‘කල්පනා’ කියන්නෙ මගේ පළමු සිනමා රංගනය. ඒක මගේ රංගන ජීවිතයේ විශේෂ අවස්ථාවක්. කල්පනා එක්ක එකතු වෙන්න කියල මට ආරාධනා කරන්නෙ මේ නිර්මාණයේ අධ්‍යක්‍ෂ සාරංග මෙන්ඩිස්.
සාරංගගේ ආරාධනයෙන් වින්ඩි පළමු වරට ‘කල්පනා’ සමග සිනමාවට පිවිසෙනව. කවුද මේ වින්ඩි… දෙවෙනි ඉනිමෙ ලිහිණිව මතක කාටවත් වින්ඩිව අමතක වෙන්න විදිහක් නැහැ.
ඉතිං අපි වින්ඩිගෙ කතාව අහමු.
නිර්මලා කියන්නෙ කල්පනාගෙ හොඳම යහළුවෙක්. මේ නිර්මලා තමයි වින්ඩිටත් සිනමාවේ දොර හරින්නෙ. ඉතිං එදා පළමු වතාවට කල්පනා නරඹද්දි ගොඩක් ලොකු සතුටක් වගේම ආඩම්බරයක් ඇති වුණා. මොකද සාරංග අයියගෙත් පළමු සිනමා නිර්මාණය වුණාට එයා ඒක හරි ලස්සනට කරල තිබුණා. ඉතිං මටත් සතුටුයි ඒ නිර්මාණයට දායක වෙන්න ලැබීම ගැන.
රූගතකිරීම් ගැන කතා කළොත්, මට ගොඩක් වෙලාවට කොළඹ ප්‍රදේශයේමයි ලොකේෂන් තිබුණෙ. ඒ වගේම රොෂෙල් සහ රවීන් අයියා එක්ක තමයි සීන්ස් වැඩිපුරම තිබුණෙ. අපි හොඳින්ම දන්නකියන අය වගේම අවුරුදු ගාණක් එකට වැඩ කරන අය නිසා රූගතකිරීම් අපහසු වුනේ නැහැ. අපි හරිම විනෝදෙන් වැඩ කළා.
රිදී තිරයෙන් තමන් තමන්ව දකින පළමු අවස්ථාව හරිම සුවිශේෂයි.
මම ක්‍ෂේත්‍රයට ඇවිත් ලොකු කාලයක් නැහැ. මේ පොඩි කාලය තුළදි සිනමාවට දායක වෙන්න ලැබෙනව කියන්නෙ ලොකු දෙයක්. ඉතිං මට මාවම තිරයේ දකින්න ලැබුණ ඒ අවස්ථාව පුදුමාකාර සතුටත් මගේ ජීවිතේ ඇති කළා.
ගොඩක් අය නළුවෙක් නිළියක් වෙන්න පොඩි කාලෙ ඉඳන්ම හීන දකිනව. හැබැයි මම දැකපු හීනයේ හිටියෙ වෛද්‍යවරියක් සහ ගුරුවරියක්. ඒ හීන දෙකෙන් මම ගුරුවරියගේ හීනය සැබෑකර ගන්නවා. එහෙම ඉන්න අතර තමයි නිළියක් වෙන්න මගපෑදුනේ.
වින්ඩි කවුද. කොහෙන්ද ආවෙ කියන දේත් රසිකයො දැනගන්න ඕනනෙ.
මගේ ගම නුවර. පවුලේ එකම ළමයා වුණෙත් මම. මේ අතර 2022 අවුරුද්දෙ ටීවී දෙරණ මගින් පැවැත්වූ අවුරුදු කුමරි තරගයෙන් ජයග්‍රහණය කරන්න මට අවස්ථාව ලැබෙනව.
එතැනින් පස්සෙ නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණත් අධ්‍යාපන කටයුතු අවසන් නැති නිසා ඒවාට සම්බන්ධ වුණේ නැහැ. නමුත් දෙවෙනි ඉනිම සීසන් 2 දි මට ලිහිණිගෙ චරිතය ලැබෙනව. ඒ වෙනකොට මට කලින් ලිහිණිගෙ චරිතය දෙදෙනෙක් රඟපාලා තිබුණා. තුන්වැනියා විදිහට මම සම්බන්ධ වුණත් මගේ ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් වුණේ මේ චරිතයත් එක්ක.
