රංගන ජීවිතේ මෙතෙක් කරපු අභියෝගාත්මකම චරිතය නටාලියා -පියුමාලි එදිරිසිංහ

gossiplanka image 1
 


පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ ඔබ වඩාත්ම ආදරය කරන නිම්නාවි මේ දිනවල ටිකක් නපුරු වී සිටින්නීය. නිම්නාවී ලෙසින් ඔබ හමුවට එන ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමාලි එදිරිසිංහ පසුගියදා තාප්පෙන් පැන අලුත්ම ලොවකට පියනැඟුවාය. ඒ ධනංජය සිරිවර්ධනගේ තාප්පෙන් පැන්නා ටෙලි නිර්මාණයේ නටාලියා ලෙසිනි. අද අප ඇය හමුවන්නේ නිම්නාවිගේ අහිංසකකම අදහාගත නොහැකි අයුරින් වෙනස් කරගත්තේ කෙසේද යන්න විමසීමේ අදහසිනි.


තාප්පෙන් පැන යෑමේ අභියෝගාත්මක අවස්ථාවට මුහුණ දුන් පියුමාලී අපි හා පැවසුවේ මෙවන් කතාවකි.


“තාප්පෙන් පැන්නා” ටෙලි නිර්මාණයේ නටාලියා කියන්නේ මගේ රංගන ජිවිතේ මෙතෙක් කරපු අභියෝගාත්මකම චරිතයක්. පුංචි තිරයේ මෙතෙක් අහිංසක ආදරවන්තිය විදිහට ප්‍රේක්ෂක ආදරය වින්ද මට නටාලියා නිසා ටිකක් වෙනස් විදිහේ ප්‍රතිචාර ලැබෙනවා. ඒ කියන්නේ මං ඒ චරිතයට සාධාරණයක් කරලා තියෙනවා කියලා දැනෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. මට මේ චරිතයට ආරාධනා ලැබෙන්නේ අධ්‍යක්ෂ ධනංජය සිරිවර්ධනගෙන්. නිෂ්පාදක චාමර සමරවික්‍රම මට අලුත් කෙනෙක් නෙවෙයි.“


නටාලියා ලෙසින් ලැබූ අත්දැකීම පියුමාලිගේ රංගන ජිවිතයට වෙනස්ම මාවතක් විවර කර දී තිබිණ.


චාමර කොඩිතුවක්කුගේ තාප්පෙන් පැන්නා තිරපිටපත අපි නිතරම දකින සරල කතාවකට එහි ගිය සංකීර්ණ බවක් තිබුණා. නමුත් චරිතය අවබෝධ කරගත්තට පස්සේ පහසු වුණා. නටාලියා කියන්නේ චරිතය ඇතුළේ හදපු චරිතයක්. නටාලියාව ගොඩනඟන්නේ ධනංජය අයියා. ඒක ටිකක් වෙනස් චරිතයක්. ඇඳුම් විලාසිතා වුණත් වෙනස්. නටාලියාට කියන්න තිබුණෙත් සාමාන්‍ය ජීවිතේ කතාබහට ලක්වෙන්නේ නැති දෙබස්. සමහර වෙලාවට මායාකාරියක්ද කියල හිතෙන අවස්ථාත් තිබුණා. හැබැයි ඒක අපේ ජීවිතය ඇතුළෙ කොයි මොහොතක හරි සිද්ද වෙලා තියෙන දෙයක් වගේ තමයි නටාලියා කියන්නේ. ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට තේරේවි නටාලියා මොනවගෙ චරිතයක්ද කියලා.“


“තාප්පෙන් පැන්නා” රෑ එළි වෙනකල් රූගත කළ අවස්ථාත් තිබුණු බව පියුමාලි අප හා පැවසුවාය.


“උදේ ගිහින් හවස ඉවර වෙනවා වගේ නෙවෙයි තාප්පෙන් පැන්නා ෂූට් කළේ. සමහර දවස්වලට ඉර හඳ දැක්කද කියලවත් මතක නැති තරමට දිගටම වැඩ. මේ නිර්මාණය ටිකක් තේරුම් ගන්න අපහසු වුණත් ප්‍රේක්ෂකයන් ඒක තදින්ම අල්ලාගෙන ඉන්නේ. අපේ ඒ මහන්සියේ, කැපකිරීමේ ප්‍රතිඵලය නිසා වෙන්න ඇති කියලා හිතෙනවා. ලොකේෂන් වුණත් හරිම අමුතු, අමාරු තැන් තිබුණේ. ඒත් අපි කාටවත්ම වෙලාව ගැන තැකීමක් තිබුණෙ නැහැ. හැමෝම හරිම ආසාවෙන් ඒකට කැපවුණා. ගොඩක් දුරට ඉංගිරිය, වග, පානදුර, පාදුක්ක වගේ පැතිවල කැලෑ ඇතුළට ගිහින් ෂූට් කළා. රාත්‍රී දර්ශන ඔක්කොම වගේ කොළඹ කළේ රෑ දොළහෙන් පස්සේ.“


