ක්ලැරන්ස් ප්‍රතිනිර්මාණය කර ජනප්‍රිය නළුවා සම්මානය දිනූ දමිත් විජයතුංග

gossiplanka image 1
 

සංගීත ක්ෂේත්‍රයේ අමරණීය ස්වර රටාවන්ට ජීවය දුන්, ලාංකේය පොප් සංගීතයේ පියා ලෙස සැලකෙන ප්‍රවීණ කලාකරු ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජීවන තොරතුරු පාදක කරගනිමින් නිර්මාණය වූ ‘ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්‘ සිනමාපටය ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ සැමදා මතකයේ රැඳෙන සන්ධිස්ථානයක් විය.


තරුණ පරපුරේ සංගීතමය සහ ආදරණීය හැඟීම් මුසු වූ මෙම චිත්‍රපටය හරහා සිංහල සිනමාවට අතිශය ජනප්‍රිය නවක රංගන ශිල්පියෙක් දායාද විය. ඒ, සිනමා ප්‍රේක්ෂක ආකර්ෂණය ඉතා ඉක්මනින් දිනාගත් දමිත් විජයතුංගය. තරුණ හදවත් සහකම්පනය කරමින් සිනමාවට පිවිසි ඔහු තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කළ මේ අපූර්ව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ චරිතයට ජීවය දෙමින් සිය රංගන ප්‍රතිභාව මඟින් ප්‍රේක්ෂක හදවත් පමණක් නොව සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රියත්වයේ කිරුළ ද දිනා ගැනීමට සමත් විය. ඒ 37වැනි ප්‍රයිම් සරසවිය සම්මාන උලෙළේදීය.


​ලාංකේය සිනමාවේ උත්තුංගම සම්මාන උළෙලක් වන සරසවිය සම්මාන උළෙලේදී, ‘රිදම් ඔෆ් ද ගිටාර්’ චිත්‍රපටයේ ක්ලැරන්ස් චරිතය වෙනුවෙන් දමිත් විජයතුංග වසරේ ජනප්‍රියම නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීම, ඔහුගේ කලා දිවියේ තවත් එක් ස්වර්ණමය අවස්ථාවකි.


​ක්ලැරන්ස් විජේවර්ධන යනු ශ්‍රී ලාංකේය ශ්‍රාවකයන්ගේ හදවත්වල ගැඹුරින්ම වැලඳගත් නාමයකි. එවැනි දැවැන්ත චරිතයක් රිදී තිරය මත ප්‍රතිනිර්මාණය කිරීම යනු කවරකුට වුවද අතිශය අභියෝගාත්මක කාර්යයකි. දමිත් විජයතුංග එම අභියෝගය භාරගත්තේ අතිශය භක්තියකින් සහ කැපවීමකිනි.


​ඔහු ක්ලැරන්ස්ගේ ගීත ගායනා විලාසය, ගිටාරය හැසිරවූ අපූර්ව ආකල්පය, මෙන්ම ඔහුගේ ජීවිතයේ කඩඉම් සහ කලාත්මක අරගල සිනමාවට රැගෙන ආවේ මනා අධ්‍යයනයකින් යුතුවය. දමිත්ගේ කලාත්මක හැසිරීම් හරහා ප්‍රේක්ෂකයාට දැකගන්නට ලැබුණේ සැබෑ ක්ලැරන්ස් විජේවර්ධනයන් හා සමීපතම වූ අත්දැකීම් ය. මෙම ජයග්‍රහණය හුදෙක් සම්මානයකට එහා ගිය දෙයකි. එය ලාංකේය රසික ජනතාව ක්ලැරන්ස් විජේවර්ධනයන් කෙරෙහි දැක්වූ අමරණීය ආදරය මෙන්ම, දමිත්ගේ රංගනයට ලබා දුන් ඉහළම වටිනාකමක් විය. තිරය මත ඔහු දැක්වූ දස්කම් මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කළ බවට මෙම ජනප්‍රිය නළුවා සම්මානය කදිම සාක්ෂියකි.


ක්ලැරන්ස් ‘රිදම් ඔෆ් ද ගිටාර්’ චිත්‍රපටය එහි නිෂ්පාදකවරයාගේ තීරණයක් අනුව සරසවිය සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කර තිබුණේ නැත. එහෙත් දමිත් ප්‍රේක්ෂකයන් අතරට ගියේ මේ චිත්‍රපටයෙනි. ජනප්‍රිය නළුවා සම්මානය හිමිවූයෙත් මේ චිත්‍රපටය නිසයි.


“චිත්‍රපටයේ අනෙකුත් අය සම්මානයට ඇගයීම සඳහා අවස්ථාවක් නොලැබීම සම්බන්ධයෙන් ඇත්තටම දුකයි. සිනමාවට ප්‍රවිෂ්ඨ වී වසරක් ඇතුළත කාලයකදී සිනමා ප්‍රේක්ෂකයන් මාව සුබවාදීව භාර ගැනීම ඔස්සේ ජනප්‍රිය නළුවා වීම ගැන මට තියෙන්නේ අසීමිත සතුටක්. සිනමා ප්‍රේක්ෂකයින්ට ඒ සඳහා හදවතින්ම ස්තූතිවන්ත වෙනවා, මගේ සිනමා ගමනට ඒකාලෝකයක් වූවාට”


මාතලේදී උපත ලැබූ ඔහු, මාතලේ විජය විද්‍යාලයෙන් සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික හා ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත. පසුව ඔහු NSBM හරිත විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තේය.


