ෆර්නි රෝෂිණී ගැන ලියන්න සූදානම් වන මේ ලිපියට ආරම්භය ගන්නේ කොහොමදැයි කියලා හිත හිතා ඉන්නකොට අසුරු සැණින් මතකයට ආවේ ‘ස්වයංජාත’ ටෙලියෙ සුදු හාමිනේව. එතැනින් නතර නොවුණු මතකය ආයෙම දුවලා ගියේ මද්දහනේ කසිප්පු වාඩිය අයිති සංකර තරුණ ගැමි කත වෙතටයි. මෑතකදී ජනප්‍රිය වූ ‘ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්’ චිත්‍රපටයේ මංගො නැන්දා වෙනුවෙන් ෆර්නි කළ රංගනයටද ලැබුණු ප්‍රතිචාර අසීමිතයි. ඈ ගැන තව කියන්න තියෙන කතා බොහොමයි.
කොහොමද ෆර්නි ඉතින් මේ දවස්වල ජීවිතේ?
බොහෝ දේ සතුටුදායකයි. කලා කටයුතු අතර කාර්යබහුලව ඉන්නවා. විශේෂයෙන්ම කියනවා නම් නිළියක හැටියට මං ආසයි ඒ අවිවේකයට.
මොනවද අලුත් ආරංචි. ඔබ කියන ඔය අවිවේකී බව ගැනත් කියමු?
පසුගිය දවස්වල නම් ඒ අවිවේකී බව තවත් වැඩි වුණා. එයට හේතුව වුණේ පාසල් නිවාඩුව නිසා කාටූන් චිත්‍රපටවල හඬකැවීම්වලට සහභාගි වී සිටි නිසයි.
ඒ අතර ටෙලි ඩ්‍රාමා සහ වේදිකා නාට්‍ය තුළද ඔබට වැඩ ගොඩගැහුණා?
හරියටම හරි. කාලයක් නවත්තලා තිබුණු ‘සිහින සාප්පුව’ ටෙලියේ රූගත කිරීම් ආයෙම ආරම්භ වුණා. ඒ අතර ‘සල්ලි අරන් හොරු ඇවිදින්’ වේදිකා නාට්‍යයේ රිහසල් තිබුණා. ‘ස්වර්ණ වර්ණ ගී’ නම් ගීතමය ප්‍රසංගයකද රිහසල් දිගින් දිගටම වැටුණා. ඒ හැම දෙයක්ම නිසා තමයි වැඩ ගොඩක ඉන්නවා කියලා කිව්වේ.
කොහොමද ෆර්නි ඔය හැම දේටම කාලය වෙන්කර ගන්නේ?
හැම දේම කොහොම හරි ගානට බැලන්ස් කරගන්නවා. වෙලාව නැහැ කියන එක හිතට ගත්තොත් බොහෝ විට හොඳ අවස්ථාවන් අපට මගහැරෙන්න පුළුවන්.
ඔබේ කලා ජීවිතයේ මුල්ම පියවර ගුවන්විදුලිය?
ඔව්. ඒ මගේ පළමු රැකියාව. ගුවන්විදුලිය කියන්නේ මගේ ජීවිතයේ කොටසක් වගේ.
ටෙලි රංගනයට ආරාධනා ලැබුණේ එතැනින්ද?
පළමුව ආරාධනා ආවේ වේදිකාවට. වේදිකාව කියන්නේ මට බොහෝ දේ දායාද කළ තැනක්. කෙටියෙන් කියනවා නම් ෆර්නි රෝෂිණී කියන රංගවේදිනියව බිහිකළ තිඹිරිගෙය වේදිකාවයි.
ටෙලි තිරයට ආරාධනා ආවේ වේදිකා රංගනය හරහායි?
2003 අවුරුද්දේ අරුණ ජයවර්ධන නම් ප්‍රවීණ නිර්මාණකරු මට ආරාධනා කරනවා ‘බාඳුරා දේශය’ ටෙලිය සඳහා. ඉතාම සතුටින් මම ඒ ආරාධනාව භාරගත්තා.
පළමු ටෙලියෙන්ම ඔබ ප්‍රේක්ෂකයන්ගේ හිත් තුළ පැලපදියම් වුණා?
ඇත්තෙන්ම සතුටුයි. මං රඟපාපු චරිතයක් ගැන මගේ මූණටම කවුරු හෝ කෙනෙක් ඔය විදියට කමෙන්ට් කරනවට. ඔබ කිව්වා හරි. බාඳුරා දේශය ගැන අදටත් සමහර දෙනා මා එක්ක කතා කරනවා. බොහොම සතුටින්.
‘ස්වයංජාත’හි සුදු හාමිනේ ඔබේ රංගන ජීවිතයේ පෙරළියක්?
සත්තකින්ම ඔව්. සුදු හාමිනේ වෙනුවෙන් කළ චරිත මෙහෙවර හොඳම සහාය නිළියට පවා නොමිනේට් වුණා.
මද්දහනේ කසිප්පු පෙරණ තරුණ ලලනාවගේ චරිතයට ප්‍රේක්ෂකයන් වෛර කළා?
ඒ දවස්වල මගතොට යනකොට ඇතැම් දෙනා මට කිව්වා ආයෙම එහෙම චරිත කරන්න එපා කියලා. ඒ තරමට ඒ රංගනය සංකීර්ණයි.
මොකක්ද ඒ ගැන ඔබේ අදහස ෆර්නි? එවැනි චරිත නිළියකට හානියක්ද?
