සිනමාවට ළමා වියේදීම පිවිසි ඇය, ප්‍රේක්ෂක හදවත් දිනාගත්තේ දඟකාර, කටකාර ළමා චරිත හරහාය. අද වනවිට රංගන ක්ෂේත්‍රයේ පරිණත මාවතකට පිවිස සිටින ඇය, තිරය මත තබනා සෑම පියවරකදීම සිය සහජ කුසලතාව මැනවින් ඔප්නංවා ගත් තරුණියකි. ඇය දැන් රිදී තිරය සිනමාත්මක ආලෝකයකින් ඒකාලෝක කරමින් සිටින්නීය. මේ දිනවල තිරගත වන “ආදරණීය තරුවක්” චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන් අතරට එන ඇය, හුදෙක් ජනප්‍රිය තරුවක්ම නොව, කාලයත් සමඟ තම රංගන පරාසය සහ තාත්වික බව ප්‍රගුණ කරගත් සුන්දර කලාකාරිනියකි. රංගන පරම්පරාවක උරුමය කරපින්නාගෙන ආවද, තමන්ටම ආවේණික ස්වයං සලකුණක් ප්‍රේක්ෂක හදවත් තුළ සටහන් කළ ඈ, ශනුද්‍රි ප්‍රියසාද්ය.රිදී තිරයේ ඇගේ අලුත්ම සිනමාගමනය, ගැනයි මේ කතාබහ.
ශනුද්‍රි, මොනවද මේ දවස්වල වැඩකටයුතු?
මම අලුත් චිත්‍රපටි දෙකක රූගතකිරීම් කරන ගමන් ඉන්නේ. සැප්තැම්බර් මාසෙ තවත් චිත්‍රපටියක වැඩ ආරම්භ කරනවා. ඊට අමතරව මේ දවස්වලනම් ‘ආදරණීය තරුවක්, චිත්‍රපටියේ ප්‍රේක්ෂකයන්ව මුණගැහෙන වැඩ එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ.
‘ආදරණීය තරුවක්’ චිත්‍රපටයේ ඔබේ චරිතය ගැන අහන්න කැමතියි චිත්‍රපටියෙදි මාව පද්මා විදිහට හඳුන්වන්නත් පුළුවන්. අසේකා විදිහට හඳුන්වන්නත් පුළුවන්. දෙවිදියක චරිත දෙකක්. පද්මා කියන්නේ හරිම සුන්දර, පුංචි පුංචි හීන තියෙන, මනමාලියක් වෙන්න ඉන්න ගෑනු ළමයෙක්. අසේකා කියන්නෙ ජිවිතේ ගොඩක් දේවල්වලට මුහුණ දෙන, සුන්දර ජීවිතයක් ගත කරන්න නොලැබෙන ගෑනු ළමයෙක්. වැඩි විස්තර කියන්න යන්නෑ. මොකද මේ චරිත දෙක ගැන ප්‍රේක්ෂකයන්ට හරියටම තේරෙන්නේ චිත්‍රපටිය බැලුවොත් තමයි.
මේ වෙද්දි ලැබෙන ප්‍රතිචාර කොහොමද?
තාම අපි තුන්වෙනි සතිය යන්නේ තියෙටර්ස්වලට දාලා. ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. චිත්‍රපට ශාලා හවුස්ෆුල් වෙනවා. ගොඩක් අය චිත්‍රපටිය ගැන විචාර ලියනවා.මේ දේවල් මට විතරක් නෙවේ, මුළු චිත්‍රපටියටම ලැබෙන පැසසුම්.
චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර මුහුණ දුන් වඩාත්ම අභියෝගාත්මක හෝ මතකයේ රැඳුණු සිදුවීමක් තියෙනවද?
