ඉදිරියේදී මාව වැඩිපුරම දකින්න ලැබෙන්නේ සිනමාවේ -සෙනාලි ෆොන්සේකා

gossiplanka image 1
ස්වාධීන රූපවාහිනී නාළිකාවේ මේ දිනවල විකාශය වන ‘මල් බිඟුන්’ ටෙලි නිර්මාණයේ සාන්විගේ (පොඩ්ඩි) චරිතයට පණ පොවන සෙනාලි ෆොන්සේකා ටෙලි තිරය මත අපට හමුවන්නේ වසර කිහිපයකට පසුවය. මව නොමැති නි‍ෙවසේ පියාගේ ආදරණීය උණුසුමේ හැදෙන ගැහැනු ළමයින් තිදෙනකු අතරින් දෙවැනියා වන සාන්වී නොගැළපෙන ප්‍රේමයක පැටලී මානසික පීඩා විඳින තරුණියකි. එවන් මානසිකත්වයක සිටින යුවතියකගේ භූමිකාවක් රඟදැක්වීමට ලැබුණු අවස්ථාව තම රංගන ජීවිතයට ලැබුණු සුවිශේෂී අත්දැකීමක් බව පවසන සෙනාලි සාන්විගේ චරිතයට ඉතාම කැමැත්තෙන් සම්බන්ධ වූ බවද පැවසුවාය. බොහෝ කලකින් ටෙලි තිරයේ ලැබූ අත්දැකීම පිළිබඳ කතා කිරීමට සෙනාලි අපේ කතාබහට එක්වූවාය.


මේ දිනවල ඔබ ‘මල් බිඟුන්’ ටෙලි නිර්මාණයේ සාන්වී ලෙසින් ප්‍රේක්ෂකයන් හමුවට එනවා. කාලෙකට පස්සේ පුංචි තිරයේ ලැබූ අත්දැකීම ගැන මොකද හිතෙන්නේ ?


මං ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ අවුරුදු තුනකට පස්සේ. ඒ සඳහා මට ආරාධනා ලැබෙන්නේ අධ්‍යක්ෂ හසුන් සමීරගෙන්. ඔහු සාන්වි කියන චරිතය ගැන කියද්දිම මට හරි ආස හිතුණා. සාන්වි කියන්නේ ටොක්සික් රිලේෂන්ෂිප් එකක අතරමං වුණු යුවතියක්. තමන්ව හිර කරන, මොන දේ කළත් වැරැදි විදිහට දකින, සැක හිතන, නීති දාන, තමන්ට වදයක් වන ප්‍රේම සම්බන්ධයක් නිසා මානසිකව විඳවන තරුණියකගේ අත්දැකීමක් නිරූපණය කරන්න ලැබීමම තමයි මං මේ චරිතය භාරගන්න ප්‍රධානම හේතුව වුණෙත්. ඒක තමයි මේ චරිතය ඇතුළේ කතාකරන්න දෙයක් තියෙනවා වගේම බලන ප්‍රේක්ෂකයාට කියන්න දෙයක් තියෙනවා කියල මට දැනුණ තැන. මම ඇත්තටම කතා කරන්න කැමති වුණු තැන. විවිධ චරිත කරල තිබුණට මට මේ වගේ චරිතයක් කරන්න ලැබුණු පළමුවැනි අවස්ථාව. ඒ වගේම තවත් පැත්තකින් මම මේකට කැමැතියි. එපිසෝඩ් ගාන අඩු නිසා කතාවේ මුල, මැද සහ අවසානය ප්ලෑන් කරලා කතාව ලස්සනට ගලාගෙන යන විදිහට හදල තියෙනවා. පෞද්ගලිකව හසුන් සමීර එක්ක වැඩකරන්නත් මට ආසාවක් තිබුණා. ඒ හැම දෙයක් ගැනම සලකලා තමයි මං මේ චරිතය භාරගත්තේ.


මෙගා රැල්ලත් එක්ක යද්දි සීමිත කොටස් සංඛ්‍යාවකින් සමන්විත ටෙලි නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?


