ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන ‘අලුත් සර්’ ටෙලිනාට්‍යයේ ‘චාරුනී‘ ගේ චරිතයට පණ පොවන්නේ ක්ෂේත්‍ර කිහිපයකම දක්ෂතා දක්වන ප්‍රවීණ ශිල්පිනියක වන ටානියා විශානි මුණසිංහ. අද අපේ කතා නායිකාවයි.
‘අලුත් සර්’ ටෙලිනාට්‍යයට ඔබට ඇරයුම් ලැබෙන්නේ කොහොමද?
ඉම්පාස් ප්‍රඩක්ෂන් ආයතනයේ අලුත් සර් ටෙලිනාට්‍යය සඳහා ඔඩිෂන් තිබුණා. ‘අලුත් සර්‘ නාට්‍යයේ අධ්‍යක්ෂතුමා වුණේ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන සුපුන් රත්නායක මහත්මයා. එතුමා මාව අහම්බෙන් දැනගෙන මට කිව්වා ඔඩිෂන් එකක් තියෙනවා පුළුවන් නම් ඇවිත් බලන්න කියලා. ඔහුගේ දක්ෂතාවය නිසාම මට ලොකු ආශාවක් තිබුණා ඔහුගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න. ඒ නිසාම මම එදා දවසේ තිබුණ මගේ ෂූටින් එකක් කැන්සල් කරලා ඒකට ගියා. ‘අලුත් සර්‘ නාට්‍යයේ තිර රචක සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මා, එහි නිෂ්පාදකතුමිය වන චේතානි විජේතුංග මහත්මිය සහ අධ්‍යක්ෂ සුපුන් රත්නායක මහත්මයා තමයි විනිශ්චය කරන්න හිටියේ. මීට පෙර ඇක්ට් කරලා අත්දැකීම් තිබුණත් ඒ වෙලාවේ නම් පොඩි බයකුත් ඇති වුණා. ඔඩිෂන් එකට 80 පමණ පිරිසක් සහභාගි වෙලා හිටියා. ඒ අතරින් තමා මාව තෝරගෙන තිබුණේ. මගේ දක්ෂතාව පෙන්වලා නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබීම සතුටක්.
එහි ඔබ නිරූපණය කරන චරිතය ගැන මුලින්ම මොකද හිතුණේ?
මම නිරූපණය කරන්නේ චාරුනීගේ චරිතය. හංසිගේ හොඳම යෙහෙළිය. ඒ වගේම ආදරණීය අක්කලා දෙන්නෙක්ගේ දඟකාර දඩබ්බර නංගී කෙනෙක් මම. ඒ චරිතය හරිම සෙල්ලක්කාර චරිතයට මම හරිම කැමතියි.
ඒ චරිතය වෙනුවෙන් විශේෂ සූදානමක් වුණාද?
ඔව්. මගේ චරිතය ගැන අධ්‍යක්ෂතුමා එක්ක කතා කළා. ඔහු විස්තර කරපු විදිහට ඒ චරිතය නිරූපණය කරන්න මම නිතරම උත්සාහ කළා සහ උත්සාහ කරනවා.
ප්‍රවීණ වගේම නවක නළු නිළියන් රැසක් එක්වන ‘අලුත් සර්’ රූගත කිරීම් තලයේ අත්දැකීම් මොන වගේද?
අලුත් සර් ලොකේෂන් එකට ගියාම ප්‍රවීණ, නවක කියලා වෙනසක් නෑ. ඒ හැම කෙනෙක්ගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. හැම කෙනෙක්ම හරිම ආදරණීයයි. ඒ වගේම අපේ අධ්‍යක්ෂතුමා සුපුන් රත්නායක මහත්මයා. ඔහු ඉතාමත් දක්ෂ ලෙස අපව හසුරවනවා. ඒ වගේම සෙට් එකේදී ඔහු හොඳ ගුරුවරයෙක්. මම රංගනය පිළිබඳව ඔහුගෙන් ඉගෙනගත් කරුණු කාරණා බොහොමයි. ඒ ගෞරවය හැමදාම ඔහුට තියෙනවා. කැමරා අධ්‍යක්ෂ නලින්ද වික්‍රමසේකර මහත්මා ඇතුළු මුළු කණ්ඩායමම හරිම ආදරණීයයි. අලුත් සර් ලොකේෂන් එක කියන්නේ මටනම් කෙටියෙන් කිව්වොත් වෙනම සුන්දර ලෝකයක්.
