ඇය ප්‍රථමවරට හොඳම සහාය නිළිය ටෙලි සම්මානයෙන් පිදුම් ලැබුවේ “යකඩ පහන් තිර” ටෙලි නාට්‍යයේ ඇගේ රංගනයටය. “තණමල්විල කොල්ලෙක්” ටෙලි නාට්‍යයේ ඇගේ රංගනය වෙනුවෙන් 2020 සුමති හා රයිගම් හොඳම සහය නිළිය සම්මානයෙන් ඇය පිදුම් ලැබුවාය. දිවිතුරා, කොඩි ගහ යට මෙන්ම කොටු ටෙලි නාට්‍යය ද ඇයව ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැඳවූ ටෙලි නාට්‍ය වේ. අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ “ගින්නෙන් උපන් සීතල” සිනමාපටයේ “චිත්‍රාංගනී”නම් වූ ඇගේ චරිතය, ඇගේ ජීවිතයේ සේ ම සිංහල සිනමාවේ ද මුද්‍රාවක් තැබූ චරිතයකි.එම චරිතය වෙනුවෙන් ඇය, සරසවිය, සිග්නීස් සහ ජනාධිපති යන සිනමා සම්මාන උලෙළවල දී හොඳම නිළිය ලෙස නිර්දේශ විය.”තණ්හා රති රඟා” සිනමාපටය සඳහා හොඳම සහාය නිළිය ලෙස ඇය සම්මාන ලැබුවේ දෙරණ සිනමා සම්මාන උලෙළේදීය. ඇය රඟ පෑ වර්ණ, සුළඟ ගිනි අරන්, ඊඥදබඪඨධ සිනමාපට අතර, අරුණ ජයර්ධනගේ “නිකිණි වැස්ස”, ඉලංගෝ රාම්ගේ “නෙළුම් කුළුණ” ඇගේ සිනමා ජීවිතයේ සුවිශේෂී අවස්ථා විය. ඇය, “නිකිණි වැස්ස” රංගනය උදෙසා ඩ්ඪපභ ට්ධතඤඥද ජ්ඪතථ ඒඹචපඤ හීදී හොඳම නැගී එන නිලිය ලෙස සම්මාන ලැබූ අතර, ඒ සිනමාපටය සඳහා ම ඹ්චදචඬච ඹ්ඪමඥ ජ්ඪතථ ඒඹචපඤ හීදි හොඳම සහය නිලිය සම්මානය ද සිග්නීස් සම්මාන උළෙලේ දී රජත සහ කුසලතා යන සම්මාන ද ලැබුවාය. නමින් ඇය සුලෝචනා වීරසිංහයි. මෙසේ දිගහැරෙන්නේ, ලාංකේය කලා ක්ෂේත්‍රයේ තමන්ටම ආවේණික වූ අනන්‍යතාවයකින් යුතු දක්ෂ රංගන ශිල්පිනියක වන ඇය, සරසවිය සමඟ කළ කතාබහයි.
කොහොමද සුලෝචනා මේ දවස්වල කලා කටයුතු ?