‘මල් බිඟුන්’ ගංගා ශයිනි ගමගේගේ මල් බිඟුන් නවකතාව ඇසුරින් නිර්මාණය වුණු හරි ලස්සන ටෙලි නිර්මාණයක්. සීමිත කොටස් සංඛ්‍යාවක් වුණාම චරිතයේ මුල, මැද, අග කියන සියල්ලම අපි දන්නවා. ඒ නිසා කතාව අවසානය දක්වා හරි ලස්සනට ගලාගෙන යන විදිහට හැමදේම ප්ලෑන් කරගන්න පුළුවන්. ඒ නිසා චරිතයට හොඳින් සූදානම් වෙන්නත් කාලය සහ අවස්ථාව තියෙනවා.


අධ්‍යක්ෂ හසුන් සමීර එක්ක වැඩ කරන පළමු අවස්ථාව නේද?


ඔහුත් එක්ක කලින් වැඩ කරලා නොතිබුණාට ඔහු ගැන අහලා තිබුණා. ඒ වගේම ඔහුගේ නිර්මාණ දැකලා තිබුණා. පහුගිය දවස්වල ගොඩක්ම ජනප්‍රිය වුණු ‘රට පවුල‘ත් ඔහුගේ නිර්මාණයක්. එහි හොඳ කතා තේමාවක් තිබුණා. ඒ නිසා ඔහුගේ අධ්‍යක්ෂණයන් ගැන පැහැදිලිවම සෑහීමකට පත්වෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. ඒ හැමදේම නිසයි හසුන් සමීරගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න කැමැත්තක් ඇතිවෙන්නේ. ඒ වගේම රංගනයෙන් දායක වන අනෙක් නළු නිළියන් ගැනත් ලොකු පැහැදීමක් ඇති වුණා.


වසර කිහිපයකින් ටෙලි නිර්මාණයකට සම්බන්ධ වීම නිසා කණ්ඩායමෙන් ලැබුණු සහයෝගයේත් වටිනාකමක් දැනෙන්න ඇති?


ඇත්තටම ඔව්. අධ්‍යක්ෂ හසුන් සමීර එක්ක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ඔහු ඒ චරිතය ගැන පහදලා දීලා ඒ චරිතය ඔහු දකින විදිහ වගේම මේක නවකතාවක් ඇසුරින් කෙරෙන නිර්මාණයක් නිසා විශේෂයෙන්ම රචිකාවියගේ අදහසත් විමසලා තමයි චරිතයට සූදානම් වුණේ. ගොඩක් වෙලාවට අපි ටෙලි නිර්මාණයක් කරද්දී චරිතයක මූලික අදියර ගැන විතරනේ කතා කෙරෙන්නේ. ඒ චරිතය ගොඩනැඟෙන්නේ කොහොමද? අවසානය මොකද වෙන්නේ කියන එක කතාකරනවා අඩුයි. නමුත් මේ නිර්මාණයේදී චරිතයේ මුල, මැද වගේම අවසානය කොහොමද වෙන්නේ කියන එක ගැනත් ගංගා අක්කත් එක්ක කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ ඔස්සේ චරිතය ගොඩනඟාගන්න පහසු වුණා. නවකතා පොත් කියවන්න තියෙන ආසාවත් එක්ක ඇයගේ රසිකාවියක් විදිහට නවකතා පොතත් කියවනවා. එතැනින් එහාට ඔවුන් දෙදෙනාගේ හිත්වල මේ චරිතය ගොඩනැඟිල තියෙන විදිහ අනුව තමයි චරිතයට සූදානම් වුණේ. ඒ සඳහා ලොකු කාලයක් සහ අවස්ථාවක් තිබීමත් වාසියක් වුණා. මගේ තාත්තා විදිහට රඟපාන චන්දික අයියාගෙනුත් ලොකු සහයක් ලැබුණා. නිපුණි සහ තීක්ෂණ එක්ක මං කලින් වැඩ කරලා තිබුණා. සුහන්දි එක්ක වැඩකළ පළමු අවස්ථාව වුණත් අපි අතරේ ලොකු ළෙන්ගතුකමක් ඇති වුණා. අපි හැමෝම සහෝදරත්වයකින් සතුටෙන් සහ විනෝදයෙන් වැඩ කරගෙන යනවා.


අධ්‍යක්ෂ හසුන් සමීර කියන්නේ ටිකක් වෙනස් විදිහකට රංගන ශිල්පීන් හසුරුවන අධ්‍යක්ෂවරයෙක්. ඒ ගැන මොකද හිතෙන්නේ?


