37 වෙනි ප්‍රයිම් සරසවිය සම්මාන උලෙළ පසුගිය දා නෙළුම් පොකුණ රඟහලේදී අතිඋත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය. වෙනදාට වඩා මෙවර ඒ පිළිබඳ බොහෝ දෙනා ඉතාමත් උනන්දු වූ බව සත්‍යයක්. විශේෂයෙන් සරසවිය සම්මාන උලෙළ ජනප්‍රිය නළුවා සහ ජනප්‍රිය නිළිය යන සම්මාන ද්විත්වයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. රංගන ශිල්පිනියකට හෝ රංගන ශිල්පියෙකුට තම රසික ආදරය මැන බැලීමට කදිම සාධකයක් වන්නේ ජනප්‍රිය කාණ්ඩයට අයත් සම්මානයයි. මෙවර 37 වෙනි ප්‍රයිම් සරසවිය සම්මාන උලෙළෙදි ජනප්‍රිය නළුවාට හිමි සරසවිය සම්මානයට හිමිකම් කීවේ රංගන ශිල්පී දමිත් විජේතුංගයි. ඔහු සිනමාවට අත්පොත් තැබුවේ පසුගිය වසරේ අතිශය ජනාදරයට පත් ක්ලැරන්ස් Rhythm of the Guitar චිත්‍රපටයෙනි. එනිසාම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවලද එක රැයකින් ජනප්‍රිය වන්නට තරම් ඔහු වාසනාවන්ත වූයේය. එහෙත් කිසියම් හේතුවක් නිසා එහි නිෂ්පාදකවරයා ක්ලැරන්ස් චිත්‍රපටය මෙවර සම්මාන උලෙළෙන් ඉවත් කරගන්නා ලදි. ඒ හේතුවෙන් දමිත් දැඩි කනස්සල්ලෙන් පසුවූ බව ඔහුගේ කතා බහෙන් තේරුම් ගැනීමට හැකිවිය. එහෙත් ඔහු රඟපෑ Hello from the other side චිත්‍රපටය සම්මාන උලෙළ සඳහා ඇතුළත් වී තිබුණු එහි ඔහුගේ චරිතය ‘ක්ලැරන්ස්’ චරිතයට වඩා හාත්පසන්ම වෙනස් මුහුණුවරක් ගත් චරිතයකි. දමිත් විජේතුංග සිනමාවට අවතීර්ණ වූයේ දුෂ්කර ගමනකින් පසුවය. ප්‍රථමයෙන් මෝස්තර නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කළ ඔහු කෙසේ හෝ සිනමා තිරය බබළවන රංගන ශිල්පියෙකු බවට පත්වීමට වරම් හිමිකර ගත්තේය. 37 වෙනි ප්‍රයිම් සරසවිය සම්මාන උලෙළෙදි ජනප්‍රියම නළුවා ලෙස සම්මානය තම දෝතට ගත් ඔහු සරසවිය පුවත්පතට තම හැඟීම් සමඟ තමාගේ ඉදිරි සිනමා ගමන් මඟ පිළිබඳ බොහෝ තොරතුරු මෙසේ මුදා හැරියේය.
ඉතාමත් සතුටින් සිටින මොහොතක සරසවිය සමඟ කතාබහට යෙදෙන්නට ලැබීම සතුටක්. ඇත්තටම වසරක කාලයක් ඇතුළත ඒ ලැබුණ ජයග්‍රහණය ගැන හිතා ගන්න බැහැ. සරසවිය සම්මානයක් හිමිවීමම භාග්‍යයක්. විශේෂයෙන් සරසවිය සම්මාන උලෙළ කියන්නේ ලංකාවේ තිබෙන , ඉහළ පිළිගැනීමක් සහිත වටිනා සම්මාන උලෙළක්. එවැනි සම්මාන උලෙළකින් සම්මානයක් හිමිවීම වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක්. ඇත්තටම ජනප්‍රිය සම්මානය මට ලැබෙයි කියන බලාපොරොත්තුව මුලින්ම තිබුණේ නැහැ. ඒත් තරඟයක් තියෙන බව දැනුණා. ක්ලැරන්ස් චිත්‍රපටය නිසා ජනප්‍රියත්වය ප්‍රේක්ෂක ආදරය තිබෙන බවත් තේරුණා. සම්මානය ලැබීමෙන් ඒක ඔප්පු වුණා.