මේ දවස්වල නම් වේදිකාවත් එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ.චාලක රණසූරියගේ “සඳුදා වැටෙන්නේ සිකුරාදාට” වේදිකා නාට්‍යත් එක්ක සුපුරුදු පරිදි සම්බන්ධ වෙලා ඉන්නවා. අපි දැන් මේ නාට්‍යයේ දර්ශන වාර එකසිය හැටකටත් වඩා කළා. 2023 වර්ෂයේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය ඇතුළු සම්මාන අටක් දිනා ගන්න මෙම වේදිකා නාට්‍යයට හැකියාව ලැබුණා. පහුගිය දවස්වල ඔස්ට්‍රේලියානු සංචාරයකටත් අපි සම්බන්ධ වුණා මේ නාට්‍යයත් එක්ක. ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත පහක අපි මේ නාට්‍ය වේදිකාගත කළා. ඒ වගේම මම අලුත් වේදිකා නාට්‍ය දෙකකටත් මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා. ඩෙනිස් පෙරේරා අනුවර්ථනය කොට අධ්‍යක්ෂණය කරන “නේරංජනා” වේදිකා නාට්‍යය සහ චින්තක පිරිස්ගේ ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණයක් වුණු “අන්ධාරි” වේදිකා නාට්‍යත් මේ දවස්වල රට පුරාම වේදිකාගත වෙනවා. ඒ වගේම මමත්, වේදිකාවෙන් කලා ජීවිතය පටන් ගත්තු මගේ මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුත් එකතු වෙලා ඉන්නවා අලුත්ම වේදිකා නාට්‍යයක නිර්මාණ කටයුතු සඳහා. මේ දවස්වල එහි පිටපත සකස් කෙරෙමින් සහ සාකච්ඡා කරමින් පවතින්නේ. සිනමාපට ගැන කිව්වොත්, අලුත් සිනමාපට දෙකකට ඉදිරියේ දී සම්බන්ධ වෙන්න නියමිතයි. එකක් තිසර ඉඹුලානගේ සිනමාපටයක්. එහි රූපගත කිරීම් ලබන මාසයේ දී ආරම්භ කරනවා. අනිත් සිනමාපටය නවක අධ්‍යක්ෂකවරයෙකුගේ. මේ දවස්වල ටෙලි නාට්‍යවලට නම් සම්බන්ධ වෙලා නැහැ. ඔය විදිහට තමයි මේ දවස්වල මගේ කලා කටයුතු වෙන්නේ.
අද ඔබ චරිතාංග රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රය තුළ ස්ථාවරත්වයක් ඇතිකරගෙන තියෙනවා. නමුත් ඔබ කලාවට පිවිසියේ අහම්බෙන් ?
ඔව්. මම වේදිකාට පිවිසෙන්නේ 2005 වර්ෂයේ දී. ඒ වෙනකොට මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. මගේ ළඟම මිතුරියක් හිටියා ලක්ෂි චන්දිමා කියලා. විශ්වවිද්‍යාලයේ දී ඇය අධ්‍යක්ෂණය කරපු “පෙම්වතා නැති වෙලා” කියන කෙටි නාට්‍යයේ පෙම්වතියගේ චරිත නිරූපණයෙන් තමයි මම වේදිකාවට පිවිසුණේ.ඒ චරිතය මට ලැබුණේ ඒ චරිතය කරන්න සිටිය නිළියට හදිස්සියේ එයින් ඉවත් වෙන්න සිදු වූ නිසා. එම නාට්‍යය එම වසරේ දී අන්තර් විශ්වවිද්‍යාල කෙටි නාට්‍ය තරගාවලියට ඉදිරිපත් කළා. එහිදී හොඳම සහාය නිළිය විදිහට ඇගැයීම් ලබන්න මට හැකියාව ලැබුණා. එම වසරේම සෝමලතා සුභසිංහ මහත්මියගේ කෝට්ටේ ළමා හා යොවුන් රඟහල පදනම මඟින් කළ නාට්‍ය වැඩමුළුවකටත් මට සම්බන්ධ වෙන්න ලැබුණා. ඇත්තටම ඒ විදිහට තමයි මගේ කලා ජීවිතය ආරම්භ වුණේ.මුලින්ම වේදිකාවට සම්බන්ධ වෙනකොට මම රංගනය පිළිබඳව නිසි හැදෑරීමක්වත් කරලා තිබුණෙ නැහැ. නමුත් එයින් පස්සේ විවිධ වැඩමුළු ආදියට සම්බන්ධ වෙමින් මම නිරන්තරයෙන් රංගනය ඉගෙන ගන්න උත්සාහ කරනවා.
ඒ කියන්නෙ ඔබ තවමත් රංගනය හදාරනවාද?