2017 වසරේ ‘මිස්ටර් ශ්‍රී ලංකා’ කිරුළ දිනාගත් දමිත් එම වසරේදීම පිලිපීනයේ පැවැත්වුණු ‘මෑන් ඔෆ් ද වර්ල්ඩ් 2017’ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි අවසන් වටයට සුදුසුකම් ලැබීය. නිරූපණ ශිල්පියෙකු ලෙස වසර 10ක 11ක පමණ අත්දැකීම් දමිත් සතුවේ.


“එහෙම ඉද්දි තමයි මට හිතුණේ තව අඩියක්, දෙකක් ඉස්සරහට තබන්න ඕන කියන දේ. ඒ අනුව තමයි රංගනයට පිවිසෙන්නට දොරගුළු විවර වෙන්නෙ. මම අදටත් නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නවා. මුලින්ම සමීර වීරසිංහගෙන් තමයි මම නිරූපණය ඉගෙන ගන්නේ. ඉන්පසු බ්‍රයන් කර්කෝවන් වැනි දැවැන්තයින් කිහිප දෙනකුගේම ගුරුහරුකම් ලබනවා.“


‘ක්ලැරන්ස්‘ චිත්‍රපටයෙන් පසු දමිත් එක් වූයේ විනෝෂා කිරිවන්දෙනිය විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Hello from the other side චිත්‍රපටය සමඟයි. එහිදී ඔහු ‘අවන්ත’ නම් වෛද්‍යවරයකුගේ චරිතයට පණ පෙවීය. ඒ සිනමාපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් අමෙරිකාවේ කැලිෆෝනියාහි පැවැත්වුණු 4 වැනි ලංකා ජාත්‍යන්තර සිනමා උලෙළේදී (Ceylon International Film Festival) හොඳම නළුවා ලෙස සම්මානයටද ඔහු පාත්‍ර විය.


ක්ලැරන්ස් චිත්‍රපටයෙන් පසු දමිත් ලැබූ හොඳම සිනමා අත්දැකීම ‘රාජිනියේ’ සිනමා කෘතිය විය හැකියි. නිළි රැජින මාලිනී ෆොන්සේකා අලළා නිමවෙන(ජීවිත කතාව නොවේ) මෙම සිනමාපටයෙහි ප්‍රකට දේශපාලනඥයකු සහ නළුවකු වූ විජය කුමාරතුංගයන්ගේ චරිතය රඟපෑමට ලැබීම ගැන ඔහුට ඇත්තේ සතුටකි. එම සිනමාපටය හරහා ඔහු නැවත වරක් චරිතාපදාන සිනමාපටයකින් (Biopic) ප්‍රේක්ෂකයන් හමුවීමට සූදානමින් සිටී. මේඝ වර්ෂා’ ඔහු රංගනයෙන් දායක වන ඉදිරියේදී තිරගත වීමට නියමිත තවත් චිත්‍රපටයකි. මෙය ඉතාම ලස්සන සංගීත පසුබිමකින් යුතු වූවකි. භාතිය – සන්තුෂ්, සෙන්ටිග්‍රේට් සංගීතය මෙහි අඩංගුයි.


මේ දිනවල දමිත් ‘රාග’ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා එක්ව සිටී.


“වාසනාව කියන දේ මම පුදුම විදිහට විශ්වාස කරනවා. මේ ක්ෂේත්‍රයේ මගේ කවුරුත්ම නෑ. ඉස්සර ඔඩිෂන්වලට ගිහින් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ක්ලැරන්ස් චිත්‍රපටය මට කවුරුත් බන්දේසියකට දාලා දුන්නේ නෑ. මාව මුලින්ම අඳුර ගන්නේ රුවන් කොස්තා මහත්ම⁣යා. ඔහු තමයි තේජා ඉද්දමල්ගොඩ මහත්මයාට මාව හඳුන්වලා දෙන්නේ. ඒ දෙන්නා කරපු ඔඩිෂන් එකකට මම සහභාගි වුණා.ඉන් අනතුරුව මාව තුසිත විජේසේන නිෂ්පාදකවරයාට හඳුන්වා දෙනවා. ඒ හැමදෙනාම එකතු වී තමයි මාව ක්ලැරන්ස් චරිතය සඳහා තෝරා ගන්නේ.“ ඔහු වසර 6ක් තිස්සේ ලංකාවේ ප්‍රධාන පෙළේ දුරකතන ආයතනයක සේවය කරන අතර, වර්තමානයේ එහි නිල සන්නාම තානාපතිවරයෙකු ලෙසද කටයුතු කරයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post