සරාගයෙන් මං මාවම හොයාගත්තා- උදාර රාජපක්ෂ

gossiplanka image 1
 


වෙළෙඳ දැන්වීම් හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි ඔහු, සනුකගේ ‘සරාගයේ’, නදීර නෝනිස්ගේ ‘හිත රිදුන තරම්’ වැනි ජනප්‍රිය මියුසික් වීඩියෝ රැසක් හරහා රසික හදවත් දිනාගත්තේය. එතැනින් නොනැවතී, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කුසුම් චන්ද්‍ර ගමගේගේ නිර්මාණයක් වූ ‘එලීසා’ වේදිකා නාට්‍යය ඔස්සේ වේදිකාවට පිවිස වේදිකා රංගනයෙන් ලැබූ අත්දැකීම් ද සමගින් ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ ‘සූරයා වීරයා’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ඔස්සේ සිනමාවට ද පිවිසියේය. වේදිකාව, ටෙලි තිරය සහ රිදී තිරය යන ත්‍රිත්වයෙහිම සිය රංගන කෞශල්‍යය විදහා දක්වමින්, තමන්ටම අනන්‍ය වූ ගමනක් සනිටුහන් කරමින් සිටින ඔහු උදාර රාජපක්ෂය. මෙවර ‘මව්රට හාට්’ කතාබහට එක්වන්නේ, ඔහුයි.


උදාර මේ දවස්වල මොකද වෙන්නේ?

මේ දවස්වල මම රංගනයට මූලිකත්වය දීලා ඉන්නේ. රූගත කිරීම් අවසන් වූ ඉදිරියට තිරගත වීමට නියමිත චිත්‍රපට කිහිපයක පෝස්ට් ප්‍රොඩක්ෂන් වැඩකටයුතු ටික නිෂ්පාදන කණ්ඩායම එක්ක එකතු වෙලා කරගෙන යනවා.

ඔබේ පළමු චිත්‍රපටය වන ‘සූරයා වීරයා’ තිරගත වී කාලයක් ගතවුණත්, මේ වනවිට අන්තර්ජාල වේදිකා හරහා නැවතත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගනිමින් තියෙනවා?

2024 අගෝස්තු මාසයේ මැතිවරණ දෙකක් අතරතුර තමයි චිත්‍රපටය තිරගත වුණේ. ඒ නිසා කොළඹින් එතරම් ප්‍රතිචාරයක් නොලැබුණත්, ගම්වල චිත්‍රපටය සතුටුදායක මට්ටමකින් දිවගියා. ඒ නිසා නිෂ්පාදකවරයාට පාඩුවක් සිදුවුණේ නැහැ. දැන් චිත්‍රපටය සමාජ මාධ්‍ය හරහා හෙමින් හෙමින් ජනතාව අතරට එන්න පටන් අරගෙන තියෙනවා. මේ වනවිට අන්තර්ජාල වේදිකාවල ඉහළම පෙළේ තිබෙන නිසා චිත්‍රපටයට විශාල නැරඹුම් වාර ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා.

‘සූරයා වීරයා’ ඔස්සේ ඔබව ලොකු හිට් එකක් නොවුණු එක ගැන ඔබ සතුටු වනවා නේද?

ඔව්, ඒ නිසා මට සාමාන්‍ය විදිහට ඊළඟ නිර්මාණයන්ට ලෑස්ති වෙන්න පුළුවන් වුණානේ. දැන් චිත්‍රපටය ටික ටික සමාජගත වීමට පටන් අරන්. මට හිතෙන විදිහට ඒක හොඳ ටේ‍රන්ඩ් එකක්. හිට් එකකට වඩා මිනිස්සුන්ට මතක තියෙන්න පුළුවන්.




ටෙලිනාට්‍යය සඳහා ඔබේ දායකත්වය?

මම ටෙලිනාට්‍ය දෙකයි තවම කරලා තියෙන්නේ. ‘සෙල්ෆි’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් කළා. ඉන් පස්සේ ‘පාවෙලා වළාකුළේ’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කළා. ඒ දෙක ඉතින් ප්‍රේක්ෂකයන්ට තවම මතකයි. මම ටෙලිනාට්‍ය දහයක විතර රඟපෑවා නම් පොදු ගතියක් වගේ දැනෙන්න ගන්නවානේ. මියුසික් වීඩියෝ නිසා තමයි හැබැයි මම තරුණ පරපුර අතරට යන්නේ.

පාසල් කාලයේ ඔබ කලාවට ළැදි කෙනෙක් නෙමෙයි නේද?

