පසුගිය වසර සිංහල සිනමාවට නැවතත් වසන්තය උදාවූ වසරයි. සිනමාවෙන් ඈත්ව සිටි ප්‍රේක්ෂකයා නැවතත් සිනමාශාලාව වෙත ගෙන්වා ගැනීමට සමත් වූ සිනමා නිර්මාණ අතර ‘ධර්මයුද්ධයට‘ ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි. මලයාලම් සිනමාපටයක ප්‍රතිනිර්මාණයක් ලෙස නිමවන ධර්මයුද්ධය අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයකි. එහි අචිනිගේ භූමිකාවට පණ පොවන ජනප්‍රිය රංගන ශිල්පිනි තිසුරි යුවනිකා බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ චරිතයකි. විවාහයෙන් පසුව විදෙස්ගතව පදිංචිවී සිටින ඇය පෙම්වතියක, බිරියක මෙන්ම මවක ලෙසින් ජීවිතයේ විවිධ අවධි පසුකරමින් සිටින අතරතුර ධර්මයුද්ධය රූගත කිරීම් සඳහා සම්බන්ධ වූවාය. රූගත වන ‘ධර්මයුද්ධය- 3‘ සඳහා මේ දිනවල ලංකාවට පැමිණ සිටින ඇය අප හා කතාබහට එක්වූවාය.
ධර්මයුද්ධය – 3 මේ දිනවල රූගත වෙනවා. ධර්මයුද්ධය කියන්නේ තිසුරිට මොන වගේ අත්දැකීමක්ද?
මේ දවස්වල ධර්මයුද්ධය – 3 මාතලේ රූගත වෙනවා. ඒකට සම්බන්ධ වෙන්න මේ මාසේ මං බබාත් එක්ක ලංකාවට ආවා. ධර්මයුද්ධය මගේ ජීවිතේට අමතක නොවන අත්දැකීමක් කිව්වත් හරි. ‘ධර්මයුද්ධය – 1‘ කරද්දි මං විවාහ වෙලා හිටියෙත් නැහැ. නමුත් ‘ධර්මයුද්ධය – 2‘ කරද්දී මං විවාහ වෙලා සැමියත් එක්ක ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින් හිටියේ. ලංකාවට ඇවිත් රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්න අතරේ තමයි මට බබා ලැබෙන්න ඉන්න බව දැනගන්නේ. ‘ධර්මයුද්ධය – 2‘ රූගත වෙන්නේ බබාවත් කුසේ තියාගෙන. ඒක මට සුවිශේෂී වගේම අභියෝගාත්මක අත්දැකීමක් වුණා. ඒ වගේම ‘ධර්මයුද්ධය – 3‘ සඳහා ආරාධනා ලැබෙද්දී බබාට මාස හයයි. එකයි දෙකයි අතරේ ලොකු කාල පරාසයක් තිබුණට දෙකයි තුනයි අතරේ ලොකු කාල පරාසයක් තිබුණෙ නැහැ. මේ තරම් ඉක්මනට නැවත රංගනයට එන්න මගේ කිසිම සූදානමක් තිබුණෙත් නැහැ. රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්නේ බබාවත් පසුතලයේ තියාගෙන. ඒ නිසා ‘ධර්මයුද්ධය – 2‘ වගේම ධර්මයුද්ධය – 3ත් මට අභියෝගාත්මක අත්දැකීමක් වුණා.
බබෙක් ලැබෙන්න ඉද්දි ෂූටින් එනවා කියන්නේ අභියෝගයක්. කොහොමද ඔබට එය බලපෑවේ?