හසුන් වැඩකරන විදිහට මමත් හරිම කැමැතියි. ඔහු ගොඩක් සංගීතය එක්ක ඉන්න කෙනෙක්. ඒ චරිතයට, ඒ අවස්ථාවට හැඩගැහෙන්න සංගීතය කියන දේ ඔහු ලොකුවටම භාවිත කරනවා. ඒ ඒ සීන් එක මිනිසුන්ට දැනෙන්න දෙන්න ඕන කොහොමද? ඒ ඒ මූඩ් එකට මොන වගේ මියුසික් එකක්ද දෙන්න ඕන කියන එක ඔහු මුල ඉඳන්ම හිතනවා. ඒ හැඟීම අපට දෙන්න ඔහු සංගීතය භාවිත කරනවා. සමහර වෙලාවට අපිටම හිතාගන්න බෑ අපි ඒ සීන් එක කරලා ඉවරද කියලත්. ඔහු අධ්‍යක්ෂණය කරන විදිහත් එක්ක අපි ඇත්තටම ඒ චරිතය තුළ ජීවත්වෙනවා කියන හැඟීමක් එනවා. ඒ විදිහට ඔහු හරිම ලස්සනට චරිත ගොඩනඟනවා. ඒකට මං හරි ආසයි. දෙයක් කරද්දි ඔහුගේ හිතේ පැහැදිලි දර්ශනයක් තියෙන නිසා ඔහුත් එක්ක වැඩ කරන්න හරිම පහසුයි.


සාන්වී කියන චරිතය සෙනාලිගේ ජීවිතයට කොතරම් දුරට බලපෑමක් ඇති කළාද?


ගැහැනු ළමයෙක් විදිහට මගේ පෞද්ගලික ජීවිතෙත් මම මගේ තාත්තට ගොඩක් සමීපයි. සාන්විත් එහෙම චරිතයක්. අපේ චරිත වගේම මේ නිර්මාණය ඔස්සේ ගත්තොත් ගෑනු දරුවෝ ඉන්න තාත්තා කෙනෙකුට තියෙන වගකීම, ඔවුන්ව තේරුම් ගැනීම, ඔවුන් ආරක්ෂා කරගැනීම කියන කාරණාත් එක්ක තාත්තට ගොඩක් සමීප දුවෙක් විදිහට මටත් ඒක ගොඩක්ම දැනුණා.


සාන්විට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරනවානම්?


ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. මම මෙතෙක් කරපු හැම නිර්මාණයකටම ඉහළම ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. ‘මල් බිඟුන්’ නිර්මාණයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


ඇත්තටම මමත් මේ නිර්මාණයට මේ තරම් ආදරයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ ගැන හරිම සතුටුයි. ඔවුන්ගේ ආදරය කොතෙක්ද කියනවා නම් ඊළඟ පරිච්ඡේදය එනකල් ඉන්නෙ හරිම උනන්දුවෙන්. ඒ වගේ ආදරයක් ලබන්න රංගන ශිල්පීන් විදිහට අපිත් හරිම වාසනාවන්තයි.


දැන් නැවතත් ඔබට පුංචි තිරයට ආරාධනා ලැබෙනවාද?


ටෙලි නිර්මාණවලට නිරන්තරයෙන්ම ආරාධනා ලැබෙනවා. නමුත් මම ඒවා භාරගන්නේ ගොඩක් හිතලා බලලා. ටෙලි නිර්මාණයක් වුණත් චිත්‍රපටයක් වුණත් කලින් කරපු නැති වෙනස් චරිතයක් නම් විතරයි භාරගන්නේ. මං නිතරම උත්සාහ කරන්නේ වෙනස් තේමාවක් ඔස්සේ යන වෙනස් චරිතවලට සම්බන්ධ වෙන්න. මෙතෙක් මෙගා ටෙලි නිර්මාණ දෙකකට විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒවා වුණත් එකිනෙකට වෙනස්. නොගැළපෙන ආදරයක පැටලිලා මානසිකව විඳවන ගැහැනු ළමයකුගේ සැබෑ තත්ත්වය ‘මල් බිඟුන්‘හි සාන්වීගේ චරිතය ඔස්සේ පෙන්වන්න පුළුවන් වුණා කියලා හිතනවා. අපි බලාපොරොත්තු වුණු විදිහටම මිනිස්සුත් ඒ දේ භාරගත්තා වගේම ප්‍රතිචාරත් දක්වලා තියෙනවා.


