බණ්ඩි‘ යන නම ඇසූ සැණින් ඔහුගේ රුව මතකයට නැඟෙන තරමටම ඒ නම අද ප්‍රේක්ෂක හදවත් තුළ සටහන්වී තිබේ. රංගනය, සංගීතය සහ ගායනය යන කලා ත්‍රිත්වයම තම ජීවිතයේ විවිධ අවස්ථාවල ස්පර්ශ කළ ඔහු බණ්ඩිහෙට්ටිගේ දොන් ධම්මික සම්පත් බණ්ඩිහෙට්ටිගේය. අද වන විට රූපවාහිනි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පියකු මෙන්ම ඕගන් වාදකයකු සහ ගායකයකු ලෙසද තම අනන්‍යතාව ගොඩනඟාගෙන සිටියි.
“ලෝකෙට ප්‍රසිද්ධ නම බණ්ඩි. බණ්ඩි කිවුවොත් තමයි හැමෝම මාව දන්නේ.“ සම්පත් බණඩිහෙට්ටි තමන්ව හඳුන්වා දෙන්නේ එලෙසය.
බණ්ඩිගේ කලා ගමනට මුල්ම අඩිතාලම වැටෙන්නේ බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයෙනි. එහිදී ඔහුගේ සංගීත ගුරුතුමිය වූයේ නීලා වික්‍රමසිංහ යි. සංගීතය හැදෑරීමත් සමඟම පාසල් බෑන්ඩ් කණ්ඩායමට එක්වීමටද ඔහුට අවස්ථාව ලැබුණි. එහෙත් එදා බෑන්ඩ් කණ්ඩායමේ ඉදිරිපෙළ වාදකයකු වීම ඔහුගේ ඉලක්කය නොවීය. ට්‍රැන්ගල් වැනි සරල වාද්‍ය භාණ්ඩවලින් ආරම්භ වූ ඔහුගේ වාදන ගමන පසුව රබාන වැනි වාද්‍ය භාණ්ඩ හරහා ඉදිරියට ගියේය.
ඒ අතරතුර පාසල ආශ්‍රිතව පැවති මහපොළ ප්‍රදර්ශනය ඔහුගේ සංගීත ජීවිතයට අපූරු හැරවුම් ලක්ෂ්‍යයක් විය.
“අපේ ඉස්කෝලේ ලොකු අයියලා එකෝඩියන් එල්ලගෙන ඉන්නවා. සමහර වෙලාවට “මල්ලි පොඩ්ඩක් මේක එල්ලගන්න“ කියලා කියනවා. ඒවා එල්ලගෙන සින්දු එහෙන් මෙහෙන් ගහන්න ගත්තා. මගේ ඕගන් වාදනයේ ආරම්භය ඒක තමයි.”
බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයෙන් ආරම්භ වූ අධ්‍යාපන ගමන, වැල්මිල්ල ශ්‍රී සාරාලංකාර විද්‍යාලය හරහා හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් ඉදිරියට ගියේය. රංගනය සඳහා විශේෂ පහසුකම් නොතිබුණද, කලාවට තිබූ ආසාව නිසා ඔහු ඇතුළු මිතුරන් පාසල් නිවාඩු දිනවලදී තමන්ම වේදිකා සකසාගෙන, පිටපත් සකස් කරගෙන නාට්‍ය ඉදිරිපත් කළහ.
ශ්‍රීපාලි විද්‍යාලයේදී හෙට්ටිආරච්චි සර් යටතේ නාට්‍ය හා රංග කලාව හැදෑරීමට ලැබීමත් ඒ සමඟ ‘රාමායනය’ නිර්මාණයට දායක වීමටද ඔහුට අවස්ථාව ලැබුණි.
බණ්ඩිගේ කලා ගමනට ආලෝකයක් ලැබුණේ 2000 වසරේදී ඇන්තනි සුරේන්ද්‍ර ප්‍රමුඛ ‘ශක්ති’ සංගීත කණ්ඩායමට එක්වීමයි. එහි ඕගන් වාදකයකු ලෙස කටයුතු කරන්නන්ට අවස්ථාව ලැබිණ.
එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ජපානය ඇතුළු රටවල් රැසක සංචාරය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සංගීත ශිල්පීන් රැසකට පසුබිම් සංගීතය සැපයීමටද ඔහුට අවස්ථාව ලැබුණි.
“මගේ හිතේ කවදාවත් රට යන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් මට කෙළින්ම එංගලන්තයට යන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක්.”
මිතුරකුගේ ආරාධනයකින් ටෙලි නාට්‍යයක පැදුරු සාදයක දර්ශනයක් සඳහා සර්පිනාව සහ තබ්ලාව රැගෙන ගිය ඔහුට, එදිනම අනපේක්ෂිත ලෙස රංගනයටද අවස්ථාවක් හිමිවිය.
ඔහුගේ රංගන දිවිය ඇරඹෙන්නේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ දි.ග. සෝමපාලයන්ගේ ‘දේදුණු පාලම’ නාට්‍යයේ රංගනයත් සමඟය.
ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වන ජයන්ත චන්ද්‍රසිරි යටතේ රංගනය හැදෑරීමෙන් පසු චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රැසකට දායක වීමට ඔහුට අවස්ථාව ලැබුණි.
