චරිතය ගැළපෙනවා නම් සම්බන්ධ වීමයි මගේ පිළිවෙත -සුදත් ඇන්තනි

gossiplanka image 1
 


දෙවෙනි ඉනිම තුළින් රංගනයේ දෙවැනි ගමන ඇරඹූ රංගන ශිල්පි සුදත් ඇන්තනි , විවිධ හැඩයන්ගෙන් යුත් සිනමා – ටෙලි රංගන කාර්යයන් රැසකටම පසුගිය සමයේ දායක වුණි. එකී නිර්මාණ අතරේ මූලිකවම ටෙලිනාට්‍ය 04ක් වෙයි. ඔහු මේ දිනවල ඉතාලියේ සංචාරයක නිරතව සිටින අතරේ තමන් රංගනයෙන් දායක වූ එම නිර්මාණ ගැන කතාකරන්නට අප හා එක්වූයේ සතුටු සිතිනි.


“මේ වනවිට විකාශයට නියමිත ටෙලිනාට්‍ය හතරකට පසුගිය කාලයේ මම දායක වුණා. ඒ විවිධ හැඩතලයන්ගෙන්, විවිධ කතා තේමාවලින් යුක්ත විවිධ චරිත හතරක් කීවොත් නිවැරදියි. පාසලක සිදුවන කතා පුවතක් කේන්ද්‍ර කරගනිමින් තීක්ෂණ මනරම් අධ්‍යක්ෂණය කළ ටෙලි නිර්මාණයක විදුහල්පතිවරයකුගේ භූමිකාව රඟපෑවා. මෙය මම මීට පෙර රඟනොපෑ චරිතයක්. අනෙක් නිර්මාණයේ මගේ භූමිකාව සුදු හැඳගත් ප්‍රබල දේශපාලනඥයකුගේ චරිතයක්. සුදු ඇන්ඳට ඔහු කරන්නෙ තනිකරම කළු වැඩ. එය මට අභියෝගයක් වුණා. එසේම පාලනය කරගත නොහැකි මත්දුව්‍ය ව්‍යාපාරය තේමා කරගත් කතා පුවතක මා රඟපෑවා. රජයට ඔත්තු සපයන පෞද්ගලික ඉන්ටලිජන් සේවාවක ප්‍රධානියෙක් ලෙස එහි මා රඟපෑවේ. එය මත්ද්‍රව්‍ය වෙළෙඳාමට හවුල් පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර දෙන චරිතයක්. මෙය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ රංගන ශිල්පියකු, සටන් අධ්‍යක්ෂවරයකු වන සේනක විජේසිංහයි. එසේම පාරම්පරික වෙද්‍යවරයකුගේ චරිතයක් රැගත් ‘පුංචි බණ්ඩා වෙද මහතා’ ලෙස ‘සකාලි’ ටෙලිනාට්‍යයටත් රංගනයෙන් දායක වුණා. එහි තිර රචනය සහ අධ්‍යක්ෂණය තුෂාරි අබේසේකරගේ. විවිධාකාර හැඩයෙන් යුත් ඒ චරිත හතරෙහි මගේ රංගනය ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුළුවන්. ඒ චරිත හතර පිළිබඳව මගේ තිබෙන්නේ හරිම සුබවාදී සිතුවිල්ලක් කීවොත් නිවැරදියි. වෙනස් වෙනස් අත්දැකීම් දෙන චරිත හතරටම මම කැමැතියි. චරිතයක් නිරූපණයට මම යන්නේ මගේ කැමැත්ත අනුවයි. ඒ අතරින් මගේ යම් විශේෂ කැමැත්තක් තිබුණ චරිතයක් තමයි ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක් , තිර රචිකාවක් වන තුෂාරි අබේසේකරගේ අධ්‍යක්ෂණයෙන් යුත් ‘සකාලි’ ටෙලි නාට්‍යයේ ‘පුංචි බණ්ඩා වෙද මහතා’ගේ චරිතය. ඒක හරිම සංවේදී කතා පුවතක්. තුෂාරිගේ ඒ රචනයට සහ දෙබස්වලට මම හරිම ප්‍රියයි. එනිසා එය මම බොහෝ කැමැත්තෙන්, ආසාවෙන්, කැපවීමෙන් රඟපෑ චරිතයක් . එයින් අදහස් කරන්නේ නෑ මා රඟපෑ අනික් චරිතවලට අකැමැතියි කියලා.”


රංගන කාර්යයේදී අධ්‍යක්ෂවරයා සමඟ තමන්ගේ නිර්මාණාත්මක ගනුදෙනුව ගැන පවසන්නට ද ඔහු අමතක නොකළේය.