මං හිතන්නෙ මම මෙතෙක් කරපු දැවැන්තම සිනමා නිර්මාණය තමයි ‘ආදරණීය තරුවක්’ කියන්නේ. චිත්‍රපටිය පුරාවටම අපි ලංකාවේ ලස්සන තැන්වල රූගතකිරීම් කළේ. ඒ වගේම සර්ෆින්, පැරා වගේ ගොඩක් ඇක්ටිවිටීස් චිත්‍රපටිය වෙනුවෙන් කළා. ඒක හරිම විශේෂයි. මටත් ජීවිතේට නොකරපු දේවල් අත්දකින්න ලැබුණා මේ චිත්‍රපටිය නිසා. ඒ වගේම මගේ කොණ්ඩෙ චිත්‍රපටියවෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සිද්ධ වුණා. ඒක තමයි මට තිබුණු ලොකුම අභියෝගය. නමුත් ඒ වෙනුවෙනුත් ප්‍රේක්ෂකයන්ගෙන් මට ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්.චිත්‍රපටයේ ඔබේ පෙම්වතා විදිහට රඟපාන්නේ සාරංග දිසාසේකර.
පවුලේ ආසන්නතම ඥාතියෙක් සමඟ පෙම්වතුන්ගේ චරිතයක් නිරූපණය කරද්දි ලැබුණු අත්දැකීම කොහොමද?
ඇත්තටම සාරංග අයියා කියන්නෙ එයාගෙ වැඩේ තිතටම කරන රංගන ශිල්පියෙක්. මට එයා එක්ක රඟපාන්න ලැබෙන්නේ පළවෙනි වතාවට. මුලදි ප්‍රේක්ෂකයන් පවා හිතුවා කොහොමද අපි දෙන්නා එකට තිරයේ ආදරවන්තයෝ විදිහට රඟපාන්නෙ කියලා. නමුත් චිත්‍රපටිය නරඹලා එළියට එන හැමෝම කිව්වේ සහෝදරයෝ කියලවත් තේරෙන්නෙ නැති තරමට අපි දෙන්නගෙ චරිත දෙක නැචුරල් කියලා. සාරංග අයියා එක්ක වැඩ කරන්න හරිම පහසුයි. මුලදි ඒක වෙනස් අත්දැකීමක් කියලා හිතුවට, වෙන නළුවෙක් එක්ක රඟපානවට වඩා මට පහසු වුණා එයා එක්ක රඟපාන්න.
කලා පවුලකින් ක්ෂේත්‍රයට ආ කෙනෙක් විදිහට, පවුලේ අයගෙන් ලැබෙන උපදෙස් සහ සහයෝගය ඔබේ රංගන ජීවිතයට බලපෑවේ කොහොමද?
මට හැමදේකදිම පළවෙනි සහය ලැබෙන්නෙ මගේ පවුලෙන්. කලා වැඩවලදිත් එහෙමයි, පෞද්ගලික ජීවිතේදිත් එහෙමයි. පවුල තමයි අංක එක. මේ චිත්‍රපටියටත් ගෙදර හැමෝගෙන්ම උපරිම සහය මට ලැබෙනවා. තාත්තා තමයි හැමදාම මම ෂූටිං ඉවර වෙලා ගෙදර ගියාම මගේ එදා වැඩකටයුතු ගැන විස්තර අහන්නේ. අපි හැමෝම කලාවට සම්බන්ධ නිසා හරිම සහයෝගයකින් මේ ගමන යන්නේ.
රංගන කටයුතු, සමාජ මාධ්‍ය නිර්මාණ සහ පෞද්ගලික ජීවිතයේ වැඩකටයුතු අතර සමබරතාවය තියාගන්නේ කොහොමද?