මේ දිනවල සිනමාව පැත්තෙනුත් සෙනාලිගෙ නම කියවෙනවා. ඒ ගැනත් කතා කරමු?


මම කාලයක් තිස්සේ ඉඳන්ම සිනමා නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා. මේ වෙද්දි සිනමාපට හයක් විතර තිරගත වෙන්න තියෙනවා. ඒ අතරින් ඉක්මනින්ම ප්‍රේක්ෂකයා අතරට එන්නේ අපි බොහෝසේ ආදරය කරන ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවආරච්චිගේ ජීවිත කතාව ඇතුළත් ‘එදා රෑ ‘ සිනමා නිර්මාණය සැප්තැම්බර් 18 ඉඳන් තිරගත වෙනවා. ඔහු ගායනයට පිවිසි මුල් අවධියේ ඔහුට උදවු කළ, ඔහුට ශක්තියක් වුණු ඔහුගේ ප්‍රථම ප්‍රේමය වුණු ‘ඇනට්‘ කියන චරිතයටයි මම පණ පොවන්නේ. ඒ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම මගෙත් ලොකු වාසනාවක්. ඒක මටත් සුවිශේෂීයි. මීට අවුරුදු කිහිපයකට පෙර නිර්මාණය වුණු ජැක්සන් ඇන්තනීගේ ‘එකගෙයි සොකරි‘ සිනමාපටයත් නොවැම්බර් මාසෙ එන්න තියෙනවා. එතැනින් එහාට වීදි සුනඛයකුගේ කතාවක් ඇසුරින් නිර්මාණය වුණු ඉසුරු මුදලිගේ ගේ ‘CoCo‘ චිත්‍රපටය එන්න තියෙනවා. ඉදිරියේදී මාව වැඩිපුරම දකින්න ලැබෙන්නේ සිනමාවේ.


ඔබත් බොහොම කාර්යබහුල කෙනෙක්. වැඩිපුර කලාවට තැනක් දීම ව්‍යාපාර කටයුතුවලට ගැටලුවක් වෙන්නෙ නැද්ද?


මම කැමතිම තැන කලාව. මම හරි නිදහස් චරිතයක් වෙන්නේ, මම මම වෙන්නෙ සෙට් එකක කැමරාවක් ඉදිරියේ. අපි නිර්මාණයක් ගොඩනඟන විට එක පවුලක් වගේ සෙට් එකක ගත කරන කාලය හරිම සුන්දරයි. මම ඒකට හරිම ආසයි. සමහරු මගෙන් අහනවා නිළියක් වෙන්න කැමැති ලැබෙන වරප්‍රසාද නිසාද කියලත්. නැහැ මම කැමැති ඒ නිර්මාණය ගොඩනැඟෙන පිළිවෙළට. නිර්මාණයක් සඳහා කැමරාව ඉදිරියේ ඉද්දි දැනෙන හැඟීමට මම හරිම ආසයි. ප්‍රේක්ෂක ආදරයටත් ගොඩක්ම කැමැතියි.


කලා නිර්මාණවලට වැඩිපුර දායක වෙනවා කියන්නේ සෙනාලි ඉදිරියේදී වැඩිපුරම ඉන්නේ ලංකාවේ කියන එකද?


මම එදා ඉඳන්ම ලංකාවේ ජීවත් වෙන්න කැමැති කෙනෙක්. ඒක මං හැමදාම කියන කතාවක්. එංගලන්තයේත් මට ඉටුකරන්න වගකීම් තියෙන නිසා නිතර ඒ රටටත් ගිහින් එන්න සිද්ධ වෙනවා. නමුත් මං වැඩිපුර ඉන්න කැමැති ලංකාවේ. ලංකාවට මං ගොඩක් ආදරෙයි. මගේ කියන හැඟීම මට දැනෙන්නේ ලංකාවේදී. රටවල් දෙකේම සම්බන්ධය පවත්වා ගනිමින් ඉදිරියේදී කලා කටයුතුවලටත් සම්බන්ධ වෙමින් ජීවිතේ සමබරව ගෙනියන්නයි බලාපොරොත්තුව.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post