ඇත්තම කිව්වොත් ධර්මයුද්ධය – 2 සහ 3 දෙකම මට අභියෝගයක් වුණා. ධර්මයුද්ධය – 2 රූගත කරන්න ආවේ අම්මගෙ තුන්මාසෙ දානෙටත් එක්ක. මං ප්‍රෙග්නන්ට් බව දැනගත්තෙත් ඒ අතරේ. මුලදිම මම දැනගෙන හිටියෙත් නැහැ. මැද හරිය රූගත කරද්දියි දැනගත්තේ. බබා බඩේ හිටිය නිසා ඒකෙත් මගේ පොඩි බෝල ගතියක් තිබුණා. මුලදි මං ඒක කාටවත්ම කිව්වෙත් නැහැ. නමුත් ඒකෙ අචිනිට හොඳටම ගහන, ගුටි කාලා වැටෙන සීන් තියෙනවා. ඒ වෙලාවෙ තමයි මං අධ්‍යක්ෂවරයාට ප්‍රෙග්නන්ට් බව කිව්වෙත්. ඒක දැනගත්තට පස්සේ මුළු කණ්ඩායමම මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය ආදරයෙන් මතක් කරන්නම ඕන. ධර්මයුද්ධය – 2ත් මගේ රංගන ජීවිතේ සුවිශේෂී අත්දැකීමක්.
ධර්මයුද්ධය – 3 සඳහා ආරාධනා ලැබෙන්නේ ඔබ මවක් වුණු අලුතමයි. ගැටලුවක් වුණේ නැද්ද?
ධර්මයුද්ධය – 3 සඳහා ආරාධනා ලැබෙද්දි බබාට මාස හයයි. බබාට කිරි දෙන නිසා දැන්මම රංගනයට එන්න මගේ කිසිම සූදානමක් තිබුණෙ නැහැ. නමුත් මම කරපු චරිතය නිසා බැහැ කියන්න බැරිකමටයි ආවේ. අනික් අතින් මං පොඩ්ඩක් මහත්වෙලා චූටි බෝලයක් වගේත් වෙලා. බබාට කිරි දෙන නිසා කෑම පාලනය කරන්නත් බැහැ. බබාත් පොඩි නිසා එයත් එක්කත් ටිකක් අමාරුයි. රඟපාන්න ආසාව තිබුණට බබාත් එක්ක කරගන්නෙ කොහොමද කියන අභියෝගයත් තිබුණා. ටික කාලෙකින් රංගනයට එන නිසා මට ටිකක් හිතන්න ඕන වුණා. මං ටිකක් මහත් වෙලා නිසා ඒක හොඳ වෙයිද දන්නෑ කියලා මහත්තයට කිව්වම ඔහු කිව්වේ හැමෝම ඔයා ගැන දන්නවා, ඔයාට බබෙක් ලැබිලා ඉන්න බවත් දන්නවා, ඒ නිසා මුකුත් හිතන්න එපා, ඔයා යන්න කියලා.
ඒ කියන්නේ ධර්මයුද්ධය – 3 තිසුරිට අරගලයක් වෙලා වගේ?
ඇත්තටම ඔව්. මෙහෙම කාලෙක මං මෙහෙම රඟපාන්න හිතාගෙන හිටියෙ නැහැ. බබාත් චූටි නිසා එයාවත් අරගෙන යන්න ඕන. එයා ගැන නිතරම බලන්න ඕන. එයාට කිරි දෙන්න ඕන. වෙලාවට නිදි කරවන්න ඕන. බලාගන්න කෙනෙක් ඕන. මං වැඩේ කරලා එනකල් මගේ පුංචි තමයි බබාව බලාගන්නේ. බබා පුංචිට ගොඩක් එකතුයි. මාත් ළඟම ඉන්න නිසා ගැටලුවක් නැහැ. පුංචිවත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕන. ධර්මයුද්ධය – 3 සඳහා සම්බන්ධ වෙන්නේ ඒ වගේ ගැටලු රාශියක් එක්ක. ඇත්තටම මේ පාර ආවේ රංගනයට කිසිම සූදානමකින් නෙවෙයි. මං සම්බන්ධ වුණු චරිතයක් නිසා ඒක ගොඩනඟන එක මගේ යුතුකමක් වගේම වගකීමක් නිසා. එහෙම බලද්දි ධර්මයුද්ධය – 3 කියන්නෙත් මට අභියෝගාත්මක අත්දැකීමක්.
අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය ගැන විශේෂයෙන්ම මතක් කරන්න ඕන. අරුණ ජයවර්ධන කියන්නේ වැඩ කරන්න හරිම පහසු, නිහඩ, හරිම සුන්දර, නම්‍යශීලී අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේමයි අනෙක් පිරිසත්. මට පහසු වෙන විදිහට හැම දෙයක්ම සූදානම් කරල දුන්නා. මම බබාත් එක්කම හිටිය නිසා මාව දකින්න නැති වුණහම පොඩි අවුලක් තියෙනවා. ඒ නිසා මගේ සීන් ගොඩාක් එක දවසට දාන්නෙ නැතුව, සීන් එකක් කරලා ඊළඟ සීන් එකට යන්න කලින් බබාත් එක්ක ඉන්න පුළුවන් විදිහට එයාල ෂෙඩියුල් එක හදලා තියෙනවා. දැන් බබාත් එක්ක ඉන්න නිසා ඔවුන්ගේ සහයෝගය මට වැඩිපුර දැනෙනවා. ධර්මයුද්ධය කණ්ඩායම දැන් හරියට ඩේකෙයාර් එකක් වගේ වෙලා. බබා ඉන්න රූම් එක ළඟින් යද්දි මං කියන්නත් කලින් කෑගහන්න එපා බබා නිදි කියලා එයාලම කියනවා. සමහර වෙලාවට අපි කතා කරන වෙලාවට ඇසිස්ටන් ඩිරෙක්ටර් ඇවිත් කියනවා බබා කෑගැහුවට කමක් නැහැ ඔයාලා කෑගහන්න එපා කියලා. ඒකේ සුන්දර පැත්තකුත් තියෙනවා. බබාට වුණත් එහේදි හිටියේ මමයි මහත්තයයි විතරයි. මෙහේදී හැමෝ එක්කම උකුළු මුකුළු කරකර හිනාවෙවී ඉන්නවා. මට දැන් එහේ ගිහිල්ලත් හතරවටේ අරන් යන්න වේවිද දන්නෑ. ඇත්තටම මම ආවේ, බබාත් එක්ක කරගන්න පුළුවන් වෙයිද කියන ගැටලුවත් ඔළුවේ තියාගෙන. මටත් අත්දැකීම් නෑ. මමත් මේ භූමිකාවට හුරුවෙමින් ඉන්න කෙනෙක්. හැමෝගෙන්ම ලැබෙන සහයෝගයත් එක්ක ලස්සනට වැඩේ කරගෙන යනවා.
ධර්මයුද්ධය එහෙනම් තිසුරිට විතරක් නොවෙයි. චූටි දුවටත් ලොකු අත්දැකීමක් නේද?
ඔව්. ඔව්. මට වගේම දුවටත් ඒක සුවිශේෂී අත්දැකීමක්. ධර්මයුද්ධය – 2 රූගත කරද්දී එයා බඩේ හිටියා. ධර්මයුද්ධය – 3දී පසුතලයේ ඉන්නවා. කන්දෙ ගෙදර කතාවේ අපේ අම්මගේ බඩ පෙන්නලා අර බඩ ඇතුළේ ඉන්නේ ඔයා, ඔයාව බඩේ තියාගෙනයි අම්මා ඒක කළේ කියලා ඉස්සර අම්මා මට කියනවා. අන්න ඒ වගේ සුන්දර මතකයක් දැන් මටත් තියෙනවා. බබා ලොකු වුණාම ධර්මයුද්ධය – 2 පෙන්නලා පේන්නෙ නැති වුණාට ඔයත් බඩේ ඉන්නවා කියලා කවදහරි මටත් කියන්න පුළුවන්. ධර්මයුද්ධය – 3 පෙන්නලා ඔයත් අරගෙන ගිහින් තමයි රඟපාන්නේ කියලා දවසක මට දුවට කියන්න පුළුවන්. ධර්මයුද්ධය කියන්නේ සුවිශේෂී මතක එකතුකළ අභියෝගාත්මක අත්දැකීමක්.
ධර්මයුද්ධය සිනමාපටය ආදායම් වාර්තා තබද්දී මොකද හිතුනේ?