විශේෂම දේ තමයි මගේ පවුලෙ කිසිම කෙනෙක් කලා ක්‍ෂේත්‍රයේ නැහැ. මේක මම තනිවම ආපු ගමනක්.
අවුරුදු කුමරිය වෙන වින්ඩි, ඒත් එක්කම ලැබුණු අවස්ථාවක් නිසා රංගන ක්‍ෂේත්‍රයට එකතු වෙනව. ඒත් එක්කම ඇයට ගුරුවරියගේ භූමිකාව මගහැරෙනව.
ඇත්තටම ගුරුවරියගේ රැකියාව අතහැරල රංගනයට එකතුවීම ගැන මම දුක් වෙන්නෙ නැහැ. මොකද මේ ක්‍ෂේත්‍රයෙන් මම ගොඩක් අත්දැකීම් ලබාගත්තා. මගේ පදිංචිය වෙනස් වුණා. බොහෝ පිරිසක් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා.
රංගන ක්‍ෂේත්‍රය කියන්නෙ ගොඩක් තරගකාරී තැනක්. ඒ වගේම අලුත් අයට ඉදිරියට යන්න අමාරුයි. ප්‍රවීණයන් එක්ක වැඩ කරනකොට බොහොම පරිස්සම් වෙන්න ඕනා. කැපිලි කෙටිලි වගේ දේවල් ගොඩක් නැති වුණත් නැත්තෙම නැහැ. ඒ දේවල් ගැන නම් ලොකුවට හිතන්නෙ නැහැ. මම මට හරියන දේ
තෝරාගෙන ඒ වැඩේ හරියට කරල එන කෙනෙක්. නමුත් මේ හැමදේම මගේ ජීවිතයට ලොකු අභියෝගයක්.
වින්ඩි කලින් ගුරුවරියක්. දැන් රංගන ශිල්පිණියක්. ඉදිරියේදී…
දැනට මම නීති ශිෂ්‍යාවක් විදිහට ඉගෙනගන්නවා. අනාගතයේදී ඒ පැත්තෙනුත් ඉදිරියට යන්න හිතාගෙන ඉන්නව.
ඇත්තටම රංගනය කියන්නෙ වෘත්තීයමය විදිහට කරන දෙයක් නෙමෙයි. රංගනය කියන්නෙ මගේ ආසාවට සහ අත්දැකීම් ලබාගන්න කරන දෙයක්.
රංගන ශිල්පිණියක් විශේෂයෙන්ම විලාසිතා ගැන සැළකිලිමත් වෙනවනෙ. වින්ඩි මෙහෙමයි ඒ ගැන හිතන්නෙ.
විලාසිතා කරන්න කැමතියි. නමුත් හැමදේම නෙමෙයි. මට ගැළපෙන දේ හරියට තෝරා ගන්නවා.
රඟපෑමටත් එහෙමයි. සීමාමායිම් තියෙනව. ඒ නිසාම තමයි හැම නාළිකාවකම හැම නිර්මාණයකම මාව දකින්න නැත්තෙ. මගේ සීමාව මම දන්නව. ඒ නිසා කරන්න බැරි දේවල් භාරගන්නෙ නැහැ. මොකද එහෙම කරල තියෙන ජනප්‍රියත්වයත් නැතිකරගන්න ඕන නැහැ.
ඇත්තටම මම කැමතියි සාම්ප්‍රදායික චරිත සහ දඟකාර චරිත කරන්න. මම හිතනව ඉදිරියේදී එවැනි වෙනස් චරිත ලැබෙයි කියල.
වින්ඩිගේ රසිකයන් ඇයගෙන් බලාපොරොත්තු වෙන්නෙත් මේ දේම වෙන්න ඇති.
ඉතිං අදට අපේ කතාබහ මෙතෙකින් අවසන් වෙනව.