තිරය මත නළුවෙකුගේ රංගනයක් දකින විට ‘ඔහු රඟපානවා’ යන හැඟීම ඇතිවීම සාමාන්‍ය දෙයකි. එහෙත් තමන් නිරූපණය කරන චරිතය තුළටම ගිලී, නළුවා අමතක කර චරිතය පමණක් ප්‍රේක්ෂකයාට දැනෙන්නට සලස්වන රංගන ශිල්පීන් සිටින්නේ අතළොස්සකි. වේදිකාවෙන් ලද පන්නරයත්, තිරය මත චරිතයට අවශ්‍ය තරමට පමණක් හැඟීම් මුදාහරින සියුම් රංගන ශෛලියත් නිසා ඔහුගේ රංගනය තුළ කැපීපෙනෙන්නේ කෘත්‍රිමත්වය නොව ස්වභාවිකත්වයයි. ජහුටා,කොළඹ ඉතාලිය, කොඩි ගහ යට, කෝලම් කුට්ටම, සර්කස්කරයෝ, පැබ්ලෝ, අමුතු දොස්තර, පහේ ළමයි සහ දොරකඩ දෙවොල වැනි ඔහු නිරූපණය කළ විවිධ චරිත ඒ රංගන පරාසයට සාක්ෂි දරයි. එසේ චරිතයන්ට ජීවය දෙන ඔහු නමින් ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් චාමින්ද ජයවීරයි. ඔහු ‘මව්රට හාට්’ සමග කළ කතාබහයි මේ.
කරදමුණි දෙවියෝ එහෙම වඳින්න ගියේ නැද්ද?
ඊයේ පෙරේදා වැන්දා.
‘ජහුටා’ ටෙලිනිර්මාණයේ සපුමල් කියන්නේ මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන භූමිකාවක්. මේ චරිතය ගැන මතක් කිරීමක් කළොත්?
චරිතය ගත්තහම සටකපට වැඩ කරන පුද්ගලයකු විදිහට තමයි පේන්නේ. නමුත් ඔහු ඒ සියල්ල කරන්නේ තමන්ගේ දරුවා, බිරිඳ හා නංගි වෙනුවෙන්. ඔහු දැඩි සේ පවුලට ආදරේ කරන සරල, විනෝදකාමී මනුස්සයෙක්.
සම්පත් මෙහෙම ගිහින් ජ්‍යොතිෂය කාර්යාලයක් දායිද?
අපෝ නැහැ.
ඔබ සැබෑ ජීවිතයේ ජ්‍යොතිෂය විශ්වාස කරනවද?
ජ්‍යොතිෂය ගැන යම්තාක් දුරකට විශ්වාස කරනවා. එහි යම්කිසි සත්‍යතාවක් තියෙනවා කියලා හිතනවා. වර්තමානයේ හරියට ජ්‍යොතිෂය වැඩ කරන මිනිස්සු කවුද නොකරන අය කවුද කියලා හොයාගන්න එක තමයි ගැටලුව. නමුත් මේ දේවල්වල ඇලිලා ගැලිලා ඒ මත්තෙම ඉන්නවා කියලා එකක් නැහැ.
ඉදිරියේදී ජහුටාහි සපුමල්ගේ බොරුව අහුවෙයිද?
ඒක නම් ඉදිරියට ‘ජහුටා’ බලලම තමයි දැනගන්න වෙන්නේ.
සම්පත්, ඔබ රංගනයට අවතීර්ණ වෙලා දැන් වසර ගණනාවක්?
1998දී වේදිකාවෙන් තමයි මම කලා ගමන ආරම්භ කළේ. අද වෙද්දී අවුරුදු තිහකට ආසන්න කාලයක් හෙමින් ගමනක් ඇවිත් තියෙනවා.
ක්ෂේත්‍රයේ ඔබ අද ඉන්න තැනට එන්න ලොකුම ටර්නින් පොයින්ට් එක වුණේ කුමක්ද?
ලොකු ටර්නින් පොයින්ට්ස් තිබුණේ නැහැ. මට තේරෙන විදිහට ලැබෙන හැම වැඩේම එක රැයකින් මහ පෙරළියක් වන දේවල් ලැබුණේ නැහැ. ලැබුණු හැම වැඩක්ම ඉතා හොඳින් කරගෙන ආපු එක නිසා තමයි මේ කලාවේ මාව රැඳිලා තියෙන්නේ. සමහරු ප්‍රතික්ෂේප කළ මෙගා නාට්‍ය කලාවේ මම වැඩ කළා. සිවගුරුනාදන් මහත්මයා එක්ක වැඩ කරන්න ලැබීම මට ලොකු අවස්ථාවක් වුණා. එයින් තමයි ජනතාව අතරට යන චරිත ලැබුණේ.
