මගේ රඟපෑම් දැකලා අක්කා සංවේදී වුණා-ශනුද්‍රි ප්‍රියසාද්

gossiplanka image 1
වාසව බදුගේ -ගේ නීරා, තිසර ඉඹුලානගේ – මෝඩ තරිඳු, දැන් ආදරණීය තරුවක්, මේ දවස්වල ඉලංගෝ රාම්ගේ ප්ලේන්ටි චිත්‍රපටයෙත් වැඩ. මේ වෙලාවේ හැමෝම කතාවෙන වැඩවල ඉන්න ඇය නමින් ශනුද්‍රි ප්‍රියසාද්. ඔන්න මෙදා පාර මීවිත මැදපිටුව අපි ශනූට වෙන්කළා. අපි කියන විස්තරවලට වඩා ශනූ කියන මේ විස්තර ඔයාලට වැදගත් ඇති කියලා අපි හිතනවා.


ශනුද්‍රි කොහොමද ඉතින් ?


ඇත්තටම හොඳින්, සතුටින් ගොඩාක් කාර්යබහුල ජීවිතයක් ගතකරමින් මේ දවස්ටික ගෙවිලා යනවා. පෞද්ගලික දේවලුත් ඔය අතරේ කරගෙන යමින් ජීවිතය ගෙවිලා යනවා.


මේ දවස්වල මොකද වෙන්නේ?


මුලින් කිව්ව වගේ මේ දවස්වල නම් ගොඩක් කාර්යබහුලයි. මොකද මම චිත්‍රපට දෙකක රූගත කිරීම් සිදුකරන අතරේ ආදරණීය තරුවක් චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩකටයුතු වෙනුවෙන් ප්‍රේක්ෂකයන් හමුවෙන්නත් යනවා. ඉතිං වැඩිපුර කාලයක් ගතවෙන්නේම චිත්‍රපට එක්කයි. හසුන් සමීරගේ චිත්‍රපටයක රූගත කිරීම් අවසන් කළා. මේ කතා කරන මොහොතේ ඉලංගෝ රාම්ගේ ප්ලේන්ටි චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරනවා.


ආදරණීය තරුවක් චිත්‍රපටයට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?


චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට රැගෙන ගිය මුල් දවස්වල පොඩි බයක් තිබුණා ප්‍රේක්ෂකයන් ඒක කොයි විදිහට වැලඳගනීවිද කියලා. හැබැයි මේ වෙනකොට නම් ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි එතෙර රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පවා ආදරණීය තරුවක් චිත්‍රපටයට ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා. චිත්‍රපටය නරඹපු අයගෙන් නම් මේ දිනවල දුරකථන ඇමතුම් වගේම කෙටි පණිවුඩ විශාල වශයෙන් ලැබෙනවා.


මංගල දර්ශනය ගැන අදටත් කතා වෙනවා. ඒ අවස්ථාවේ ඇති වුණේ මොන වගේ හැඟීමක්ද?


ආදරණීය තරුවක් චිත්‍රපටය තමයි මම මෙතෙක් කරපු දැවැන්තම චිත්‍රපටය. ඉතිං මංගල දර්ශනයත් ඒකට දෙවැනි වෙන්නේ නැතිව ඉතාම ඉහළ මට්ටමින් සංවිධානය කරලා තිබුණා. මම මෙතෙක් සහභාගි වූ ඉතා විශාලම වගේම දැවැන්තම මංගල දර්ශනයත් ආදරණීය තරුවක් මංගල දර්ශනය. එදා දවසේ අපි බලාපොරොත්තු නොවුණ විදිහේ විශාල ප්‍රේක්ෂක පිරිසක් වගේම, ක්ෂේත්‍රයේ දැවැන්තයන් රැසක් අපිත් එක්ක එකතු වුණා, ඒ සතුට බෙදාහදා ගන්න. මම හිතන්නේ අපිට ආදරය කරන රසිකයන්ට විශාල අවස්ථාවක් වුණා අපිත් එක්ක පින්තූරයක් හරි ගන්න. ඒක සාර්ථක විදිහට පැවැත්වුණා. එදා ගොඩාක් හැඟීම් මිශ්‍ර වෙච්ච දවසක් බවට පත්වුණා. හැමෝම කතාබහ වෙන මංගල දර්ශනයක අත්දැකීම හැමෝටම ලබාදෙන්න පුළුවන්වීම සම්බන්ධයෙන් හරිම සතුටුයි.


අක්කා දිනක්ෂි මෙවර රංගනය ගැන මොනවද කිව්වේ?