නටාලියා අමතක නොවන අත්දැකීමක් බවට පත්වූ එක් අවස්ථාවක් ගැන පියුමාලි සිහිපත් කළාය.


තාප්පෙන් පැන්නා මුල් කොටස් දෙක තුනේදී මත්පැන් වීදුරුවක් පොළොවේ ගහලා සැරපරුෂ වචනයකින් බණින්න තිබුණා. ඒක එක ෂොට් එකෙන් ගන්නත් ඕන. ඒ අවස්ථාව ඇත්තටම මට ලොකු අභියෝගයක් වුණා. ඒ මං මීට කලින් මාධ්‍යය ඉදිරියේ කවදාවත් ඒ වගේ සැරපරුෂ වචනයක් කියලා තිබුණෙ නෑ. වීදුරුව පොළොවෙ ගහන්නත් ඕන. ඒ වචනය කියන්නත් ඕන. කොහොමහරි ඒක එක ෂොට් එකෙන්ම ගත්තා. වීදුරු කෑල්ලකට අභිෂේක්ගේ කකුළත් කැපුණා. ඒ සිදුවීමත් එක්ක තාප්පෙන් පැන්නා කවදාවත් අමතක වෙන්නෙ නැහැ.“


නවක නිළියක් ලෙස අලුත් අධ්‍යක්ෂවරයෙක්ගේ මෙවන් බැරෑරුම් නිර්මාණයකට දායකවීමට ලැබීම සම්බන්ධයෙන්ද ඇයට කීමට යමක් තිබිණි.


“මම මෙතෙක් කල් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ වැඩ කරල තිබුණේ සිවා සර් එක්ක විතරයි. වෙනත් අධ්‍යක්ෂවරයෙක් එක්ක සම්බන්ධ වුණේ තාප්පෙන් පැන්නා නිර්මාණයට. නමුත් මට ධනංජය අයියා එක්ක වැඩ කරන්න පහසු වුණේ මීට කලින් මං ඔහුත් එක්ක ටීවී සීරිස් එකක රඟපාලා තිබුණ නිසා. අධ්‍යක්ෂවරයෙක් විදිහට ධනංජය අයියගේ ලොකු දක්ෂතාවක් මං දැක්කා. ඔහු අපිට උපදෙස් දීමේදී වුණත් ඒ තුළම ගිලිලා ඉන්නවා වගේ හැඟීමක් දැනුණා. නිර්මාණය සාර්ථක කරගන්න ඔහු ගොඩක් වෙහෙසෙනවා. ඔහුගේ ඔළුවේ තියෙන ෂොට් එක එනකල්ම කීපතාවක් වුණත් ඒක ගන්නවා. කැමරා අධ්‍යක්ෂ මංජු අයියාවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ධනංජය අයියාගේ මඟපෙන්වීම යටතේ අපි හැමෝම හරිම ලස්සනට තාප්පෙන් පනිනවා.“


නිම්නාවිට ලැබුණු අසීමිත ප්‍රේක්ෂක ආදරය නටාලියා නිසා අඩුවේයැයි බියෙන් පසුවූ බවද පියුමාලි පැවසුවාය.


“තිරපිටපත දකිද්දි නම් නිම්නාවිට ලැබුණු ආදරේ අඩුවෙයිද කියලා පුංචි බයක් දැනුණා. නමුත් මටත් වෙනස් චරිතයක් කරන්න ඕනකම තිබුණා. චරිතාංග නිළියක් විදිහට දකින්න පුළුවන් විදිහට රංගනයේ වෙනසක් වෙලා කියලා ගොඩක් සුබ පතලා ප්‍රතිචාර ලැබෙනවා. ඒත් කොහේ ගියත් ප්‍රේක්ෂකයන් නිම්නාවි නම් අමතක කරන්නේ නැහැ කියලා විශ්වාසයි. ඉදිරියේදී සිනමාවේත් වෙනස් චරිත කිහිපයකින් දකින්න ලැබේවි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post