මම පොඩි කාලෙ ඉඳන්ම රංගනයේ යෙදෙන කෙනෙක්. ඉතින් ඒ ගැන දැනුම් තේරුම් එක්ක තමයි දේවල්වලට යොමු වෙන්නේ. අම්මයි තාත්තයි තමයි ඒ වෙනුවෙන් හරි මාර්ගය අපි තුන්දෙනාටම හදලා දුන්නේ. මම කසාද බැන්දත්, ඒ ජීවිතෙයි කලා ජීවිතෙයි හැමදේම බැලන්ස් කරගන්න මට ශක්තිය ලැබුණෙ අම්මගෙනුයි තාත්තගෙනුයි.එදා ගෙදරින් ලැබුණු සහය දැන් දිනේෂ්ගෙනුත් ඒ විදිහටම ලබෙනවා ඇතිඅනේ ඔව්. අනිවාර්යයෙන්ම. දිනේෂ් හැමදේකටම මට සපෝට් කරනවා. දැන් ඉතින් එයානෙ මගෙ ළඟින්ම ඉන්නේ. එයාගෙ වැඩවලටත් මම ඒ විදිහටමයි සපෝට් කරන්නේ. අපි දෙන්නට දෙන්නා හොඳට තේරුම් අරගෙන ඉන්නේ කලා ජීවිතය ගැන. එයා සංගීතය පැත්තෙන් ඉදිරියට යනවා. මම රංගනය පැත්තෙන් ඉදිරියට යනවා. එතනත් සමබරතාවය පවත්වගෙන හරිම ලස්සනට ජීවිතේ ගෙවනවා.නිර්මාණශීලී ජීවිතයෙන් ඔබ්බට ගියාම, ශනුද්‍රි කියන්නේ පෞද්ගලිකව මොනවගේ චරිතයක්ද?මම, මගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක් කිව්වොත් හරි.
නිදහස් වෙලාවට කරන්න කැමති දේවල් මොනවද?
දැන්නම් මම හරිම ආසයි මගේ ගෙදර අස්පස් කරන වැඩ කරන්න. නිදහස් වෙලාවක් ලැබුණම ගෙදර තියෙන දේවල් එහාමෙහා කරලා ලස්සන කරන්න තමයි වැඩි වෙලාවක් ගත කරන්නේ. ඒ ඇරෙන්න දැන් මං පොත් කියවන්න පුරුදු වෙලා.ක්ෂේත්‍රයේදී ලැබෙන පැසසුම් වගේම එන විවේචන සහ කටකතාවලට මුහුණ දෙන්නේ කොහොමද?මම පොඩි කාලෙ ඉඳලා විවේචනවලට මුහුණ දුන්න කෙනෙක්. ඉස්සරනම් ඇත්තටම විවේචනවලදි මම ගොඩක් මානසිකව වැටුණා. සමහර දේවල් දරාගන්න බැරි වුණ අවස්ථා අනන්ත තිබුණා. එතනදි මගේ පවුලෙ අය තමයි මාත් එක්ක හිටියේ. මේ වෙනකොටනම් මට ඇත්තටම නෙගෙටිව් පැත්තට වඩා ආදරේ කරන පිරිස තමයි වැඩිවෙමින් යන්නේ. හැමවෙලේම ඒ හොඳ පැත්ත විතරක් බලාගෙන ඉන්නවා. මට අකමැති අයව මම එන්ටටේන් කරන්නෙ නෑ. මං මගේ පාඩුවෙ ගමන යනවා. මට ආදරේ කරන අය මාත් එක්ක ඉඳීවි.
ඉදිරියේදී ප්‍රේක්ෂකයින්ට දැකබලා ගන්න ලැබෙන ඔබේ අලුත් නිර්මාණ මොනවද?
‘අග්නි ජය’ කියලා චිත්‍රපටියක් එන්න තියෙනවා. මුලින් කිව්වා වගේ තවත් චිත්‍රපටි තුනක වැඩ කටයුතු තියෙනවා.අවසාන වශයෙන් අහන්න කැමතියි,
දැන් ශනුද්‍රි ටෙලිනාට්‍යවලින් ඈත් වෙලාද?
පහුගිය කාලේ මට චිත්‍රපටිවලට හොඳ ආරාධනා ලැබුණා. ඉතින් මං ඒ ටික බාර අරගෙන, ඒවට කාලය යොමු කළාම ඇත්තටම ටෙලිනාට්‍ය වෙනුවෙන් දෙන්න පුළුවන් කාලය නැති වුණා. හැබැයි මට ටෙලිනාට්‍යයක් වෙනුවෙන් හොඳ ආරාධනාවක් ලැබුණොත් සහ කාලය හදාගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම බාරගන්නවා. හැබැයි දැනට මං කැමතියි කට්ටිය මාව රිදී තිරයෙන් දකිනවට.