චිත්‍රපටය පිටුපස්සේ ඉඳලා ලොකුම රාජාකාරිය කරන්නේ අක්කා. තිරය ඉස්සරහ ඔයගොල්ලන්ට ආදරණීය තරුවක් චිත්‍රපටයේ අක්කාව නොපෙනුනාට පිටුපස ඉඳලා එයා ලොකුම කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඉතිං හැමදාම වගේම මට හොඳම වගේම ඇත්තම ප්‍රතිචාර ලැබෙන්නේ පවුලෙන්. ලොකු අක්කා මගේ රංගනය දැකලා සංවේදී වුණා වගේම සතුටු වුණා. එයා ඇත්තටම මට කෙළින්ම ප්‍රතිචාරය ලබාදෙනවා. හොඳයි නම් හොඳයි කියනවා වගේම නරකයි නම් නරකයි කියලත් කියනවා. හරිම දේ තමයි කියන්නේ. ඉතිං ආදරණීය තරුවක් චිත්‍රපටයටත් එයාගේ උපරිම ප්‍රතිචාරය මට ලබාදුන්නා. මම හිතන්නේ අක්කා විදිහට වගේම නිළියක් විදිහට එයාගෙන් මට ලැබෙන ප්‍රතිචාර හරියට වටිනවා.


දිනේෂ්ගේ කටහඬට සහ සංගීතයට මීට කලින් චිත්‍රපටයක නටන්න අවස්ථාව උදාවෙලා තියෙනවද?


ඔව්. දිනේෂ් ගමගේ මුලින්ම සංගීතය එක්ක චිත්‍රපටයකට යොමු වුණේ මෝඩ තරිඳු චිත්‍රපටයෙන්. ඒකේ එයාගේ ගීත තුනක් නිර්මාණය වුණා වගේම චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළෙත් එයාමයි. ආදරණීය තරුවක් චිත්‍රපටයේ ගීත හතරක් එයා නිර්මාණය කරනවා. මෝඩ තරිඳු චිත්‍රපටයෙත් මට අවස්ථාව ලැබෙනවා සොරිසර් ගීතයට නර්තනයේ යෙදෙන්න. ඒ චිත්‍රපටයත් ප්‍රේක්ෂකයන් හරි ආදරයෙන් වැලඳගත්තා. මේ චිත්‍රපටයෙත් දිනේෂ්ගේ කටහඬට මමයි, සාරංග අයියයි නර්තනයෙන් එකතු වෙනවා. ඒක හරිම සුවිශේෂී අවස්ථාවක්.


මෑත කාලයේ ශනූට වෙනස්ම චිත්‍රපටි ටිකක් නේද ලැබුණේ ?


ඔව්. පසුගිය අවුරුද්දේ වාසවබදුගේ -ගේ නීරා වගේම, තිසර ඉඹුලානගේ – මෝඩ තරිඳු චිත්‍රපට දෙක තිරගත වුණා. ඔය චිත්‍රපට දෙකම එකම කාලේ තිරගත වුණේ. නමුත් චිත්‍රපට දෙකම ශානර දෙකක වැඩක්. එකක් රොමෑන්ස්. අනෙක ඩාර්ක් කොමඩි වැඩක්. එකම කාලේ ශානර දෙකක නිර්මාණ දෙකක් අතිසාර්ථකව තිරගතවීම පිළිබඳව ඇත්තටම සතුටුයි වගේම, මම හරිම වාසනාවන්තයි. එවැනි නිර්මාණ දෙකකට රංගනයෙන් දායකවීම පිළිබඳව. ඉතිං මේ වසරේ ඊටත් වඩා හාත්පසින්ම වෙනස්ම චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන් අතරට අරගෙන ඇවිත් තියෙනවා. මම මේ දවස්වල රූගත කිරීම්වලට සම්බන්ධවෙලා ඉන්න චිත්‍රපටත් එකිනෙකට වෙනස් චිත්‍රපට. මම හරිම වාසනාවන්තයි විවිධ චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබීම සම්බන්ධයෙන්.


දැන් චිත්‍රපටිවල විතරද රඟපාන්නේ?


ඇත්තටම මට චිත්‍රපටවලට හොඳ ආරාධනා ලැබෙනවා. පසුගිය කාලයේ මට ටෙලි නිර්මාණවලට ආරාධනා ලැබුණා. හැබැයි මම හරියට තෝරා බේරාගෙන වැඩකරන කෙනෙක්. ඉතිං මට හොඳයි කියලා හිතෙන කතා තේමාවලින් ආරාධනා ලැබෙන්නේම චිත්‍රපටවලට. ඉතිං මම ඒක තෝරාගන්නවා. නමුත් මම පුංචි තිරයෙන් අයින්වෙනවා කියලා එකක් නැහැ. හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ හොඳ නිර්මාණයකට රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබෙනවා නම් මම ඒ ගැන සලකා බලනවා. හැබැයි මම හිතනවා මට ආදරය කරන අයට තව අවුරුදු දෙකක් තුනක් යනකම් මාව රිදී තිරයෙන් දැකගන්න ලැබේවි කියලා.


ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ නැතිද?


මට ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවා. හැබැයි මම කැමැතියි මම කරන චරිතයට වටිනාකමක් ලබාදෙන්න. ඉතිං මට ගොඩක් වෙලාවට ආරාධනා ලැබෙන්නේ දීර්ඝ ටෙලි නාට්‍යවලට. මම හිතනවා කාලයත් එක්ක දීර්ඝ ටෙලිනාට්‍යයක රංගනයේ යෙදෙන එක, මට චරිතයකට ලබාදෙනන්න පුළුවන් උපරිමය මට මගහැරෙනවා කියලා. කොටස් සීමිත ප්‍රමාණයක ටෙලිනාට්‍යයක රඟපාන්න ආසයි. නමුත් මට තෝරාගන්න අවස්ථාව ලැබුණොත් මම චිත්‍රපට තමයි තෝරාගන්නේ. හැබැයි ඒ කියන්නේ ටෙලිනාට්‍යවලින් ඉවත් වෙනවා කියන එක නෙමෙයි.


සාරංගගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබුණේ?


සාරංග අයියා කියන්නේ මගේ මස්සිනා. හැබැයි ගොඩාක් අයට තිබුණ ප්‍රශ්නයක් තමයි මස්සිනා එක්ක කොහොමද මෙහෙම එකට රඟපාන්නේ කියලා. හැබැයි මම මීට කලින් අවස්ථාවලදීත් කියලා තියෙනවා මේ කතාව. අපි දෙන්නාම වෘත්තීය වශයෙන් රංගන ශිල්පීන් දෙදෙනෙක්. ඉතිං මම හිතන්නේ අයියයි මායි සෙට් එක ඇතුළේ වෘත්තීයමය රංගන ශිල්පීන්. කවදාවත් අපි දෙන්නාගේ පවුල් පසුබිම වගේම අපි කොහොමද එන්නේ, අක්කිගේ සහෝදරියද? මගේ අක්කිගේ එයා හස්බන්ද කියන එක ඇත්තටම අදාල වෙන්නේ නැහැ. මොකද අපි චරිත දෙකක් තමයි මේ චිත්‍රපටය හරහා අරගෙන එන්නේ. ඉතිං සාරංග අයියාව මේ වෙලාවේ මතක් කරන්නම ඕනෑ. එයා හරිම ප්‍රොෆෙෂනල් විදිහට කැපවීම් රැසක් සිදුකරලා මටත් මාර සහයෝගයක් ලබාදුන්නා. මට එයත් එක්ක රඟපාන්න ලැබීම ලොකු දෙයක්. මොකද සාරංග අයියා කියන්නේ කවුරුත් ආදරය කරන ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක්. ඉතිං මම හිතනවා එයත් එක්ක කරට කර රඟපාන්න ලැබෙනවා කියන එක මගේ රංගන ජීවිතයට මාර ලොකු දෙයක්. ඒකට ඔහු මට ගොඩාක් සහයෝගය ලබාදුන්නා. හරිම සහයෝගයෙන් තමයි මායි සාරංග අයියයි ආදරණීය තරුවක් චිත්‍රපටයේ රඟපෑවේ.


අම්මා තාත්තා දුවගේ හැකියාවන්වලට දැක්වූයේ මොන වගේ ප්‍රතිචාරද?


අම්මයි, තාත්තයි චිත්‍රපටය නැරඹුවේ මංගල දර්ශනය දවසේ. ඉතිං මම මුලින් කිව්වා වගේම පවුලෙන් තමයි ඇත්තම ප්‍රතිචාරය ලැබෙන්නේ. ඒ දෙන්නා චිත්‍රපටය නරඹලා ඒකට වහවැටිලා වගේ තමයි හිටියේ. ඒ දෙන්නටත් හරිම පුදුමයි මම රඟපාන විදිහ දැක්කහම. සාරංග අයියගෙයි මගෙයි කෙමෙස්ටි්‍ර එක ගැන ගොඩාක් කතාබහ කළා. හැමදාම වගේම එදත් ඇත්තම කමෙන්ට් එක ලැබුණා.


දිනේෂ් සමග ගෙවන ජීවිතයේ අත්දැකීම් ?