ජනප්‍රිය සම්මානයට හිමිකම් කිවහැකි නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කළාට පසුව ඉහළ ප්‍රතිචාර ලැබුණා. විදෙස් රටවල සිටින රසිකයන් සහ මිතුරන්ගේ ආදරයත් ලැබෙන්න පටන් ගත්තා. ඔවුන්ට මැසේජ් කරන්න නොහැකි වුවත් යහළුවන්ගේ මාර්ගයෙන් ප්‍රතිචාර දක්වා තිබුණා. ඒ සති කිහිපයේ හැමෝගේම ආදරය නොඅඩුව ලැබුණා. එයාලගේ සුබ පැතුම් වලින් මගේ මුහුණු පොත පිරීගියා. මුල ඉඳන්ම මම ජනප්‍රිය ලැයිස්තුවේ අංක 1 හෝ 2 ට හිටියා. අන්තිමට තමයි මටත් ඒ ගැන ආසාව ඇතිවුණේ. එය මගේ සිනමා ජීවිතයේ පළමු සහ අවසන් අවස්ථාව වෙන්නත් පුළුවන් කියලත් මට හිතුණා.
එදා සම්මාන රාත්‍රියේ මම නර්තන අංගයකටත් සිටියා. ඉතින් මම ඒ වෙලාවේ නර්තන අංගයට සූදානම් වෙලා හිටියේ. සංවිධානයක මණ්ඩලයවත් දැනගෙන සිටියේ නැහැ ජනප්‍රිය නළුවා සම්මානය කාටද කියන වග. මගේ හිතේ පුංචි බලාපොරොත්තුවක් තිබුණා මට ජනප්‍රිය සම්මානය ලැබෙයිදෝ කියලා. එතන හිටපු අය කිව්වා සම්මානය ලැබුණොත් නර්තන අංගය සඳහා ඇඳපු ඇඳුම පිටින්ම සම්මානය ගන්න යන්න කියලා. ඒත් මට අවශ්‍ය වුණේ උත්සවයට පැමිණි ඇඳුමින් සම්මානය ගන්න. මම නර්තනය ඉවර වෙලා ඉක්මණින් ඇඳුම් මාරුකර ගත්තා. ඒ එක්කම තමයි ජනප්‍රිය නළුවාගේ නම නිවේදනය කළේ. මම ඉක්මණින් ඇඳුම් මාරු කළේ සම්මානය හිමි වුණොත් ඡායාරූප වලට ලස්සන නිසා. ඒවා මගේ ජීවිතයට වටින නිසා.
සම්මානය මගේ අතට ලැබෙන විට මට කියාගන්න බැරි සතුටක් දැනුණා. සම්මානයේ බර සේම හැඟීම් වලින් මගේ හිත බර වුණා. ඒ හැඟීම් ඒ වෙලාවේම වචන වලට හරවා ගන්න හැකි වුණා නම් කියන සිතුවිල්ල මගේ හිතට ආවා. ඒත් උත්සවයේ කාල වේලාව ඊට හරස් වුණා. සම්මානය රැගෙන වේදිකාවෙන් බැස යද්දිත් මට නැවතත් සිතුණේ වචනයක් හරි කියා ගන්න පුළුවන් වුණා නම් කියලා.
සම්මානය නිසා ලැබුණ ප්‍රතිචාර ගැන නම් හිතා ගන්න බැහැ. පහුවෙනිදා මම ඔෆිස් යනවිට සම්මානය අරගෙන ගියා. එයාල මට ලොකු පිළිගැනීමක් සූදානම් කරල තිබුණා. කේක් කපලා ශැම්පේන් බෝතලයක් කඩලා හැමෝම මා එක්ක සතුට සැමරුවා. ඒ වෙනුවෙන්ම ලොකු meeting එකක් සංවිධානය කරලා තිබුණා. ඒ වගේම තමයි අපේ ගෙදර කට්ටියම මට නොකියා මාතලේ ඉඳන් කොළඹ ආවා. එයාල මම වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කරල තිබුණා. ඒ හැමදේම සූදානම් කරල තිබුණේ මට නොකියා. මගේ පවුලේ උදවිය මාව පුදුම කළා. මම තාම ගෙදර ගියේ නැහැ. මම Mr. Sri Lanka වෙලා ගෙදර ගිය වෙලාවේ මාව පිළිගන්න රථ පෙළ පාලියක් පවා සූදානම් කරල තිබුණා. ඊට වඩා ආදරයක් අද තියෙන බව මට හැඟෙනවා.