මේ චරිතය වෙනුවෙන් අද වනවිට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
සමාජ මාධ්‍යවල කමෙන්ට්ස් බැලුවොත් නම් වැඩිපුරම තියෙන්නේ බැණලා. නමුත් මම ඒකට සතුටු වෙනවා. ඒ චරිතයට මම සාධාරණයක් ඉටු කරනවා කියලා. ඒ චරිත ස්වභාවය අනුව බලන ඕනම කෙනෙක්ට වැඩිපුරම හිතෙන්නෙ බණින්න. මඟ තොටේදිත් මම බලාපොරොත්තු නොවුණු විදිහට බොහෝ ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා. ළඟටම ඇවිත් අලුත් සර් එකේ ඔයා ලස්සනට රඟපානවා කියද්දී හරිම සතුටක් දැනෙනවා.
ඔබට ලැබුණු අමතක නොවන ප්‍රතිචාරය මොකක්ද?
අලුත් සර් නාට්‍යයේ පොඩි අක්කා (වත්සලා ටීචර්) එක්ක ගහගන්න සීන් එකක් තිබුණා. ඒ කොටස සෑහෙන ප්‍රේක්ෂකයෝ නරඹලා තිබුණා. දවසක් මඟකදී අම්මා කෙනෙකුයි දුවෙකුයි “ඔයා පුතේ නියමෙට අක්කා එක්ක ගහගත්තා. අපේ ගෙදරත් ඒ විදිහම තමයි ” කියලා හිනා වෙවී කිව්වා. ඒ වෙලාවෙ මටත් හිනා ගියා. ඒ ප්‍රතිචාරය නම් මට කවමදාවත් අමතක වෙන්නෙ නෑ.
Mrs. Glam World Asia 2025 කිරුළ වගේම ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ඔබ ලැබුවා. මෝස්තර නිරූපිකාවක සහ රූපරාජිනියක ලෙස ලැබූ ඒ පන්නරය, රංගන ශිල්පිනියක ලෙස කැමරාව ඉදිරියට යද්දී ඔබට උදව්වක් වුණාද?
මගේ ජීවිතයේ නර්තනය , මෝස්තර නිරූපණය සහ ජාත්‍යන්තර රූප රාජිනී තරගවලට සහභාගි වීමෙන් ලබපු ඒ පන්නරය නිසා මම රංගන ශිල්පිනියක් විදිහට කැමරාව ඉදිරියට එද්දී ස්ටේජ් බිය, කැමරා බිය, පිරිස දැක්කම ඇති වෙන බිය හෝ ලැජ්ජාව මට ගොඩක් අඩු වෙලා තිබුණා. හිරු TV එකේ විකාශනය වුණු තරු ආදරේ මගේ පළමු නාට්‍යය. මම ලබාගෙන තිබුණු ඒ අත්දැකීම් නිසා මට රංගනයේදි ලොකු අපහසුතාවලට මුහුණ දෙන්න සිදු වුණේ නෑ.
නර්තනය, මෝස්තර නිරූපණය වගේම දැන් රංගනය. මේ හැම ක්ෂේත්‍රයක්ම සමබරව කරගෙන යන්නේ කොහොමද?
මම හිතන්නේ ඒක මගේ යම්කිසි පෙර පිනකට ලැබුණු දක්ෂතාවන් කියලා. මම හරිම ආසයි මේ ත්‍රිත්වයටම. ඒ වගේම මම කවමදාවත් මට බැහැ කියලා හිතන කෙනෙක් නෙමේ. ඒ සිතුවිලි නිසාම වෙන්න ඇති මේ හැමදෙයක්ම බැලන්ස් එකේ මගේ ජීවිතයේ ගෙනියන්න පුළුවන් වෙලා තියෙන්නේ.
ඔබේ ජීවිතයේ සහ කලා කටයුතුවලදී සැමියාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
අසංග ද සිල්වා මගේ සැමියා. ඔහු මට දෙවි කෙනෙක් වගේ. ටානියා විශානි කියලා නමක් තියෙනවා නම් ඒ ඔහු නිසයි. ඔහු කිසිම දවසක මගේ දක්ශතාවන් මගේ ආශාවන් සීමා කරලා නෑ. මගේ දක්ෂතාවන් වැඩි දියුණු කරගන්න ඔහු තමා මට ගුරු වුණේ. ඒ වගේම මම මගේ සීමාවන් සහ ප්‍රතිපත්ති තුළ වැඩ කරන කෙනෙක්. ඔහු ඒ ගැන හොඳින්ම දන්නවා. ඔහු දෙන්න පුළුවන් උපරිම සහයෝගය මට නිතරම ලබා දෙනවා. ඒ අතින් මම ගොඩක් වාසනාවන්ත බිරිඳක්.