ලද්දුගේ අම්මා සුවිශේෂී චරිතයක් -ශ්‍රියාණි අමරසේන

gossiplanka image 1
 

පාලමකුඹුර හේරත් මුදියන්සේලාගේ ශ්‍රියාණි වීරකෝන් කුමාරිහාමි හෙවත් ශ්‍රියාණි අමරසේන යනු මෙරට ජ්‍යෙෂ්ඨතම රංගනවේදිනියක් බව අවිවාදිතය. සිනමාව, රූපවාහිනිය සහ වේදිකාව එකසේ දික්විජය කළ ඇය බොහෝ කලකට පසු පුංචි තිරය ඔස්සේ අප හමුවට පැමිණ සිටින්නීය. ඒ මේ දිනවල විකාශය වන ‘නටත් අයෙක් සුරා මතින්’ ටෙලිනාට්‍යයේ ලද්දුගේ මවගේ චරිතයෙනි.


ශ්‍රියාණි ඒ ගැන කතාබහට එක්වූයේ මෙලෙසිනි.


“කාලයකට පස්සෙයි මේ ටෙලිනාට්‍යයේ රඟපෑවේ. පසුගිය කාලයේ මට රඟපෑ හැකි හොඳ චරිත ලැබුණේ නැහැ. ලද්දුගේ මවගේ චරිතය විශේෂයි. ඇය ජීවිතය දිහා පුදුමාකාර ලෙස බලන බුද්ධිමත් කාන්තාවක්. මේ අම්මා පුතාට හරිම ආදරෙයි. සූක්ෂ්ම විදිහට පුතාව හදාගන්න බලන මවක්. ඇය ලේළිට කියන්නේ පුතාට කැමැති වෙන්න කියලා නෙවෙයි, කැමැති තීරණයක් ගන්න කියලයි. ඇය අත්දැකීම්වලින් පරිපූර්ණ වූ කාන්තාවක්.”


චරිතයට ආරාධනා ලද අයුරුත් ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා ගැනත් ශ්‍රියාණි කීවේ මෙවැන්නෙකි.


“‘නටත් අයෙක් සුරා මතින්’ ටෙලියේ සහය අධ්‍යක්ෂවරයා තමයි මට ආරාධනා කළේ, මේ වගේ චරිතයක් තිබෙනවා අක්කා කැමැතිනම් කරන්න කියලා. අධ්‍යක්ෂ රොෂාන් රවින්ද්‍රත් තිර රචක රසික සුරවීරආරච්චිත් මේක ලියද්දි මාවම ගන්න ඕන කියා තිබෙනවා. අධ්‍යක්ෂ රොෂාන් රවින්ද්‍ර ගැනත් මම හොඳින්ම දන්නවා. ‘උතුවන්කන්දේ සරදියෙල්’ ටෙලිනාට්‍යයේ ඔහුගේ රඟපෑම් මම දැක්කා. ඒ දැකපු වෙලේ සිට රොෂාන් ඉදිරියට යන්න පුළුවන් කලාකරුවෙක් කියා මට සිතුණා. ඒ වෙද්දි මට ඔහුව හමුවෙලා තිබුණෙත් නැහැ. රොෂාන් චිත්‍රපට රැසකම රඟපෑ දක්ෂ නළුවෙක්. මේ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණයේදීත් ඔහු හරියට මහන්සි වුණා.”


ශ්‍රියාණි අමරසේන වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරියක ලෙස ද නිර්මාණකරණයේ යෙදෙන්නීය.


“‘සෙලෝලයිඩ් ප්‍රේමයක්’ (සිනමාවේ ආදර කතා) වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂණය, පිටපත, නිෂ්පාදනය මගේ. රංගනයෙනුත් මම දායක වෙනවා. පසුගිය සමයේ මෙය වේදිකාගත කළා.”


ලාංකේය සිනමාව තුළ සිය ප්‍රතිභාපූර්ණ රංගනය විශිෂ්ට සිනමා කෘති රැසකට මුසුකිරීමට ශ්‍රියාණි අමරසේන සමත් වූවාය.


‘විරාගය, මහ ගෙදර, කුලගෙය, තරණය, අහසින් පොළොවට, දෑස නිසා’ චිත්‍රපට තුළ ඇගේ භූමිකාව සුවිශේෂීය. ඒ උදෙසා ඇය හොඳම නිළිය, හොඳම සහය නිළිය, හා කුසලතා සම්මාන රැසකට ද හිමිකම් කීවාය.


නිෂ්පාදකවරියක, අධ්‍යක්ෂවරියක ලෙස චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයක්ම ශ්‍රියාණි විසින් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කර තිබේ.