මම සිනමාවට ආවේ සිනමා පසුබිමකින් නෙවෙයි. මගේ පවුලේ කිසි කෙනෙක් සිනමාවට සම්බන්ධ නැහැ. මේ වෙලාවේ ක්ලැරන්ස් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන තේජා ඉද්දමල්ගොඩ අයියවත් රුවන් කෝස්තා අයියවත් ආදරෙන් මතක් කරනවා. රුවන් අයියයි මාව තේජා අයියාට හඳුන්වා දුන්නේ. රුවන් අයියා තමයි මාව මුලින්ම දකින්නෙත්. මට තාම හිතාගන්න බැහැ තේජා අයියා අපි අතර නැහැ කියලා. කොහේ හරි ඉදන් අපිට ආශීර්වාද කරනවා ඇති. මම සිනමාවේ ඉදිරියට යන්නේ ඒ ආශීර්වාදයත් සමඟයි.
ක්ලැරන්ස් චිත්‍රපටය සම්මාන උලෙළෙන් ඉවත් කරගත් බව දැන ගත් මොහොතේ හිතට ලොකු වේදනාවක් ඇතිවුණා. අපි හැමෝටම වුණේ අසාධාරණක්. මේ වෙලවේ ක්ලැරන්ස් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන තුසිත විජේසේන මහතාවත් මතක් කරන්නම අවශ්‍යයි. ඔහුගේ සහයෝගය නිසා ක්ලැරන්ස් චිත්‍රපටය සුන්දර නිර්මාණයක් බවට පත්වුණා. චිත්‍රපටය සම්මාන උලෙළෙ නැතිවීම සම්බන්ධයෙන් ඇති වූ දුක, වේදනාව තවමත් හිතේ තියෙනවා. මගේ නම ජනප්‍රිය නළුවා විදිහට නිර්දේශ වුණාට , එම නිර්මාණයේ සිටි තව බොහෝ පිරිසක් සම්මාන වලට නිර්දේශ වන්නට ඉඩ තිබුණා. වටිනා අවස්ථාවක් කණ්ඩායමේ හැමෝටම නොලැබී ගියා. ඉතින් මේ සම්මානය පිටුපස ඒ අයගෙත් දායකත්වය, මහන්සිය තියෙනවා. කිසියම් ප්‍රශ්නයක් නිසා වන්නට ඇති ක්ලැරන්ස් චිත්‍රපටය උලෙළෙන් ඉවත් කරගත්තේ. ඒ ගැන කතා කරන්න අපට බැහැ. මම නැවතත් කියන්නේ ඒ සිදුවීම මට දරාගන්න අමාරුයි. ඒ වගේම දුකයි. එහෙත් මම රඟපාපු Hello from the other side චිත්‍රපටය උලෙළට ඇතුළත් වී තිබීම නිසා මට උලෙළට එන්න හැකිවුණා. මේ වේලාවේ එහි අධ්‍යක්ෂවරිය වන නිරෝෂා කිරිවන්දෙණිය අක්කවත් ආදරෙන් මතක් කරනවා.
මේ වනවිට මම ජනප්‍රිය නළුවා. ඒ කෙසේ වෙතත් හොඳ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයාට ළංවෙන්න තමයි මගේ බලාපොරොත්තුව. ජනප්‍රිය වෙලා ජනතාව අතරට වඩා හොඳ චරිතයකින් ජනතාව අතරට යාමට කැමතියි. මිනිස්සු ජීවත් වෙන්නේ පීඩනයකින්. එවැනි වාතාවරණයකදී ඔවුන්ගේ මනස සුවපත් කරන්න හැකි නිර්මාණයකට මට දායක වෙන්න ලැබීම සතුටක්. මට ලැබෙන හැම නිර්මාණයක්ම මම භාරගන්න කැමති නැහැ. මම රඟපෑ හොඳ චරිත ඉදිරියේදී දැකගන්න පුළුවන් වෙයි. හැම නිර්මාණයකම ප්‍රධාන නළුවා මා විය යුතුයි කියන තැන මම නැහැ. සම්මාන බලාපොරොත්තුවෙන් මම රඟපාන්නෙත් නැහැ. නිර්මාණය වෙනුවෙන් මගේ දායකත්වය කොතෙක් දුරට දියහැකිද ඒ වෙනුවෙන් මම උපරිම කැප වෙනවා.