ඔව්. රංගනය කියන්නේ කවදාවත් හදාරලා ඉවර කරන්න පුළුවන් විෂය පථයක් නෙමෙයි. රංගනයට නිරන්තරයෙන්ම සතත අභ්‍යාසය අවශ්‍යයි. මෙතනදි මම අභ්‍යාසය කියලා කියන්නේ, තමන්ගේ ශරීරයේ හැඩට පවත්වා ගැනීම වගේ දේවල් ම විතරක් නෙමෙයි. ඒ දේවලුත් ඕනේ. නමුත් ඊට වඩා රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට අවශ්‍ය වන්නේ විවේක බුද්ධිය. කුමන හෝ කලා මාධ්‍යයක් තුළින් වුවත් අපි ප්‍රතිනිර්මාණය කරන්නේ මේ සමාජයේ තියන චරිත. ඇතැම් විට ඒ චරිත අපිට සැබෑවට හමු නොවූ චරිත වෙන්න පුළුවන්. එවැනි චරිතයක් ප්‍රතිනිර්මාණයේ දී ඒ සඳහා අපි කියවපු කතාවක් අපි නරඹපු සිනමා කෘතියක් ලොකු දායකත්වයක් දරනවා. අද පවතින ආරථික තත්ත්වය අනුව උදේ එක නිර්මාණයකට දායක වෙලා හවස තවත් නිර්මාණයකට දායක වෙන්න කලාකරුවන්ට සිදුවෙනවා. නමුත් මේ චරිත දෙක අතර තියෙන වෙනස පවත්වාගෙන යන්න ඔහුට හෝ ඇයට අනිවර්යයෙන්ම හැකියාව තිබිය යුතුයි. ඒකට ශාරීරයක සුවය වගේම මානසික සුවයත් හරිම වැදගත්. ඒ නිසයි මම කිව්වේ රංගනයට සතත අභ්‍යාසය සහ විවේක බුද්ධිය අත්‍යවශ්‍යයි කියලා. හැදෑරීම කියලා කියන්නේ ඉගෙනීම කියන දේ විතරක් නෙමෙයි. පොතපත කියවීම තුළින් හොඳ සිනමාපට නැරඹීම තුළින් වුණත් අපි කරන්නේ හැදෑරීමක් තමයි. වෙනත් කෙනෙකුගේ රංගනයක් දිහා බලලා වුනත් හැදෑරීම කරන්න පුළුවන්නේ. අපි කරන චරිතයක් තුළින් ඉස්මතු වෙන්නේ, අපි සැබෑ ලෝකයේ දැකපු දේවල් වගේම අපි අහපු කියවපු මේ හැමදේකම සංකලනයක්.
ඔබ මේ තැනට එන්න විශාල කැපකිරීමක් කරලා තියෙනවා නේද?
මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ වෙනකොට දශක දෙකකට වැඩියි. නමුත් මම නිරන්තරයෙන් රූපවාහිනියේ දකින්න ඉන්න කෙනෙක් නෙමෙයි. සිනමාවේ වුණත් එහෙමයි.කාලයට අනුව නම්, මම දායක වෙලා තියන නිර්මාණ ගණන ගොඩක් අඩුයි. නමුත් මට එක සතුටක් තියෙනවා. මොන හේතුවක් නිසා හරි මම සම්බන්ධ වුණ හැම නිර්මාණයක්ම ඉතාම සාර්ථක වුණ නිර්මාණ. සිනමාවේ දී හෝ රූපවාහිනයේ දී මම සාරථකත්වයක් ලබලා තියෙනවා නම් ඒකට ප්‍රධානම හේතුව තමයි වේදිකාවට මගේ තිබුණු කැපකිරීම. මම ක්ෂේත්‍රයට පිවිසුණේ වේදිකාවෙන්. වේදිකාව කියන්නේ හැමෝටම රැඳීලා ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. වේදිකා රංගන ශිල්පියෙකුට විශාල කැපකිරීමක් සහ ධෛරයයක් එහි රැඳීමට තියෙන්න ඕනේ කියලා මම හිතනවා. මට ඒ ධෛර්යය තියෙනවා. ඇත්තටම වේදිකා රංගන ශිල්පීන් තමන්ගේ වේදිකා නාට්‍ය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරනවා. වේදිකා නාට්‍යයකට මාස ගණනක පුහුණුවීම් ඕනේ. ඒ කැපකිරීම පහසු නැහැ. පහුගිය දවස්වල වේදිකා නාට්‍ය නිසා මට සිනමාපට වගේම ටෙලි නාට්‍ය කිහිපයකුත් මඟ හැරුණා. ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ නම් ලොකු කැමැත්තකුත් තිබුණා. නමුත් ඒ වෙනකොට වේදිකා නාට්‍යයක වැඩ කටයුතු සඳහා මම දින වෙන් කරලා දීලා තිබුණේ. ඒ නිසා මම ඒ නිර්මාණ දෙකම අතහැරියා. ඒ සඳහා මට ධෛර්යයක් තිබුණා සහ මට යම් කැපකිරීමක් කරන්න සිදුවුණා. ඒකයි මම කිව්වේ මේ ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්නකොට කැපකිරීම සහ ධෛර්යය කියන දෙක අත්‍යවශ්‍යයි කියලා. මම උදාහරණයක් කියන්නම්. 2017 ජෙහාන් ඇලෝෂියස්ගේ “රියැලිටි ශෝ” කියන වේදිකා නාට්‍යයත් එක්ක මම සම්බන්ධ වෙලා සිටියා. එම වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලටත් අපේ නාට්‍යය තේරුණා. ඇත්තටම ඒකට ඉදිරිපත් වුණා නම් ඒ වසරේ සම්මාන කිහිපයක් ලබාගන්නත් මේ නාට්‍යයට හැකියාවක් තිබුණා.නමුත් අපි එය අතහැර, රට නියෝජනය කරමින් ඉන්දියාවේ නාට්‍ය තරඟයකට සහභාගී වුණා. එතනදී අපිට අර සම්මාන ටික මඟහැරුණා; නමුත් ලොකු අත්දැකීමක් ලැබුණා. ඒ තමයි කැපකිරීම. කැපකිරීම සහ මා තුළ ඇති ධෛර්යය තමයි මම හිතන විදිහට මගේ ස්ථාවරත්වයට හේතුව.
එයින් කියැවෙන්නේ ඔබගේ වැඩි මනාපය වේදිකාවට කියලද?
වේදිකාව සහ සිනමාව කියන මාධ්‍ය දෙකටම මම එක හා සමානව කැමතියි. මම කියන්න උත්සාහ කළේ, මම අද ඉන්න තැනට එන්න මට උදව් කලේ වේදිකාව කියන එක. මට සිනමාවේ හෝ රූපවාහිනියේ ලැබුණු හැම චරිතයක්ම එහෙම ලැබෙන්න හේතු උණේ වේදිකාව. 2009 දී වේදිකා ගතවුණු “ග්ලෑඩියේටර් ප්‍රේමය” වේදිකා නාට්‍යයෙන් තමයි අනුරුද්ධ ජයසිංහ මාව හඳුනා හඳුනාගන්නේ. එයින් තමයි ඔහුගේ “යකඩ පහන් තිර” ටෙලි නාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව උදාවන්නේ. අරුණ ජයවර්ධනගේ “නිකිණි වැස්ස” සිනමාපටයටත් නිලේන්ද්‍ර දේශප්‍රියගේ “තණ්හා රතී රඟා” සිනමාපටයටත් මට අවස්ථාව ලැබෙන්නේ ඔය කියන වේදිකා නාට්‍යය නිසා. පසුගිය දවසක මගේ වේදිකා නාට්‍යයක් බලපු නාට්‍යවේදී රාජිත දිසානායක මට දුරකථනයෙන් කතා කළා.ඔහුගේ ඒ ඇමතුමෙන් මගේ රංගනය ගැන ඔහුගේ තිබුණු ප්‍රසාදය තමයි කිව්වේ. ඉතිං ඒ වගේ වෙලාවට මගේ හිතට දැනෙන සතුට කියල නිම කරන්න බැහැ.