“අධ්‍යක්ෂවරයා සමඟ මගේ සම්බන්ධය කවරාකාර ද කියන කරුණ අතිශය වැදගත්, වටිනා දෙයක්. ඒ සබඳතාව හරිම ප්‍රබල විය යුතුයි කියා මම සිතනවා . අධ්‍යක්ෂවරයාගේ සිතේ මැවෙන ඒ චරිත පිළිබඳ චිත්තරූපය කොයි ආකාර ද කියලා මම අධ්‍යක්ෂ හෝ අධ්‍යක්ෂවරිය සමඟ ලොකු සංවාදයකට යනවා. එහිදී මට දැනගන්න ලැබෙනවා මොන විදිහේ හැඩතලයකින් යුත් චරිතයක් ද අධ්‍යක්ෂ මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒක තමයි අපි වටහාගත යුත්තේ. අපි ඒ චරිතය ගොඩනැඟීමට මහන්සි වෙන්න ඕනේ. එය මම ප්‍රායෝගිකව අත්දැකීමෙන් දන්නා සහ විශ්වාස කරන දෙයක්. අධ්‍යක්ෂවරයා හරහා මම චරිතය කියවාගෙන රංගනයට පිවිසෙනවා නම් එය සාර්ථකව කරගත හැකියි.”


සිනමාව තුළ සුදත්ගේ භූමිකාව ගැන ඔහුට තිබුණේ මෙවැනි කියවීමකි.


“මම මුලින්ම සිනමා නිර්මාණයකට දායක වන්නේ විශිෂ්ට සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටයට. මිදුණු විශ්වයෙන් පසු සුදේශ් වසන්ත පිරිස්ගේ ‘සීරුවෙන්’ චිත්‍රපටයටත් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘ක්ෂීර සාගරය කැලඹිණ’ හි කරත්තකරුවකු ලෙසත් සිනමාවට මගේ දායකත්වය ලබා දී තිබෙනවා. මේ දිනවල සාරංග මෙන්ඩිස්ගේ ‘කල්පනා’ චිත්‍රපටය තුළත් මගේ රඟපෑම් දැකගන්න ලැබෙනවා”


තිර පිටපත් රචකයකු, නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂවරයකු ලෙස සුදත්ගේ භූමිකාව කෙසේදැයි යන්න විමසූ විට ඔහු ලබා දුන්නේ වෙනස්ම පිළිතුරකි.


“මගේ පොඩි අයියා ජැක්සන් ඇන්තනි නිතරම කියූ දෙයක් තමයි “සුදත් මේක මන්තරයක් වගේ කටපාඩම් කරලා තියාගනින්. කිසිවක් සිදුවී අවසන් වන්නේ නැත. සියල්ල සැමවිටම සිදුවෙමින් පවතින්නේය.” එය මට කවදාවත්ම අමතක වෙන්නේ නැති කතාවක්. ඒ නිසා අපි ඉදිරියට බලමු. මගේ හීනයක්ව තිබූ සිනමාව තුළ ඉදිරියේදී නිර්මාණ දෙකකින් මාව දැක ගන්න ලැබේවි. ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ , ලාලින්ද විජයවික්‍රම තිර රචනය ලියා නිෂ්පාදනය කළ ‘ආලෝකා’ චිත්‍රපටයේ ධීවරයකු ලෙස මම ප්‍රේක්ෂකයා අතරට එනවා. පිටපත ගැන බොහෝ සාකච්ඡා කර, ඒ චරිතය ඉතා කැපවීමෙන්, ලෝභකමින්, ආසාවෙන් කළ චරිතයක්. එසේම මට ලොකු අභියෝගයක් වුණා ජයන්ත චන්ද්‍රසිරි පිටපත ලියා අධ්‍යක්ෂණය කළ ‘සමහරු සහ සමාගම්’ හි ‘ඩිංගි නිලමේ’ චරිතය . ‘ඩිංගි නිලමේ’ තමයි සිනමාවේ මට මෙතෙක් ලැබුණු අභියෝගාත්මකව චරිතය. මේ නිර්මාණ දෙක තුළින් මෙරට ප්‍රේක්ෂකයා මා දෙස වෙනත් ඇසකින්, වෙනස් කෝණයකින්, වෙනස් සිතුවිල්ලකින් බලාවි කියන විශ්වාසය මා තුළ තිබෙනවා.“


කුඩා අවධියේ නිවෙසේ තිබූ කලා ආභාසය සහ සහෝදරයන්ගේ මඟපෙන්වීම තුළින් සුදත් ඇන්තනි රංගන කාර්යයට පෙලඹී තිබේ. ඉන් වසර ගණනාවකට පසු සාරංග මෙන්ඩිස්ගේ ආරාධනයකට අනුව ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යය තුළින් සුදත් පුංචි තිරයට පැමිණ තිබේ. ඒ ඔහුගේ රංගනයේ දෙවැනි ගමනයි. ඒ තුළින් රංගනයට දැඩි ආදරයක් සුදත් තුළ ඇති විය.ඒ ආදරයත් සමඟ ඔහුගේ ගමන් මාර්ගයම වෙනසකට ලක්වෙයි. එතෙක් ඉතාලියේ පදිංචිව සිටි සුදත්, ලංකාවේ වැඩි කලක් වාසය කිරීමට ගත්තේය. එනිසාම විවිධාකාරයේ චරිත නිරූපණයන්ට අවස්ථාව ලැබීමත් සමඟ රංගනවේදියකු ලෙස ඔහු පිළිබඳ ප්‍රේක්ෂක කතාබහට ලක්වෙමින් සිය අනන්‍යතාව ගොඩනඟා ගැනීමට හැකි වූ බව සුදත්ගේ විශ්වාසයයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post