ප්‍රේක්ෂකයන් අපි ගැන තියෙන ළෙන්ගතුකමට එහෙම අපෙන් ඉල්ලීමක් කරන එක මම හෑල්ලුවට ලක්කරන්නේ නැහැ. ඒත් මම හිතනවා චරිතාංග නිළියක් වුණාම සුදු-කළු සහ හොඳ-නරක හැම චරිතයක්ම භාරගත යුතුයි කියලා. මොකද මද්දහනේ කසිප්පු වාඩියේ කාන්තාවගේ චරිතය ගැන ඉතාම ප්‍රශංසාවෙන් කතා කළ බොහෝ පිරිස්ද හිටියා.
ටෙලි තිරය, වේදිකාව සහ ගුවන්විදුලිය තුළ ප්‍රතිභාවන් දක්වන ඔබ සිනමාවටද පිවිස අවසානයි?
චිත්‍රපටවලට නම් එහෙම ලොකුවට ආරාධනා එන්නේ නැහැ. කොයි තරම් පුංචි වුණත් මම එයට අවැසි සාධාරණත්වය උපරිමයෙන් ඉටු කරනවා. ‘ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්’ චිත්‍රපටයේ මංගො නැන්දා ඊට හොඳම නිදසුනක්.
‘එදා රෑ’ චිත්‍රපටයටත් ඔබට ආරාධනා ලැබුණා?
සතුටින් භාරගත්ත චරිතයක්. මිල්ටන් මල්ලවාරච්චි වැනි ජනකාන්ත ගායන ශිල්පියකුගේ ජීවිතය අලළා කෙරෙන එවැනි නිර්මාණයක් වෙනුවෙන් දායකත්වය දෙන්නට ලැබීමත් මට ගෞරවයක්. ඔක්තෝබර් මාසයේදී ඒ මනහර නිර්මාණය දැකබලා ගැනීමේ වාසනාව ප්‍රේක්ෂකයන්ට උදාවේවි.
මාධ්‍ය කතිකාවකදී ඔබ කියලා තිබුණා යමක් කරන්නට පුළුවන් හොඳ සිනමා නිර්මාණයක් තවමත් ඔබට ලැබුණේ නැහැ කියලා?
ඒක මම මේ මොහොතේ මෙතැනදිත් කියනවා. චරිත පසුපස හඹා නොගියට හොඳ සිනමා නිර්මාණයකට දායක වීමේ පිපාසය සහ ආශාව මා තුළ තියෙනවා.
ඒ බලාපොරොත්තුව ඉටුවන ආරාධනාවක් ප්‍රවීණයකුගෙන් ලැබිලාය කියන ආරංචිය ඇත්තක්ද ෆර්නි?
ඔව්. ඒ ගැන පුංචි ඉඟියක් දෙන්නම්. රවී රොයිස්ටර් මට ආරාධනාවක් කළා. ‘හොඳ ෆිල්ම් එකක් ඔයාට තවම ලැබුණේ නැහැ අක්කේ. ඔයාගේ ටැලන්ට් එකෙන් හොඳ වැඩක් කරන්න පුළුවන්’ කියලා ඔහු මට බොහොම ළෙන්ගතු විදියට ලොකු විශ්වාසයකින් කිව්වා.
රවී රොයිස්ටර් සිනමා නිර්මාණයකට අතගහන්ද සූදානම?
ඔව්. ඔහුගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා වෙනස් ආකාරයේ සිනමා නිර්මාණයක් කරන්න. ඒ ගැන කලබල නැති අලුත් සැලැස්මක් කරා ඔහු සෙමින් ගමනක යෙදෙනවා. ඒ නිර්මාණය තුළ මටත් යමක් කරන්න පුළුවන් හොඳ චරිතයක් මැවෙනවා. ඉතින් මම බලාගෙන ඉන්නවා ඊට කාලය එනතුරු. දැනට එපමණයි.
බොහෝ දක්ෂයන්ට අගය කළ යුතු චරිත ලැබෙන අවස්ථා අඩුයි නේද ෆර්නි?
සත්තකින්ම බොහොමයක් තැන්වල සිදුවන අසාධාරණයක්. ටෙලි සිනමාව තුළද එය එහෙමමයි. සමහර නිර්මාණකරුවන් එකම නළු නිළි පිරිසකට කොටුවෙලා. විශේෂයෙන් මෙගා ටෙලි කලාව නිසා බොහෝ කලා ශිල්පීන්ට හොඳ නිර්මාණ මගහැරෙනවා. මේ සිස්ටම් එක බොහෝ විට තියෙන්නේ ලංකාවේ පමණයි.
වේදිකාවේ එවැනි මගහැරීම් සහ දුර්වලතා සිදුවෙනවද?
කවදාවත්ම නැහැ. වේදිකාව කියන්නේ අපට ලොකු අගය කිරීමක් සහ අවධානයක් ලැබෙන තැනක්. ඒ වගේම වේදිකාව ප්‍රවීණයන්ට හොඳ අවස්ථාවන් දෙනවා. එතැන අපේ හැකියාවන්ට කදිම ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා වේදිකා නාට්‍ය කලාව ගැන මම ආඩම්බර වෙනවා.
ඔබේ කතා විලාසය හරිම අභිමානනීයයි ෆර්නි?
ඔව්. මම ඒ කතා කළේ ලොකු ආත්ම විශ්වාසයකින් සහ තෘප්තියකිනුයි. ඒ සිය්ලල මට දුන්නේ සහ මම ලබාගත්තේ වේදිකාවෙනුයි.
මල්මි කෞෂල්‍යා