‘කුලගෙය, තරණය’ වැනි චිත්‍රපට ද, ‘දත් කැකුළු පාලා, ඉරබට තරුව, හේමන්තයේ වසන්තයක්, පුෂ්පරාග, මැගී, පෙරළිය’ වැනි ටෙලිනාට්‍ය ශ්‍රියාණිගේ නිෂ්පාදනයන් විය. ‘ජයතුරා සංඛය, රංගන විජිතය, පුෂ්පරාග, පෙරළිය’ ආදී ටෙලිනාට්‍ය ඇගේ අධ්‍යක්ෂණයන් විය. ‘පස්සේ ගෙනා මනමාලි, එක මවකගේ දරුවෝ, මැගී, ස්වයංජාත මුදියන්සේ මාමා, දත් කැකුළු පාලා , ගිරිකුළ ආදි ටෙලි නාට්‍යවල ඇගේ විශිෂ්ට රංගනයන් මෙරට ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳගත් බව නොරහසකි.


‘ගොළුහදවත’ චිත්‍රපටයෙන් සිනමා ගමන ද, ‘ආශීර්වාද’ නත්තල් ඒකාංගික ටෙලිනාට්‍යයෙන් ටෙලි රංගනය ද ඇරඹි ශ්‍රියාණි සිය නිර්මාණ දිවියේ ආරම්භය සිහිපත් කළේ මෙලෙසිනි.


“පාසල් කාලයේ ළමා ගීත නාටකවල රඟපෑවා. ඉස්සර ඉඳන්ම මම කියවීමට හරිම කැමැතියි. සිංහල සාහිත්‍යය මම කැමැතිම විෂය. අපේ ගෙදර පෙට්ටියක දමා පොත් තොගයක්ම තිබුණා. ඉස්සර මම ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ නවකතා නිතරම කියවනවා. ඒ කියවීම තුළින් මට ලිවීමේ හැකියාවත් ලැබුණා. සිරි කුලරත්නගේ ‘රිදී තැල්ල’ තිර පිටපත මම ලිව්වේ. පසුවත් පිටපත් රැසක්ම ලිව්වා. ආචාර්ය තිස්ස අබේසේකර ඒ දවස්වල අපට තිර පිටපත් රචනය උගන්වනවා. ගැඹුරින් කියාදෙනවා, දේශනා පවත්වනවා. එයින් අපි බොහෝ දේ ඉගෙන ගත්තා. දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරිබෑනා ‘හි ‘ගමදුව’ ලෙස මුල්කාලයේ මට ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවෙන්න ලැබුණා. පසුව ‘හිත හොඳ අම්මණ්ඩි, වෙස් මුහුණ, කුස පබාවතී’ වැනි වේදිකානාට්‍යවලත් ආචාර්ය ලෙස්ටර් මහතාගේ ‘ගොළු හදවතේ’ ‘චම්පා’ ලෙස සිනමාවටත්, බර්ට්‍රම් නිහාල්ගේ ‘ආශීර්වාද’ තුළින් පුංචි තිරයටත් ඒමට අවස්ථාව ලැබුණා.


මම එක ගීත රචනාවක් කළා ‘පහන් සිළක්’ නමින්. එය නෙරංජලා සරෝජනී ගායනා කළා.“


‘ මා හද තුරුලට , ඔබ පමණයි මගේ පැතුම, කඳුකරයේ දෝංකාරය, නිරෝෂා ‘ වැනි නවකතා තුළින් ශ්‍රියාණි ලේඛිකාවකගේ භූමිකාවට ද පිවිසුණාය.


“අද මේ ක්ෂේත්‍රයට එන තරුණ පරපුර හරිම උනන්දුයි . සමහරුන්ගේ උනන්දුව නම් මදි. අපට තරුණ පරපුරක් අවශ්‍යයි. 70,80,90 දශකයේ සිනමාව නොදැකපු පිරිසකුත් ඉන්නවා. ඔවුන්ට පැරණි චිත්‍රපට නරඹන්න ක්‍රමයක් තිබිය යුතුයි.“


ප්‍රවීණ පුවත්පත් කලාවේදී ආතර් යූ. අමරසේන ඇගේ ආදරණීය සැමියායි. ඔහු ගැන සිහිපත් කරන්නට ද ඇය අමතක නොකළාය.


“ආතර් ‘විසිතුර’ සිනමා පුවත්පතේ කර්තෘව සිටියා. 1964දී අපි විවාහ වුණා. ඔහු තමයි මට කලා ලොවට පිවිසෙන්න ඉඩදුන්නේ.” එතුමා නැත්නම් අද ශ්‍රියාණි අමරසේන නම් කලාකාරිනියක් බිහිනොවන්න ඉඩතිබුණා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post