ඒ වගේම තමයි පසුගිය දිනක අප අතරින් වියෝ වුණු නන්දා මාලනියගේ අවමංගල උත්සවයට සහභාගි වෙලා එද්දී, එක වයසක අම්මා කෙනෙක් මට මුණ ගැහුණා. ඇය මාව දැකලා මගේ අත් දෙකම අල්ලගෙන ඇහුවා “මේ අර තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ රඟපාපු මිස් නේද?” කියලා. ඇගේ ඇස්වල කඳුළු පිරිලා. මගේ අත, අතගාමින් හරිම සෙනෙහසින් තමයි ඇය කතා කළේ. මේ තමයි මම හම්බ කරපු දේවල්. වේදිකාව කියන්නේ ආර්ථිකය අතින් සාර්ථක ස්ථානයක් නෙමෙයි. නමුත් වේදිකාවෙන් ලැබුණු පන්නරය තමයි අනිත් හැම තැනකදීම ස්ථාවර වෙන්න මට උදව් කළේ.අනෙක් අතට වේදිකාව කියන්නේ සජීවී මාධ්‍යයක්. නාට්‍යයක් අවසානයේදී ළඟට ඇවිත් කතා කරන ප්‍රේක්ෂකයෙකුගේ ප්‍රසාදය, රංගන ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට මහමෙරක් වගේ.
ඔබ හිතන විදිහට සුලෝචනා වීරසිංහ කියන්නේ කොපමණ රංග පරාසයක් ඇති රංගන ශිල්පිනියක්ද?
ඒක නම් තීරණය කරන්න ඕනේ ප්‍රේක්ෂකයින්.මට ලැබුණු චරිත ඇතුළේ මම සාර්ථකයි කියලා මම හිතනවා. ඒකට හේතුව මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ මගේ තෘප්තිමත්භාවය. නමුත් ඒකෙන් කිසිසේත්ම අදහස් වෙන්නේ නැහැ මම පරිපූර්ණයි කියන එක. මම කලිනුත් කිව්වා වගේ රංගනය කියන්නේ මැරෙන තුරුම ඉගෙන ගන්න ඕන විෂයක්. දවසින් දවස අපිට නිරූපණය කිරීමට ලැබෙන චරිත වෙනස්. ඒ චරිත නිරූපණයට කලින් ඒ පිළිබඳව හදාරන්න ඕනේ. එතකොට තමයි චරිතය තුළ අපිට සාරථක වෙන්න පුළුවන් වෙන්නේ. සමහර වෙලාවට අපි කොපමණ හොඳට චරිතයක් නිරූපණය කළත්, වසර ගණනක් ගිහිල්ලා හැරිලා බලනකොට “ඒ චරිතය මේ විදිහකට කරන්න තිබුණා නම් හොඳයි” කියල හිතෙන අවස්ථාවල් තියෙනවා. මට වුණත් එහෙමයි. ඒකයි මම කිව්වේ, මම අංගසම්පූර්ණ නැහැ කියලා. සම්මානයක් ලැබෙනවා කියලා කියන්නේ රංගනයේ අවසානය නෙමෙයි. හොඳම නිළිය සම්මානය ලැබුණා වුණත්, අපිට තව ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා මම හිතනවා.
කොහොමත් හුඟක් ප්‍රේක්ෂකයින්ට මාව මතක මගේ නමින් නෙමෙයි; මම කරපු චරිත වල නමින්. ඒ ගැන ලොකු සතුටක් මට තියෙන්නේ. මගේ චරිත ඇතුළේ සුලෝචනා හිටියා නම් වැඩක් නැහැනේ. මගේ රංග පරාසය තුළ, මට තව කරන්න දේවල් තිබෙනවා කියන එක සහ මට ඉගෙන ගන්න දේවල් තිබෙනවා කියන එක මම නිතරම හිතෙන දෙයක්.
ඔබ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරීවරියක්නේ. එතකොට ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක් නෙමෙයිද?