මේ වන විට ටෙලි නාට්‍ය 300කට ආසන්න සංඛ්‍යාවක රංගනයෙන් දායක වී ඇති බණ්ඩි, ප්‍රේක්ෂකයන් අතර වඩාත් හඳුනාගැනීමට ලක්වූයේ ‘මුතු කුඩ’ ටෙලි නාට්‍යයේ ඇල්ලේපොළ නිලමේ චරිතය හරහාය. ඉන්පසු ‘සකල ගුරු’ හි බර්ටි, ‘අඩෝ’ හි චමින්ද, ‘ලලයි ලිලයි ලයි’, ‘මායාවී’ හි රත්නේ වැනි චරිත හරහා ප්‍රේක්ෂකයන්ට සමීප විය.
වර්තමානයේ ඔහු ‘ජහුටා’ සහ ‘අලුත් සර්’ ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයන් අතර තවදුරටත් ජනප්‍රියත්වයක් දිනාගෙන සිටියි. ‘ජහුටා’ වෙනුවෙන් සද්ධා මංගල සූරියබණ්ඩාර සහ අධ්‍යක්ෂ ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මෙන්ම ‘අලුත් සර්’ වෙනුවෙන් සුපුන් රත්නායක ද තම කලා ගමනේදී විශේෂයෙන් සිහිපත් කරන පුද්ගලයන් බව ඔහු පවසයි. ටිකිරි රත්නායක මහතාද ඔහු ආදරයෙන් සිහිපත් කරයි.
ඔහුගේ කලා ගමන පිටුපස සිටි මුල්ම ශක්තිය වූයේ සිය පවුලයි. මව සහ චූටි අයියා තමන්ට විශාල සහයක් ලබාදුන් බව ඔහු සිහිපත් කරයි. ඊට අමතරව තමන් හා රංගනයේ යෙදෙන නළු නිළියන්, කාර්මික ශිල්පීන්, අධ්‍යක්ෂවරුන් සහ තමන් සමඟ වැඩ කළ සියලු දෙනාගේ සහයෝගයද ඔහු අගය කරයි.
ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් සමඟ ගී ගයමින් ප්‍රසංග රැසකට සහභාගි වී ඇති බණ්ඩි ඉදිරියේ විදේශීය ප්‍රසංග සඳහා ද සහභාගි වීමට නියමිතය.
ඔක්තෝබර් 8 වැනිදා දෝහා කටාර් හී පැවැත්වෙන සංගීත ප්‍රසංගයකටත්, ඔක්තෝබර් 30 වැනිදා සවුදි අරාබියේ ජෙට්ටා නගරයේ පැවැත්වෙන තවත් ප්‍රසංගයකටත් ඔහු සහභාගි වීමට නියමිතය.
ලලිත් රාජපක්ෂගේ ‘විසේකාරී’ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිත අතර, ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ මිල්ටන් මල්ලවආරච්චි වෙනුවෙන් නිර්මාණය වූ ‘එදා රෑ’ චිත්‍රපටයටද ඔහු දායක වී තිබේ. මේ දිනවල ‘යක් බැඳි ගෙදර’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහාද ඔහු එක්ව සිටියි.
බණ්ඩිගේ කලා ගමනේ තවත් එක් විශේෂත්වයක් වන්නේ ඔහු කිසිවකු පසුපස ගොස් අවස්ථා ඉල්ලා ලබාගත් ගමනක් නොවීමයි.
“මම කවදාවත් රඟපාන්න අවස්ථාව ඉල්ලලා කාගෙවත් පස්සෙන් ගිහින් නෑ. හැමදාම මගේ හිතේ අධිෂ්ඨානයක් තිබුණා. මට හැකියාවක් තිබුණා. මට අවස්ථාව ලැබුණ නිසා තමයි මම අද මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඒ ගැන මට අවංකවම සතුටක් තියෙනවා.”
කලා ලෝකයට පැමිණි බොහෝ දෙනාගේ සිහිනය සම්මාන, ජනප්‍රියත්වය සහ ආර්ථික වාසි වටා ගොඩනැඟුණත්, බණ්ඩිගේ සිහිනය ඊට වඩා සරලය. ඔහුට අවශ්‍ය වන්නේ ප්‍රේක්ෂකයන්ගේ ආදරයත් සමඟ මියෙන තුරුම කලාව තුළ රැඳී සිටීමය.
“කලාවෙන් ලොකු ආර්ථික වාසි නැහැ. නමුත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ඒ ආදරය එක්ක මැරෙන තුරාවට මේ ක්ෂේත්‍රයේම ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව. අපිට මේ වගේ ගමනක් එන්න ස්වඋත්සාහය තිබුණටම මදි. ප්‍රේක්ෂක රසික ආදරය හා පිළිගැනීම ඕනේ. ඒ ආදරය තමයි අපිට ඊළඟ දේවල් කරන්න ශක්තිය දෙන්නේ.”
එදා අහම්බෙන් උරහිසේ එල්ලාගත් ඕගනයෙන් ඇරඹුණු ගමන අද ප්‍රේක්ෂක හදවත් දක්වාම පැමිණ තිබේ. සම්මාන කුසලානවලට වඩා මිනිසුන්ගේ ආදරය වටිනා බව විශ්වාස කරන බණ්ඩිහෙට්ටි, කලාවේ තව දිග දුරක් යාමට ඇතැයි පවසන්නේ තමන් කරන කටයුත්ත බොහෝ කැපවීමෙන් කරන බැවිනි.,
“මට කලාව රැකියාවක් නොවෙයි. එය මගේ හදවතේ තාලයකි. ඒ තාලය ඇසෙන තාක්, බණ්ඩි යන නම කාටවත් අමතක වෙන එකක් නෑ“ ඔහු එලෙස පවසන්නේ දැඩි විශ්වාසයකිනි.