එන්න ලේසියි ඉන්න අමාරුයි -අමන්ද්‍යා උත්පලී

gossiplanka image 1
 

තාත්තගෙන් ලැබුණු ජානවලට තමන්ගේම අනන්‍යතාව මුසු කරමින්, ක්ෂේත්‍රයේ නිකම්ම ඇවිත් යන තවත් එක චරිතයක් නොවී නොමැකෙන අඩිපාරක් තබන්නට ඇය සමත් වූවාය. තාක්ෂණයත් සමඟ Live Stage එක වෙනස්ම මානයකට ගෙන යන්නට මේ දවස්වල ඇය ලෑස්ති වන්නේ ඒ නිසයි. මෙවර ‘හාට්’ හැඩවන්නේ, නැවතත් ප්‍රේක්ෂක හදවත් අමන්දානන්දයට පත්කරන්නට සූදානම් වන අමන්ද්‍යා උත්පලී සමඟයි. Sri Lanka Latest News


මේ දවස්වල මොකද වෙන්නේ කියලම අපි කතාව පටන් ගමු?

‘රැජිණට ඇන්දා live on stage 4.0’ එක්ක පුදුම විදිහට කාර්යබහුල වෙලා ඉන්නේ. ඊට අමතරව පසුගිය සතියේ බංග්ලාදේශයේ ඉන්න ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රසංගයකට සම්බන්ධ වුණා. ප්‍රසංගය වෙනුවෙන්ම අලුත් ගීත නිර්මාණය වෙනවා, ඒකේ ප්‍රචාරණ වැඩත් එක්ක මේ දවස් ගෙවෙනවා.

තාත්තා නිසාද ඔබ ක්ෂේත්‍රයට එන්නේ?

තාත්තා නිසා තමා ආශාව ඇති වෙන්නේ සහ හැකියාව ලැබෙන්නේ. තාත්තාගේ සහ අම්මාගේ ජාන එකතුවෙලා තමයි මට මේ කුසලතාවයන් ඇති වුණේ. ක්ෂේත්‍රයට එන්නේ මගේ වුවමනාවටම තමයි.

මේ ක්ෂේත්‍රයේ රඳාපැවැත්ම ලේසිද?

රඳාපවතින එක තමා අමාරුම. ඕනෑම දෙයක් පටන් ගැන්ම ලේසි සමහර වෙලාවට. ඒකේ රඳාපවතින්න නම් තමන් ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. කුසලතාවන් වර්ධනය කරගන්න ඕනේ. බ්‍රෑන්ඩ් එකක් විදිහට තමන්ව මේන්ටේන් කරන්න ඕනේ. මේ වෙනකොට ඒකට සෝෂල් මීඩියා මේන්ටේන් කරන එකත් බලපානවා.

පුංචි කාලේ තාත්තාගේ කලා මිතුරන් එක්ක ඔබේ අත්දැකීම් කොහොමද?

හරිම සුන්දරයි සහ හරි පිරිපුන් මතකයන් තමා මගේ ජීවිතයට එකතු වෙලා තියෙන්නේ. දැනට වුණත් මතක් කරනකොට එහෙමයි. ජීවිතේට වටිනා අත්දැකීම් එකතු වුණා. පුංචි කාලේ ඉඳන්ම වේදිකා නාට්‍ය බලන්න වගේම ඒවායේ ගීත රසවිඳින්න වගේ විවිධ දේවල්වලට මට අවස්ථාව ලැබුණා. හරවත් වගේම රසවත් පුංචි කාලයක් මට තිබුණේ. විශේෂයෙන්ම ජයලත් මනෝරත්න මහත්මයා, නිශ්ශංක දිද්දෙණිය මහත්මයා, ජූඩ් අංකල්,‍ රොඩ්නි අංකල්, විජය අංකල් එක්ක.

ඔබගේ මුල්ම ගීතය මතකද?

ඔව්. මම සංගීතය හැදෑරුවේ මාලනී බුලත්සිංහල මහත්මියගේ සංගීත ශාලිකාවේ. ඇය 2002 වසරේ ‘පුංචි තාරකාවිය’ නමින් සංයුක්ත තැටියක් කළා. ඒකේ එක ගීතයක එක පදවැලක් මට ගයන්න තිබ්බා. ඒක පටන් ගන්නේ ‘හා යන්නෙන් හාවා, පූ යන්නෙන් පූසා’ තුන්වැනි පේළිය තමයි මට කියන්න තිබ්බේ ‘ලේ යන්නෙන් ලේනා’ කියලා.




මුලින්ම ඔබව රැජිණට ඇන්දුවේ කවුද?

මුලින්ම රැජිණට ඇන්දුවේ අම්මයි, තාත්තයි තමයි. හැම දේම අපිට අවශ්‍ය විදිහට ලබාදීලා හරි සුන්දර ළමා කාලයක් ලබාදුන්නේ ඒ දෙන්නා තමයි. ඉගෙන ගන්න කාලේ පවා කිසිම අඩුවක් කළේ නෑ. ඒ කාලේ අපි උකහා ගන්න දෙයින් තමයි ජීවිතේ ඉතුරු කාලේ අපි ගෙනියන්නේ.

