නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ පිටපත් රචකයා ගැන විශ්වාසය තියලා -සුරාජ් මාපා

gossiplanka image 1
 


ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය ඉතිහාසය තුළ තම අනන්‍යතාව නොමඳව සටහන් කළ, රසික හදවත් දිනාගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකි, සුරාජ් මාපා. එකල ‘ඕලු’ ටෙලි නාට්‍යයේ ‘අසංක’ ලෙස තරුණ සිත් මන්මත් කළ ඔහු, කාලයෙන් කාලයට වෙනස්ම මාදිලියේ චරිත තෝරා බේරා ගනිමින් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණීමට රුචිකත්වයක් දක්වන්නෙකි.


නර්තන ක්ෂේත්‍රය තුළද අද්විතීය සලකුණක් තැබූ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක් ලෙසත් සුරාජ් මාපා හඳුන්වා දිය හැකියි.


මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වන නවතම ටෙලි නාට්‍ය නිර්මාණයක් වන ‘ජැෆ්නාදරය‘ හරහාත් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘අසංධිමිත’ ටෙලි නාට්‍යය හරහාත් යළිත් වරක් සිය රංගන පෞරුෂය ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට සුරාජ් සමත්ව සිටියි.


අපි මුලින්ම ‘ජැෆ්නාදරය’ ගැන කතා කරමු නේද?


ප්‍රිසිලා ගොඩහේවාගේ ‘ජැෆ්නාදරය’ කෘතිය ඇසුරෙන් රංග ප්‍රේමරත්න කළ අධ්‍යක්ෂණයක්. ඔහු මගේ හොඳ යාළුවෙක්. එයාගේ පළමුවැනි අධ්‍යක්ෂණයට මට ආරාධනා කළේ. ඒ ආරාධනාව මම ඉතාම කැමැත්තෙන් භාරගත්තා.


කොටස් 100කට වඩා අඩු ටෙලිනාට්‍යවල පමණයි එක්වන්නේ කියන තීන්දුවට අපේ පරම්පරාවේ නළු නිළියන් බොහෝ දෙනෙක් ඇවිල්ලයි තියෙන්නේ. කොටස් ප්‍රමාණය වැඩිවෙන්න වැඩි වෙන්න ටෙලි නාට්‍යයේ ගුණාත්මකභාවය එන්න එන්නම අඩු වෙනවා. මොන තරම් ගිවිසුම්වලට එළැඹුණත් කොටස් කිහිපයක් යද්දි කතාව වෙනත් පැත්තකට යනවා. මුදල් මතමයි පදනම් වන්නේ. කිසිම හරවත් බවක් නැහැ.


ජැෆ්නාදරය ලියැවෙන්නේ අපි පාසල් යන කාලයේ. අද පරම්පරාවට ඒ කාලයේ සිදුවීම් පිළිබඳ කතා කරන කලා කෘතියකට දැනවෙන්න දායක වීම අපේ යුතුකමක්. යුද්ධය සමයේ දෙමළ කෙනෙක් සමඟ සිංහල කෙනෙක් ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නවා කියන්නෙම ලොකු ප්‍රශ්නයක්. අද කාලයේ නම් ආදරයට එතරම් ජාති භේද බලපාන්නේ නැහැ.


‘රමේෂ්’ සහ ‘රුවනි’ යන දෙදෙනාට උදවු කරන්න තමයි මම මේ කතාවේ හැටියට උත්සාහ කරන්නේ. කලබල නොවී ප්‍රශ්නයක් දෙස පුළුල්ව බලන්නට සිතන, පොළොවේ පය ගහලා ඉන්න රජයේ සේවකයෙක් ලෙස, ගොඩක් සම්බන්ධකම් තියෙන කෙනෙක් විදිහට, ප්‍රේමයට සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි හැමවිටම හිතන්නේ. මෙහි සිටින අනෙකුත් චරිත හැමවිටම කලබල වී ප්‍රශ්න විසඳන්න උත්සාහ කරද්දී, විජිත් බොහෝම නිවිච්ච විදිහට, බුද්ධිමත් විදිහටයි ප්‍රශ්නයට විසඳුමක් හොයන්න බලන්නෙ.


දෙවනුව ‘අසංධිමිත’ ටෙලි නාට්‍ය ගැනත් කතා කරමු ද?


මෙය ශලනි තාරකා පිටපත ලියූ, නවක අධ්‍යක්ෂවරයකු වන ශාන් ජයරත්නගේ නිර්මාණයක්. එහිදී ගෘහස්ථ හිංසනය ගැනයි කතා කරන්නේ. ගෘහස්ථ හිංසනය දරුවන්ට කුමන අන්දමින් බලපාන්නේද යන්න කතා කරන හරවත් නිර්මාණයක්. මෙහිදී අපි නිර්මාණය කරන චරිතයට වඩා, එම නිර්මාණය සමාජයට කොතරම් වැදගත් පණිවිඩයක් රැගෙන යන්නේ ද කියන කරුණ පිළිබඳත් කලාකරුවකු ලෙස සිතන්න පුරුදු වී සිටිනවා.


