂාංගයක් ගියා “දීප්තිගෙන් අහන්න” කියලා. ඒ විශේෂාංගයට යොමු වුණු හැම ප්‍රශ්නෙකටම උත්තර දුන්නේ මම. මට ඒ කාලෙ මේ සම්බන්ධයෙන් දැනුමක් තිබුණෙත් නැහැ.නමුත් මිනිසුන්ගේ ප්‍රශ්න හඳුනාගෙන සුදුසු විසඳුම් කියන්න මට හැකියාවක් තිබුණා.එදත් මට ඒ ගැන පුදුම හිතුණා. අදටත් දවසට දුරකථන ඇමතුම් පහක් හයක් මට එනවා මේ වගේ ප්‍රශ්න ගැන.ඒ හැම දේකටම මගේ කාලයෙන් කොටසක් මං වැය කරනවා.


වර්තමානයේ දූ දරුවන් හරිම අධිවේගීයි.ඔවුන්ගේ ඇතැම් තීරණ ඔවුන්ගේ ජීවිත විනාශ වීමට පවා බලපානවා.තරුණ දියණියක් සිටින මවක සේම මනෝ උපදේශිකාවක් ලෙසත් ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?


කිසිසේත්ම මේක ළමයින්ගේ වැරැද්දක් නෙමෙයි. ඒක එයා හැදෙන වැඩෙන පරිසරයේ සහ එහි සිටින පුද්ගලයින්ගේ වැරැද්ද. පාසලේ ගුරුතුමියට පැය කිහිපයක් ඇතුළත දරුවාව හදන්න බැහැ.දරුවාව හදන්න ඕනේ නිවස තුළින්; දෙමව්පියන්. ඒ වගේම දරුවන්ගේ මේ වගේ ප්‍රශ්නවලට මම දකින තවත් හේතුවක් තමයි ජංගම දුරකථනය. දෙමව්පියන් ඉතා කුඩා කාලයේදී ම තමන්ගේ දරුවන්ට දුරකතනයක් අරන් දෙනවා ආදරේට කියලා. ඊට පස්සේ ඔවුන් පවුලේ හිතවතුන් එකතු වුණු තැනකදිවත් ජංගම දුරකථනයෙන් මිදෙන්නේ නැහැ. ඔවුන් දන්නේ නැහැ, ආවේ කවුද, කළේ මොනවද ,කෑවේ මොනවද කියලාවත්.ඊට පස්සේ දෙමව්පියන් දරුවන්ට දොස් කියනවා. දරුවන්ව එතැනට තල්ලු කරන්නේම දෙමව්පියන්මයි.මෙයින් වෙන්නේ දරුවන්ගේ මොළයේ සොබාවික වර්ධනය අඩු වෙන එක;Dopamin අඩු වෙන එක. ඉතින් එතනම ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවානේ.


දරුවෝ පමණක් නොවෙයි. වැඩිහිටියන් පවා අද ජීවත් වෙන්නේ ලොකු පීඩනයකින්. ඔවුන් ජීවිතය විඳවනවා මිසක් විඳීන්නේ නැහැ. පසුගියදාක මම මගේ වාහනය පදවමින් යද්දී මාර්ග සංඥා වලට මගේ වාහනය නතර කරන්න සිද්ධ වුණා. එතකොට හොඳටම වැස්ස. මං දැක්කා ඒ වෙලාවේ තරුණ යුවලක් ඔවුන් ආපු මෝටර් බයිසිකලය වෙළඳ සැලක් අසල නවත්තලා වැස්ස පායන තුරු බලා ඉන්නවා. තරුණයා ඔහුගේ ජංගම දුරකථනයට එබීගෙන. තරුණිය ඇගේ දුරකථනයේ. ඒ අවස්ථාවේදීවත් ඇයි ඔවුන්ට බැරි තමන්ගේ අදහසක් හුවමාරු කරගන්න? මම එතන හිටියා නම් සමහර විට, සැමියාට හෝ පෙම්වතාට තවත් සමීප වෙලා වැස්සේම බයිසිකලේ ගෙදර යයි. මිනිස්සු ජීවිතය විඳීන්නේ නෑ. මිනිස්සු යාන්ත්‍රික වෙලා. ජීවිතය විඳීනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි; සරල දෙයක්. හැබැයි, එතන තමයි සැනසීම තියෙන්නේ.


ශ්වේතා ගැන කතා නොකළොත් ඒක අඩුවක්? ඇයගේ රංගනයට යොමු වීමේ අදහසක් නැද්ද?


දුව මේ වෙනකොට උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවෙලා ඉන්නේ. ඉතාම හොඳීන් ඇය ඇගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.අධ්‍යාපනයට වගේම, ගායනයට වාදනයට රංගනයටත් ඇය දක්ෂයි. ඇයට ආරාධනා ලැබිලත් තියෙනවා. නමුත් මේ ක්ෂේත්‍රයට දැන්ම යොමුවීමේ අදහසක් ඇගේ නැහැ.කොහොමත්,අධ්‍යාපනයට තමයි ඇය මුල් තැන දෙන්නේ. ඇය හැම වෙලාවේම කියනවා “අම්මලගේ කාලයේ තමයි මේ ක්ෂේත්‍රය Golden ; දැන් Silver ” කියලා. ඇයට ඕනේ උපාධියක් අරගෙන ඒ ඔස්සේ රැකියාවක් කරන්න.මම එයා වෙනුවෙන් මහන්සි වෙන නිසා අනාගතයේ දී එයා මාව බලාගන්න ඕනේ කියන අදහස තමයි එයාගේ තියෙන්නේ. ශ්‍වේතා තමයි ඉතින් මගේ ජීවිතේ.


ඔබ ඔබේ විවේක කාලය ගත කරන්නේ කොහොමද?


මගේ ලොකුම විනෝදාංශය තමයි මගේ නිවස ලස්සනට තියාගන්න එක.පොත් කියවන්න, ලස්සන සින්දු අහන්න, චිත්‍රපටි බලන්න මම හරි ආසයි.ඉඩක් ලැබුණු වෙලාවට යාළුවෙක් එක්ක එළියට යන්නත් කැමතියි.ඒ වගේම මගේ විවේකයෙන් වැඩි කාලයක් ආගම දහමට තමයි යෙදවෙන්නේ. Trip යන්න ගොඩක් ආස උනත්, දුව ළඟ නැති නිසා ඒකට නම් අවස්ථාව ලැබෙනවා අඩුයි.


නිල්මිණී තෙන්නකෝන් කියන්නේ කවුද?


සරලව කිව්වොත් නම් පුංචි දේටත් හිත සැලෙන, ඒ උණාට මහ මෙරක් තරම් දේවල් දරාගෙන ඉන්න පුළුවන්, ඕනම වෙලාවක අනුන්ට උදව් කරන්න කැමති සරල කෙනෙක්. හැබැයි ඉතින් ඇත්තටම, නිල්මිණි තෙන්නකෝන් කියන්නේ කවුද කියලා මමත් තාම හොයනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post