ධර්මයුද්ධය ප්‍රතිනිර්මාණයක් වුණත් ඇත්තටම ඒක හොඳ ප්ලොට් එකක්. ප්‍රේක්ෂකයන් ධර්මයුද්ධය – 1 වගේම ධර්මයුද්ධය – 2ත් හරිම ආදරෙන් වැලඳගත්තා. ප්‍රතිනිර්මාණයක් වුණත් රංගන ශිල්පීන් විදිහට අපේ මහන්සිය යොදවලා, හරිම ආදරෙන්, කැපවීමෙන් ටීම් වර්ක් එකක් විදිහටයි මේක කළේ. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට ප්‍රේක්ෂකයන් ඒවා ආදරෙන් වැලඳ ගන්නවා කියන්නේ රංගන ශිල්පීන්ට ලොකු සතුටක්. 1,2 දෙකම ප්‍රේක්ෂකයන් නැරඹුවා. හොඳ ආදායම් වාර්තා තැබුවා. ධර්මයුද්ධය -3ත් ඒ විදිහටම වේවි කියන බලාපොරොත්තුවෙන් හරිම ආදරෙන් රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා.
බොහෝ දෙනෙක් හිතන්නේ තිසුරී රංගනයට සමුදීලාම ඔස්ට්‍රේලියා ගිහින් කියලා නේද?
මම රංගනයෙන් විරාමයක් ගත්තා මිසක් රංගනයට සමුදීලා නැහැ. නමුත් කලින් තරම්ම සම්බන්ධ වීමේ බලාපොරොත්තුවක් නැහැ. මගේ යම්කිසි දක්ෂතාවක් තියේනම් ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නැතුව ඉන්න එකත් අපරාධයක්. ඒ නිසා හොඳ වැඩක් ලැබුණොත් මගේ ආසාවට අවුරුද්දකට එකක් වගේ සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී රුක්මාල් නිරෝෂ් අයියාගේ වැඩකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔහුගේ ‘සුළඟ මත මොහොතක්’ ටෙලි නිර්මාණයට මම හරිම ආසයි. කාලෙකින් ඒ වගේ ටෙලි නිර්මාණයකට සම්බන්ධ වුණෙත් නැහැ.
බිරියක්, මවක් රංගනයට සම්බන්ධ වෙද්දි සැමියාගෙන් ලැබෙන සහයෝගයත් ගොඩක් වටිනවා. ඔහු ගැනත් මතක් කරමු?
ඔහු සුරාජ් විජේසිංහ. ඔහුගේ සහායක් නැති වුණානම් මට මේ කිසිම දෙයක් කරගන්න ලැබෙන්නෙ නැහැ. සමහර වෙලාවට මම කඩන් වැටෙන තැන් තියෙනවා. මේකට ආරාධනා ලැබෙද්දි වුණත් බබත් එක්ක මට මේක කරගන්න පුළුවන් වෙයිද ? සිනමා තිරයේ විශාල වෙලා පේන නිසා මගේ ඇඟේ හැඩය කැතට පෙනෙයිද වගේ දේවල් හිතලා මම අවුල් වෙලා හිටියා. එතැනදිත් මේක ඔයා කරපු දේනෙ. ඔයා යන්න, ඔයාගේ හැකියාව පෙන්නන්න කියලා මාව මෝටිවේට් කළෙත් ඔහු. තව හොඳ වැඩක් ආවොත් ඒකත් භාරගන්න, මං කොහොමහරි මෙහේ මැනේජ් කරගන්නම් කියනවා හැර කිසිම දේකට විරුද්ධ වෙන්නෙ නැහැ. මගේ රංගනයට ඔහු හරිම කැමතියි. මගේ අම්මා තාත්තාගෙන් පස්සේ මගේ හෙවණැල්ල වගේ ඉන්නේ ඔහු. බබා ලැබුණු අවස්ථාවේ වුණත් හැමදේටම උදවු කළා. ඒ වගේ කෙනෙක් ලැබීම මගේ ජීවිතේට ලොකු වාසනාවක්.