ඔබව නිතර රඟපානවා අපට දකින්න ලැබෙන්නෙ නැහැ නේද?


මට ලැබෙන චරිතය, නිර්මාණය, මට, සමාජයට කොතරම් වැදගත්ද යන පිළිබඳව සිතන්නට මම පුරුදු වී සිටිනවා. ඒ අනුව නිර්මාණයක් තෝරා ගනිද්දී එහි පිටපත් රචකයා කොයි විදිහේ කෙනෙක්ද යන්නයි මට වැදගත් වෙන්නේ.


ටෙලි නාට්‍යයක පිටපතක් ලිවීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. පිටපතක ඇති දෙබස් හරිම වැදගත්. ඒ දෙබස් සමාජගත වෙනවා. අද ඇතැම් ප්‍රේම කතාවල තියෙන්නේ බාල දෙබස්.


මම රඟපෑ ‘ඕලු’ ටෙලිනාට්‍ය කුමාර කරුණාරත්නගේ ‘ඕලු‘ නවකතාව ඇසුරෙන් ෂර්ලී පී. දෙලංකාවල අධ්‍යක්ෂණය කරන්නේ. එහිදී පාසල් සිසුවියක් සහ ගුරුවරයෙක් අතර අතිවන කතාවක් නිසා කිසිම විටෙක ආදර හැඟීමකින් පාසල් සිසුවිය දෙස බලන්න එපා කියන උපදෙස මට ලැබුණේ. එසේ නොමැති වූ විට දී සමාජගත වන්නේ වැරදි ආදර්ශයක්. ඕලූ පාසල් දිවිය නිම කළ පසුවයි ගුරුවරයා අතර ඇති අනුකම්පාව ප්‍රේමයක් බවට පත්වන්නේ. ‘ඕලු’ නාට්‍යයේ සාර්ථකත්වයට හේතු වූයේත් එයයි. පිටපත් රචකයා තමන්ගේ වගකීම අකුරටම ඉෂ්ට කරලා තිබෙනවා.


මම පිටපත් රචකයා කෙරෙහි විශ්වාසය තබා නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ ඒ නිසයි. හේතුව තමයි ප්‍රේක්ෂකයෝ දකින්නේ අපව. සියලු විවේචන එල්ලවන්නේ අපට.


දැන් බොහෝ ටෙලි නාට්‍ය සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන්නේ. බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ සමාජ මාධ්‍ය හරහාම ඒවා නරඹන්න. වීව්ස් වැඩි කරගන්න, ලයික්ස් වැඩි කරගන්න කියල හිතලා වැරදි දෙයක් සමාජගත වෙන්න බැහැ. මම නිතර ⁣දකින්න නැත්තෙත් ඔය නිසයි.


කොහොමද ඔබේ නර්තන කටයුතුවල වත්මන් තත්ත්වය?


මගේම නර්තන ප්‍රසංගයක් මේ වසර ඇතුළත කරන්නයි හිටියේ. නමුත් ‘දිට්වා’ තත්ත්වය නිසා ඊට විවිධ බාධා එල්ල වුණා. එය ලබන වසරේ මුල පවත්වන්නයි සැලසුම් කරන්නේ.


පැපිලියානේ තියෙන මගේ නර්තනායතනයේ කටයුතු මේ දවස්වල හොඳින්ම පවත්වා ගෙනයනවා. එහි ලතින් අමෙරිකානු, හිපොප්, බොලිවුඩ් නර්තනයන්, උඩරට, භරත… මේ හැමදේම කෙරෙනවා. ඒ සඳහා වෙන වෙනම ප්‍රවීණ ආචාර්යවරුන් සිටිනවා. අපේ දරුවෝ ජාත්‍යන්තර මට්ටමේ නර්තන තරග සඳහා ගෙනයන්නටයි පුහුණුවීම් කෙරෙන්නේ.


මේ සියල්ල අතරේ ඉදිරි කලා කටයුතු සිදුවෙන්නේ කොහොමද?


මගේම ටෙලි නාට්‍යයක අධ්‍යක්ෂණයකට සූදානම් වෙනවා. මගේ කතාවකට අනුව එහි තිර පිටපත මේ දිනවල යාළුවෙක් ලියනවා. යම් ප්‍රමාණයක් දැනටමත් ලියැවිලයි තියෙන්නේ. මම රඟපාමින් අධ්‍යක්ෂණය කරනවා. තව මාසයක් දෙකක් ඇතුළත නාට්‍යයේ රූගත කිරීම් පටන්ගන්නවා. මේ මගේ දෙවැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. මීට පෙර ‘නොනිමි’ ටෙලිනාට්‍යය අරුණ ප්‍රේමරත්නගේ පිටපතකට අනුව මමයි චන්දන ජයසිංහයි එක්ව අධ්‍යක්ෂණය කළා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post