මට රැකියාව ලැබෙන්නේ 2014 වර්ෂයේ දී මම ඉගෙන ගත් විෂයේ ප්‍රතිඵලයක් විදිහට. නමුත් මම 2006 වර්ෂයේ විතර ඉඳන් රංගන කටයුතුවල නිරත වෙනවා. එතකොට ඒ කාලේ ඉඳන්ම මගේ වෘත්තිය උණේ රංගනය. මම හරිහම්බ කර ගත්තේ රංගනය තුළින්. ඒ නිසා මම වෘත්තීය රංගන ශිල්පිනියක් තමයි. නමුත් රැකියාව නිසා රංගනය මගහැරුණු අවස්ථා තියනවා. අදට වුණත් සමහර අය හිතාගෙන ඉන්නේ රැකියාව නිසා මම සිනමාව සහ වේදිකාව පමණයි තෝරගෙන ඉන්නේ කියලා.හුඟක් වෙලාවට ටෙලි නාට්‍යවලට අවස්ථාව අඩු වෙන්නත් ඒක හේතුවක් කියලා මම හිතනවා. එහෙම දෙයක් නැහැ. ඇත්තටම කොටස් හයසියයක් විතර විකාශය වුණු “සිහින පුරය” මෙගා නාට්‍යයෙන් තමයි මම ප්‍රේක්ෂකයින් අතරට ගොඩක්ම ගියේ. සිනමාව වේදිකාව හෝ ටෙලිනාට්‍ය කියලා කියලා භේදයක් මගේ නැහැ.
නමුත් මං හිතනවා මට යම්කිසි වටිනාකමක් තියෙනවා කියලා. ඒ වටිනාකමට, නිසි වටිනාකමක් ලැබීම සහ අදාල චරිතයට මගේ කැමැත්තක් තිබීම කියන කරුණු සාක්ෂාත් වෙනවා නම් මධ්‍යය කුමක් වුනත් මම ඒ චරිතය බාර ගන්නවා. හැබැයි කිසිම විදිහකින් ආර්ථික ප්‍රශ්න නිසාවත්, මගේ වටිනාකම මට ලැබෙන්නේ නැති තැනක මම රැඳෙන්නේ නැහැ. මම ඒක කරන්නේ මම ගැන විතරක් හිතලා නෙමෙයි. රංගන ශිල්පීන් විදිහට අපි හැමෝටම විවිධාකාරයේ වටිනාකම් තියෙනවා. අපි ඒ ගැන හිතන්න ඕනේ. අද සමහර අවස්ථාවලදී, මම ප්‍රතික්ෂේප කල චරිතයකට මගේ තත්ත්වයේ ම ඉන්න වෙනත් කෙනෙක් ඊටත් වඩා අඩු මුදලකට සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා. රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් විදිහට මේ ක්ෂේත්‍රය තුළ අපේ වටිනාකම අපිම තමයි හදාගන්න ඕනේ. ඒ ගැන අපි හැමෝම හිතන්න ඕන.
රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට සම්මානයක් ලැබීම පිළිබඳව, ඔබ ඔබේ කෝණයෙන් දකින්නේ කොහොමද?
මෙහෙමයි. කලාකරුවෙක් චරිතයක් ගොඩනගන්න යම් කැපකිරීමක් කරනවා. සමහරු “මම ලොකු කැපකිරීමක් කලා” කියලා වචනෙට විතරක් කියනවා.ඒක ගැන නෙමෙයි මම කතා කරන්නේ. කැපකිරීම කියන එකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි කලාකරුවෙක් විදිහට අපි සමාජය වෙනුවෙන් කරන කැපකිරීම. අනිත් එක තමයි කලාකරුවෙක් තමන් වෙනුවෙන්ම කරන කැපකිරීම.”ග්ලෑඩියේටර් ප්‍රේමය” වගේ වේදිකා නාට්‍යයක් ගත්තොත්, අද ඒක වේදිකාගත වෙන්නේ නැහැ. නමුත් අදටත් නාට්‍ය හා රංග කලාව හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් රධභ බභඡඥ එකේ තියෙන ඒ නාට්‍යය හදාරනවා. ඔවුන් මට කියලා තියෙනවා ඒ නාට්‍ය ඔවුන්ට ලොකු පිටුවහලක් වෙනවා කියලා. ඒක තමයි නිර්මාණකරුවෙකු සමාජය වෙනුවෙන් කරන කැප කිරීම. ඒ කැපකිරීමට වටිනාකමක් දෙන්න බැහැ.