කොහොමද ‘රැජිණට ඇන්දා’ වචන ටිකට ලැබුණු ප්‍රතිචාර?

ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබුණා. තවමත් ඒක ගැන විචාරය කරන අය ඉන්නවා. විවිධ වැඩසටහන්වලට ගියාම ඒ ගීතය ගැන වෙනමම කතාකරන විවිධ වයස් කාණ්ඩවල පිරිස් ඉන්නවා. ඒක මට ජීවිතයට ලැබුණු ආශීර්වාදයක් සහ මගේ වාසනාවට ලැබුණු ගීතයක් කියලා මම විශ්වාස කරනවා

ෂෝ එකකට අදහස ආවේ කොහොමද?

කොන්සර්ට් එකට අදහස ඇත්තටම ආවේ එවක මා එක්ක හිටපු පිරිස, මගේ ජීවිතයට සම්බන්ධ වෙලා හිටපු පිරිස සියලු දෙනාගෙම එකතුවෙන් ආපු අදහසක්. ඒකෙන් මට ඕනේ වුණේ එක හා සමාන ප්‍රාසාංගික අත්දැකීමෙන් මිදිලා වෙනස් අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න. නාට්‍ය ගී, චිත්‍රපට ගීත, පැරණි ගීත මේවාට තිබුණු ඉඩ අවමයි. හැබැයි ඒවාට ආසා කරන බොහෝ පිරිසක් ඉන්නවා. ප්‍රාසාංගික වේදිකාව තුළ ඒ වෙනස් විදියේ රසවින්දනයක් ලබාදීමේ පරමාර්ථයෙන් තමයි කොන්සර්ට් එකක් කරනවා කියලා හිතුවේ.

රංගනයට වඩා ඔබ ගායනයට මුල්තැන දීලා තියෙන්නේ ඇයි?

මියුසික් තමයි මගේ ජීවිතේ. පුංචි කාලේ ඉඳන් මම මියුසික් කළේ. පාසලේ 6 වසරෙදි තමයි මම රඟපාන්න පටන් ගත්තේ. මම හිතනවා මට රංගනයේ උපරිම අවස්ථා පෙන්වන්න නිර්මාණ ලැබිලා නෑ කියලා. රඟපාන්න ආරාධනා ලැබුණත් මම පෞද්ගලිකව කැමැති විදිහේ නිර්මාණ තියෙනවා, ඒ විදියේ වැඩක් ලැබුණොත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා.

ඉදිරි වැඩකටයුතු මොනවද?

මේ මාසේ 20 ‘බින්තැන්නේ අයියා’ මියුසික් වීඩියෝ එක එළිදැක්වූවා. ‘රැජිණට ඇන්දා’ රූප රචනයෙන් පස්සේ මම කරපු පළමු රූප රචනාව. රියල් ටයිම් අපි ෂූට් කරලා, වී.එෆ්.එක්ස්. සහ ඒ.අයි. තාක්ෂණය භාවිත කරලා කරපු වැඩක්. මෙහි පදරචනය වසන්ත දුක්ගන්නාරාල, සංගීතය ලහිරු පෙරේරා, රූපරචනාව අධ්‍යක්ෂණය වෙන්නේ විශ්ව බාලසූරිය අතින්. ගොඩාක් මහන්සි වෙලා ගත්තු උත්සාහයක්. මම හැමවෙලේම රිස්ක් එකක් ගන්න කැමැති කෙනෙක්. තව ගීත කිහිපයක්ම නිර්මාණය වෙන්න තියෙනවා. අලුත් ටෙලිනාට්‍යයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒකත් නුදුරේම බලාගන්න පුළුවන්.

‘රැජිණට ඇන්දා’ ප්‍රසංගය ගැනත් දැනුවත් කිරීමක් කරමු?

‘රැජිණට ඇන්දා’ 4 වැනි ප්‍රසංගය මේ වසරේ සැප්තැම්බර් 12 මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ තියෙන්නේ සවස 7ට. හැමදාම වගේ මේකත් වෙනස් වැඩක්.‍ රොඩ්නි වර්ණකුල, උදේශ් ඉන්දුල, බිමල් ජයකොඩි, ගිරිරාජ් කෞෂල්‍ය කියන ෂානර 4ක ගායන ශිල්පීන් රංගන ශිල්පීන් 4 දෙනෙක් සම්බන්ධ වෙනවා යුග ගායනයෙන්. නර්තන දායකත්වය චන්දන වික්‍රමසිංහ ගුරුතුමාගේ සහ අසංග ද සිල්වා අයියගේ නර්තන කණ්ඩායම් ලබාදෙනවා. හැමෝටම ආරාධනා කරනවා ඇවිල්ලා මට ශක්තියක් වෙන්න කියලා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post