මම ජාතික මට්ටමේ මලල ක්‍රීඩා පැත්තෙන් ක්‍රීඩා කළා. පාසල් කාලයේ මම ක්‍රිකට් කැප්ටන්. ලංකාවේ ජාතික මට්ටමේ පාසල් නියෝජනය කරලා තියෙනවා. මට මතකයි මාත් එක්ක ක්‍රීඩා කරපු අය කියලා තියෙනවා ඔයා හරියන්නේ නළුවෙක්ට, ඔයා මේ ස්පෝර්ට් එක කරන්නෙත් නළුවෙක් වගේ කියලා. මට හිතුණේ එයාලා විහිළුවට කියනවා කියලා. නමුත් මම රංගනය සම්බන්ධ දෙයක් පාසල් කාලයේ කලේ නැහැ.

ඔබ නිරූපණ ශිල්පියෙක් විදිහටත් කටයුතු කළාද?

ෆොටෝ ෂූට් කරලා තියෙනවා. රෑම්ප් ෂෝ කරලා තියෙනවා. නමුත් මම මොඩ්ල් කෙනෙක් නෙමෙයි.

සිනමාවට ඔබ සුදුසුයි කියන හැඟීම ඔබ තුළ තහවුරු කළේ ‘සරාගයේ’ද?

‘සරාගයේ’ තමයි මගේ පළමුවැනි මියුසික් වීඩියෝව. 2026 වසරට ඒකට අවුරුදු දහයක් වෙනවා. මම ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු කිහිපයකට පස්සේ තමයි ‘සරාගයේ’ මියුසික් වීඩියෝව කළේ. ඒ ගීතය ජාත්‍යන්තර මට්ටමට වගේ ගියා. ඒ එක්කම මිනිස්සු මට කිව්වා, ‘ඔයා හරියන්නේ සිනමාවට’ කියලා.

ඒ ගීතය මට මාව හොයාගන්න යම් මට්ටමකට උදව් වුණා. මම මේක කරනවා කියන එක මගේ හිතේ තිබුණා. නමුත් ඒක තහවුරු වුණේ ‘සරාගයේ’ ගීතයත් එක්ක. ඉතින් මටත් මාව දැනෙන්න එපැයි මේක කරන්න පුළුවන් කියලා.

ඔබේ පවුලේ අය කලාවට සම්බන්ධද?

කලාවට සම්බන්ධ කිසි කෙනෙක් මගේ පවුල් පසුබිමේ නැහැ. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. මල්ලි නීතිඥයෙක්. මගේ පවුලේ බොහෝ දෙනා නීතියට සම්බන්ධ අය. ඒ නිසා ඒ අයට මේක අලුත් දෙයක් වුණා.

සමහර අය ඔබේ නම නොදැන සිටියත්, ඔබව නළුවෙක් විදිහට හඳුනාගන්න එක ගැන ඔබට තිබෙන්නේ මොන වගේ හැඟීමක්ද?

සමහර වෙලාවට මගෙ නම හරියට කියන්න දන්නෙත් නැති අයත් ඉන්නවා. ‘අන්න අන්න නළුවෙක්’ කියන එක තමයි මම දකින්නේ. ඒකත් මරු. නමුත් නම දන්න අයත් ඉන්නවා. නමුත් නොදන්න එකෙත් වෙනම එකක් තියෙනවා. මම කැමැතියි මේ ඉන්න විදිහට තව අවුරුදු දෙක තුනක් ඉන්න.

ඉදිරි නිර්මාණ කටයුතු?

ඉදිරි නිර්මාණ කටයුතු කිහිපයක්ම සැලසුම් වෙලා තියෙනවා. චිත්‍රපට තුන හතරක් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම චිත්‍රපට කිහිපයක් බාරගෙනත් තියෙනවා. ඒවායේ රූගත කිරීම් ලබන වසරේදී ආරම්භ වෙයි. මේ දවස්වල ඉතින් ඉදිරි නිර්මාණවලට සූදානම් වෙමින්, විශේෂයෙන්ම මගේ ශරීරය ගැන වැඩි අවධානයක් යොමු කරනවා.

අවසාන වශයෙන් කිවයුතු දෙයක් ඇති?

මාව හඳුනාගෙන මට අවස්ථා ලබාදුන් අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඇත්තටම මගේ ගමනේදී මට ලැබුණු ඒ අවස්ථා, මාව විශ්වාස කරපු අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන් වගේම, මට හොඳ අදහස් ලබාදෙන මගේ යාළුවන්ගෙනුත් ලැබුණු සහයෝගය මගේ නිර්මාණශීලී ගමන තවත් ඩිවලොප් කරගන්න ලොකු උදව්වක් වුණා.


ස්ටෙෆනි කොතලාවල

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post