ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන නාමයක් සටහන් කළ, මුළු ලෝකයක්ම ආදරය කරපු විශිෂ්ට ක්‍රිකට් තාරකාවක් තමයි තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ.
ක්‍රිකට් පිටියේදී ඩිල්ස්කූප් පහරින් ලෝකයම වසඟ කරපු ඒ අභීත ක්‍රීඩකයා, තමන්ගේ නිවස ඇතුළේදී කෙතරම් සංවේදී, ආදරණීය පියෙක්ද කියන එක නැවතත් මුළු රටටම මතක් කර දී තිබෙනවා.
ඒ ඔහුගේ ආදරණීය දියණිය ලිමීගේ 18 වැනි උපන්දිනය වෙනුවෙන් තැබූ හදවතටම දැනෙන සුබපැතුම් සටහනත් සමඟයි. පුංචි දියණියක් ලස්සන, කරුණාවන්ත වගේම ශක්තිමත් යුවතියක් බවට පත්වෙමින් ජීවිතයේ 18 වැනි කඩඉම පසුකරන ඒ සොඳුරු මොහොත පියෙකුට කෙතරම් ආශීර්වාදයක්ද යන්න ඩිල්ෂාන්ගේ සටහනෙන් මනාව පැහැදිලි වෙනවා.
මුහුණුපොතට සංවේදී සටහනක් එක්කරමින් ඩිල්ෂාන් පවසා තිබුණේ, ක්‍රිකට් පිටියේ තමන් ලැබූ කිසිදු අසමසම ජයග්‍රහණයක් ඇගේ පියා වීම තරම් ආඩම්බරයක් තමන්ට ලබා නොදුන් බවයි.
"සුබ 18 වැනි උපන්දිනයක් වේවා මගේ ආදරණීය ලිමී. අද ඔයා ඉන්න මේ ලස්සන, කරුණාවන්ත, ශක්තිමත් තරුණියක් බවට පත්වෙනවා දැකීම මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම ආශීර්වාදයයි. ක්‍රිකට් පිටියේ මං ලබපු කිසිම ජයග්‍රහණයක් ඔයාගේ තාත්තා විදියට මට දැනෙන ආඩම්බරයට කවදාවත් සම කරන්න බැහැ. ඔයාගේ මේ අලුත් පරිච්ඡේදය නිමක් නැති සතුට, හීන පස්සේ දුවන්න ධෛර්යය, ආදරය සහ සිනහවෙන් පිරි ජීවිතයක් ගෙනදේවා. ඔයාට කොච්චර වයස ගියත්, ඔයා හැමදාමත් මගේ පුංචි කෙල්ල. හැමදාමත් ඔයාට ආදරෙයි. සුබ 18 වැනි උපන්දිනයක් ලිමී."
ක්‍රිකට් පිටියේ දහස් ගණන් ක්‍රීඩාලෝලීන්ගේ හදවත් ගැස්වූ ඒ සුපිරි ක්‍රීඩකයා, දියණිය ඉදිරියේ පිය සෙනෙහසින් උණු වූ හැටි දුටු රසික හදවත් අතිශය සංවේදී වී තිබෙනවා. සමාජ මාධ්‍ය වෙත මුදාහැරි මොහොතේ පටන් ලක්ෂ සංඛ්‍යාත රසික ප්‍රතිචාර ගලා ආවේ ලිමී දියණියට ආශීර්වාද එක්කරමින් මෙන්ම, ඩිල්ෂාන් තුළ සිටින ඒ අපූරු පියාට ආදරය පුදකරමිනි