සම්පත්, සිවගුරුනාදන්ගේ ගොඩක් නිර්මාණයන්ට දායක වුණා නේද?
ඔව්. වැඩියෙන්ම මම අධ්‍යක්ෂ සිවගුරුනාදන් මහත්මයා එක්ක තමයි වැඩ කරලා තියෙන්නේ.
ඔබ ප්‍රධාන චරිතයක් රගපාපු පළමු නාට්‍ය හිරුට හොරෙන්. ඒ ගැන ප්‍රේක්ෂකයන් අදටත් හොයනවා නේද?
2009/2010 කාලයේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ හිරුට හොරෙන් නාට්‍ය ජපන් ජන කතාවක් ඇසුරින් තමයි නිර්මාණය වුණේ. ප්‍රධාන පෙළේ චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙක් වන සරත් සේනාරත්නයන් තමයි මෙහි අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කළේ. අදටත් ඒක තමයි ඔහු කරපු එකම නාට්‍යය. මම කිහිප වතාවක් ඔහුට කිව්වා තව වැඩක් කරමු කියලා. නමුත් ඊට ඔහු ලොකු උනන්දුවක් දැක්වූයේ නැහැ. බොහෝ දෙනාට මේ කතාවේ ඉන්න පක්ෂියා මොකෙක්ද කියන එක මතකයක් නැහැ. නමුත් මේ ටෙලිනාට්‍යය ගැන අදටත් හොයන සහ එය බලපු පිරිස් ඉන්නවා. මේක සුදු කොකෙක් දිව්‍යාංගනාවක් වන ලස්සන කතාවක්. මේ කතාව රචනා කළේ එඩ්වින් පීරිස් මහත්මයා. අදටත් සතියකට වතාවක් හෝ එක්කෙනෙක් හරි ඒ නාට්‍ය ගැන අහලා ඒක ආපහු බලන්න විදිහක් නැද්ද, කතාවේ නම මොකක්ද කියලා අහලා මැසේජ් එවනවා, අප්‍රමාණව හොයන සහ අහන මිනිස්සු ඉන්නවා.
රූගත කිරීම් අතරතුරදි සම්පත්ට බෙල්ලන්විල පන්සලේදි කාන්තාවක් වැන්දා කියලා කතාවක් තියෙනවා. මොකක්ද ඇත්තටම වුණේ?
ප්‍රදීප් ධර්මදාසගේ සමනලුන්ට වෙඩි තියන්න කියන නාට්‍යයේ රූගත කිරීමකදී බෙල්ලන්විල පන්සලේ විහාරගෙයි තමයි මේක වුණේ. මම භික්ෂුවකගේ චරිතයකට එහි දර්ශනයකට සූදානම් වෙමින් සිටින විට ඒ විහාරස්ථානය ඇතුළට ආපු ගෑනු කෙනෙක් ලේන්සුවක් එළලා බිම දණගහලා මට වැන්දා. මට එපා කියන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ නැගිටින ගමන් කිව්වා අපි ඔබ වහන්සේගේ බණ ටීවී එකේ අහලා තියෙනවා කියලා. සමහර විට ඇයට මාව දැකලා තියෙන එකයි බණ කියන එකයි පැටළෙන්න ඇති රූපවාහිනියේ බණ කියන හාමුදුරුවෝ කියලා. නමුත් මම හොඳටම බය වුණා පන්සලෙන් අපිව පන්නාවී කියලා විහිළුවකට අරන් කියලා.
ඔබ හිතන විදිහට සම්පත් ජයවීර කියන නළුවා සහ සැබෑ ජීවිතේ ඔබ ගැන මිනිස්සු දැනගත යුතුයි කියලා හිතෙන්නේ කුමක්ද?