අනිත් කාරණය තමයි ඒ කැපකිරීම තුළින් නිර්මාණකරුවාත් යම්කිසි දෙයක් උපයා ගන්නවා. එය මුදල්ම නෙමෙයි. තමන්ගේ කෞශල්‍යය ඉහළ නංවා ගැනීම, අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට හැකිවීම වගේ දේවල් ඔය අතර තියෙනවා. රංගන ශිල්පීන් ශිල්පිනියන් කියන්නෙත් පෘථග්ජන මිනිසුන්. මමත් එහෙමයි. ඒ නිසා සම්මානයක් ලැබීම කියන එක මගේ කෝණයට අනුව නම් නිර්මාණකරුවෙකුට තමන්ගේ කලා ජීවිතයට ලැබෙන ලොකු පිටිවහලක්. නමුත් සමහර අවස්ථාවලදී අපි සුදුසුයි කියලා හිතෙන කෙනාට අදාළ සම්මානය නොලැබී යන්නත් පුළුවන්. සිනමා උලෙළවල ජූරී සභිකයින් ගන්නා තීරණ පිළිබඳව ප්‍රශ්න කිරීමේවත් ඒවා අභියෝගයට ලක් කිරීමේවත් සදාචාරාත්මක අයිතියක් අපට නැහැ. ඒ නිසා ඒ තීරණ අපි පිළිගන්න ඕනේ.
සම්මාන කියලා කිව්වාම ඔය විදිහට ලැබෙන සම්මාන වගේම පොදු ජනතා සම්මානය ගැනත් කියන්න ඕනේ. රසිකයින්ගෙන් ලැබෙන ඒ සම්මානයට සම කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ.මම රඟපෑ චරිතවලට සම්මාන ලැබිලා තියෙන බව ඇත්ත උණත්, පෞද්ගලිකව මම කවදාවත් සම්මාන බලාගෙන රඟපාන්නේ නැහැ.සම්මානයක් නොලැබුණා කියලා මගේ කැපකිරීම මම අඩු කරන්නෙත් නැහැ. අද ලැබුණු චරිතය, කලින් ලැබුණු චරිතවලටත් වඩා හොඳට කරන්න තමයි හැම වෙලාවෙම මම උත්සහා කරන්නේ.
පෞද්ගලික ජීවිතය ගැන විස්තර ටිකක් කියන්න.
මගේ දියණියට දැන් අවුරුදු දහයක්. එයාගේ සියලු දේවල් කරන්නේ මම. මේ දවස්වල නම් දියණිය නිසාම රැකියාවෙන් ටික කාලයකට නිවාඩු අරගෙන ඉන්නේ. පුංචි කාලෙ ඉඳන්ම ඇය මම මගේ ඇස් මානයේ තියාගෙන තමයි බලා ගත්තේ. අදටත් ඒක එහෙමයි. මගේ සැමියා ටෙලි නාට්‍ය හා සිනමා කැමරා අධ්‍යක්ෂකවරයෙක් (චානක සංජීව). රාවණා, අක්ෂි ටෙලි නාට්‍යවලත් සෝණා සිනමාපටයේත් කැමරා අධ්‍යක්ෂකවරයා ඔහුයි. අපි දෙන්නම ගොඩක් කාර්යබහුලයි. ඒත් අපි උත්සාහ කරන්නේ හැම වෙලාවෙම අපේ දියණියට අපේ ජීවිතයේ ප්‍රමුඛස්ථානයක් ලබා දෙන්න. කාර්යබහුලත්වය නිසා සමහර දේවල් කරගන්න අපහසු වෙනකොට මගේ අම්මා තමයි මට සහායට ඉන්නේ. ඇය මම වගේම මගේ දියණියව බලා ගන්නවා. ඒක මට ලොකු ශක්තියක්.
රංගන ශිල්පිනියකට පෞද්ගලික ජීවිතයේ සහ කලා ජීවිතයේ සමබර කරගෙන යන එක හරිම අපහසුයි. ඒත් මම නිතරම උත්සාහ කරන්නේ මේ දෙකම සාර්ථකව කරගන්න.