මේක තමයි සුන්දරම කාලය. මම කොහොමත් ඉස්සර ඉඳලම කැමැති වෙනම අපේම ගෙදරක ජීවත්වෙන්න. දිනේෂ් එක්ක හරිම සතුටින් කාලය ගත කරනවා. අපි දෙන්නාම අපේ වෘත්තීන් එක්ක හරිම කාර්යබහුලයි. දිනේෂ් සංගීතය පැත්තෙන් බිසී. මම රංගනය පැත්තෙන් බිසී. අපි දෙන්නාම එක කාලයක් වෙන්කරගෙන තියෙනවා අපි දෙන්නා වෙනුවෙන්. එක්කෝ අපි දෙන්නා ඒ කාලය අපේ ගෙදරට වෙලා ගතකරනවා. එහෙමත් නැතිනම් අපි හරි කැමැතියි ට්‍රැවල් කරන්න. ඉතිං අපි කොහේ හරි සැලසුම් කරලා යන්න තමයි සූදානම. ඒක ලංකාවේ හෝ ලංකාවෙන් පිටත වෙන්න පුළුවන්. හරිම සුන්දර කාලයක්, හරිම සුන්දර විදිහට ගෙවීගෙන යනවා.


ආදරණීය තරුවක් ගැන ඇත්තටම ඔයාට තියෙන්නෙ මොනවගේ අදහසක්ද?


මම හිතන්නේ ආදරණීය තරුවක් චිත්‍රපටය මගේ අදහසට අනුව මේක අපේ මුළු සිනමාවම ඔසවලා තියන්න කරපු ලොකු උත්සාහයක් විදිහටයි මම දකින්නේ. මොකද අපි පිටරට චිත්‍රපටවලට ප්‍රියකරනවානේ. ඉතිං අපි ඒ චිත්‍රපට නරඹලා ගොඩක් වෙලාවට කල්පනා කරන්නේ ඇයි ලංකාවේ අපිට මේ වගේ චිත්‍රපටයක් කරන්න බැරි කියලා. කවදා අපි මේ වගේ වැඩක් කරාවිද කියලා. හැබැයි මම හිතනවා ඒකට හොඳ උත්තරයක් තමයි ආදරණීය තරුවක් චිත්‍රපටය. අපි ගොඩාක් උත්සාහ කළා අපි ආස කරන, අපිට ඇහැට ප්‍රිය, අපිට නටන්න හිතෙන, අපිට අඬන්න හිතෙන, අපිට සතුටු හිතෙන චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන් අතරට අරගෙන එන්න. ඉතිං මම හිතනවා මේක අපේ චිත්‍රපටය ඇතුළේ හිටපු පිරිසට විතරක් නෙමෙයි, සිනමාවට ආදරය කරන සහ සිනමාවට එන්න ඉන්න අයටත් හොඳ පියරවක් විදිහට. මෙතැනින් එහාට ගොඩාක් නිර්මාණකරුවන් උත්සාහයක් හරි දරාවි තමන්ගේ චිත්‍රපටය හොඳ ප්‍රමිතියකට රැගෙන එන්න. මොකද මම හිතනවා ආදරණීය තරුවක් චිත්‍රපටය හොඳ ස්ටෑන්ඩර්ඩ් එකකට තියෙන චිත්‍රපටයක් කියලා. අපිට හැමතැනින්ම ලැබුණ හොඳම ප්‍රතිචාරය තමයි ෆිල්ම් එකේ කොලිටි එක. ඒ හැමදේමත් එක්ක මේක අපේ සිනමාව ඉස්සරහට අරගෙන යන්න ඇත්තටම ලොකු පියවරක් වේවි.


රංගන ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?


මම ඇත්තටම සිනමාව ගැන විතරක් කිව්වොත් මම තවම සිනමාවට අලුත්. මේ අවස්ථාවේ මට හොඳ නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. මම හිතනවා මට දැන්මම ආපසු හැරිලා බලන්න මම ලොකු දුරක් ඇවිත් නැහැ. මම තව ඉස්සරහට ගොඩාක් වැඩ කරන්න ඕනෑ. මගේ හදාගන්න ගොඩාක් දේවල් තියෙනවා. මට තව දියුණු කරගන්න දේවල් තියෙනවා. ඉතිං ඒවා හදාගෙන ඉස්සරහට යන ගමනක තමයි දැන් මම ඉන්නේ. අනිවාර්යයෙන් තව අවුරුදු පහක් හයක් ගියාට පස්සේ අනිවාර්යයෙන් මට හැරිලා බැලුවොත්, මේ දිනවල මම කරන චිත්‍රපට ගැන ඉතාම ඉහළ මට්ටමෙන් අනිවාර්යයෙන් කතා කරන්න පුළුවන් වේවි.


දිනේෂ් විතානඡායාරූප : ගයාන් කරුණාරත්න

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post