මිනිස්සු බලාපොරොත්තු වෙනවා අපි රඟපාන චරිත වගේම සැබෑ ජීවිතයේත් ඒ චරිත විදිහටම ඉන්නවා කියලා. උදාහරණයක් විදිහට ජහුටා නාට්‍යය මේ වනවිට අතිශය ජනප්‍රිය වෙලා තියෙන නිසා, මාවත් සපුමල්ගේ චරිතය විදිහටම දකින්න මිනිස්සු බලාපොරොත්තු වෙනවා. සැබෑ ජීවිතයේදී හමුවුණත් හාස්‍යජනක විදිහේ දේවල් කරයි කියලා ඔවුන් හිතනවා. නමුත් අපි එහෙම නැහැ. අපිත් සාමාන්‍ය මනුස්ස කොට්ඨාසයක්. අපේ කාර්යබහුලත්වයත් එක්ක අපි විවිධ මූඩ්වල ඉන්න අවස්ථා තියෙනවා. කවුරුහරි අපිත් එක්ක කතා කළොත් අපි කාරුණිකව කතා කරනවා. අනෙක් වෙලාවට අපේ පාඩුවේ ඉන්නවා. මාව මිනිස්සු හඳුනාගත්තද, නැද්ද කියලා විමසිල්ලෙන් ඉන්නේ නැහැ. මම සමාජයේ ජීවත් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට. මම හිතන්නේ මිනිස්සු කලාකරුවාව හඳුනාගෙන ඒ අනුව කටයුතු කරන්න ඕනෑ කියලයි. මිනිස්සු හිතනවා අපි හැම වෙලාවෙම හැමෝම එක්ක කතා කරන්න ඕනෑ කියලා. සමහර වෙලාවට කෙනෙක් ළඟට ඇවිත් කරට අත දානකන් අපි දන්නෙවත් නැහැ ඔහු හෝ ඇය ඡායාරූපයක් ගන්න හදනවා කියලා. නමුත් ඡායාරූපයක් ගමුද කියලා ඇහුවොත් අපි කවදාවත් බැහැ කියන්නේ නැහැ.
නමුත් සමහර මිනිස්සු හිතනවා එහෙම කරන එක එයාලගේ අයිතියක් කියලා. ඒ නිසා කලාකරුවන් සහ ප්‍රේක්ෂකයන් කියන දෙපිරිසම එකිනෙකා හඳුනාගෙන කටයුතු කළ යුතුයි කියලයි මම හිතන්නේ.
ඉදිරි නිර්මාණ ?
‘මළ මඟුලයි’, ‘කිසා’ සහ ‘ස්නොව් බර්ඩ්ස්’ කියන චිත්‍රපට මේ වසරේ තිරගත වෙන්න තියෙනවා.
දැනට තිරගත වන ‘ක්‍රිකට් සාදු’ චිත්‍රපටයේ ඔබේ භූමිකාව?
ආත්මාර්ථකාමී පියෙකුගේ චරිතයක් තමයි රඟපාන්නේ. තමන්ගේ දික්කසාදයෙන් බිරිඳ සහ දරුවා අහිමි වීම නිසා ආත්මාර්ථකාමී හැඟීමකින් පෙළෙන පියෙකුගේ චරිතයක්.
සම්මාන ගැන බලාපොරොත්තුවක් නැද්ද?
සම්මාන ලැබිය යුතු තැන්වල සම්මාන ලැබිලා නැහැ. ලැබුණොත් ලැබෙන වෙලාවක ලැබෙයි. සම්මාන මත්තෙම ඉඳලා වැඩක් නැහැ. ප්‍රේක්ෂකයෝ සමාජ මාධ්‍යවල ලියනවා සම්මාන ලැබිය යුතු නළුවෙක් කියලා. ප්‍රේක්ෂකයෝ අව්‍යාජව විශ්වාස කරනවා සම්මානනීය විය යුතු නළුවෙක් කියන එක. ඉතින් ඒක තමයි සම්මානය. ඒක එස්.එම්.එස්. එකකින්වත් කාගෙවත් පැනල් එකකින්වත් එන සම්මානවලට වඩා ඒ ලැබෙන ඍජු ප්‍රතිචාරය සල්ලිවලටවත් එස්.එම්.එස්. එකක් ගහලාවත් ගන්න බැහැ. ඉතින් මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රාර්ථනාව දවසක සම්මානයක් කරා රැගෙන යාවී.
අධ්‍යක්ෂණයට අදහසක් නැද්ද?
අදහසක් තියෙනවා. ඒ අදහස්වලට පසුබිම තමයි මේ දිනවල සකස් කරමින් යන්නේ.
අවසාන වශයෙන් ප්‍රේක්ෂකයාට කිව යුතු දෙයක් ඇති?
අපේ පෞද්ගලික ජීවිතය ගැන නෙමෙයි, අපි කරන නිර්මාණ ගැන බලන්න කියලා තමයි මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. දැන් ලාංකීය සිනමාව නැවතත් පණගැහෙමින් ඉදිරියට ඇවිත් තියෙනවා. ඒ නිසා සිනමා ශාලාවලට ගිහින් චිත්‍රපට නරඹන්න, ඒ නිර්මාණ ගැන කතාකරන්න. මට ලැබෙන ප්‍රේක්ෂක ආදරයත්, ඔවුන් මා කෙරෙහි තබා තිබෙන විශ්වාසයත් මට ඉතාමත් වටිනවා. ඉදිරියටත් ඒ විශ්වාසය ඒ අයුරින්ම තහවුරු කරමින්, හොඳ නිර්මාණවලින් ප්‍රේක්ෂකයන් අතරට එන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