ඉදිරියේදී තිරගත වීමට නියමිත රැජිනියෙ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මට ලැබුණා. ඒ චරිතය විජය කුමාරතුංගයන්ගේ චරිතයම කියා කියන්න බැහැ. ඒ චරිතයට සමාන චරිතයක් කියා කියන්න පුළුවන්. එය කුමන ආකාරයකට ප්‍රේක්ෂකයා වැලඳ ගන්නවාද කියන දේ ඔවුන්ට භාරයි. රැජිනියේ චිත්‍රපටය ලොකු මත භේදයකට තුඩු දීලා තිබුණා. සමාජ මාධ්‍යය ඔස්සේ වර්තමානයේ සමාජ මාධ්‍ය තීර්ණාත්මක සාධකයක් වෙලා තියෙනවා. ලංකාවේ මම ඒ පරිශීලකයන්ට කියන්න කැමතියි සෑම කාරණයක්ම සම සිතින් භාර ගන්න කියලා. කිසිම දෙයකට ද්වේශ සහගතව පහර ගැසීමෙන් වැළකිය යුතුයි. එසේ වුණොත් පෞද්ගලක ජීවිත වලටත් එය බලපානවා. අතීතයේ එසේ වූයෙ නැහැ. සෑම දෙයක්ම සිදුවුණේ හරිම ගෞරවාන්විතව. හරි ලස්සනට මිනිස්සු ඒ දේවල් භාර ගත්තා. ඒත් අද වනවිට ඇඳුම් ගැලෙව්වා වගේ සමාජ මාධ්‍ය ඔස්සේ සෑම දෙයක්ම විවෘතව ඉදිරිපත් කරනවා. ඒ සමහර දේවල් ගැන කළකිරෙනවා. රැජිනියේ චිත්‍රපටයේ රූගත කිරීම් සියල්ල මේ වනවිට අවසන් වෙලා තියෙන්නේ.
අපි චරිත කළාට ඒ ගැන හැදෑරීමක් අවශ්‍යයි. එසේ හැදෑරීමක් තිබුණොත් තමයි ඕනෑම ශානරයකට අයත් චරිත කරන්න හැකියාව ලැබෙන්නේ. අද ඉන්න ප්‍රේක්ෂකයා හරිම බුද්ධිමත්. ඔවුන් චිත්‍රපටයෙන් සහ රංගන ශිල්පීන්ගෙන් හරවත් , ගුණාත්මක දෙයක් බලාපොරොත්තු වෙනවා. නිර්මාණයක් සාර්ථක වෙන්න නම් අධ්‍යක්ෂවරයාගේ සිට හැම කෙනෙක්ගේම සහය අවශ්‍ය වෙනවා. පුංචි තිරයේ වගේ නෙවෙයි සිනමා නිර්මාණයක් කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. ඒ නිසා සෑම දෙයකම හැදෑරීමක් තිබිය යුතුයි. රඟපෑ පමණින් තරුවක් වෙන්නේ නැහැ. ඒ සඳහා හැදෑරීමක් අවශ්‍යයි.
වත්මන් සිනමාවේ හොඳ පිබිදීමක් තියෙනවා. දක්ෂ නළුනිළි පිරිසක් ඉන්නවා. පරණ රංගන ශිල්පීන්ටත් අවස්ථාව ලැබී තියෙනවා නැවතත් සිනමා නිර්මාණ වලින් ඔවුන්ගේ දස්කම් පෙන්වන්න. අද වනවිට චිත්‍රපට නිතර එළිදැක්වෙනවා. සිනමාවේ රිද්මය පවත්වා ගෙන යන්න එසේ කරනවා විය හැකියි. අධ්‍යක්ෂවරයාටත් , රංගන ශිල්පියාටත් විරාමයක් අවශ්‍යයි. එසේ වූ විට තමයි ගුණාත්මක , හරවත් නිර්මාණ බිහිකළ හැකි වෙන්නේ. අපේ සිනමාව අන්තර් ජාතික මට්ටමට යන්න නම් නිතර හරවත් නිර්මාණ බිහිකළ යුතුයි.
සිනමාව ගැන බොහෝ දේ කතාකළ අතරේ නැවතත් සරසවිය සිනමා සම්මාන උලෙළ පැත්තට හැරෙන්න මම කැමතියි. පළමු වතාවට සරසවිය සම්මාන උලෙළ නර්තන අංගයකටත් මාව තෝරාගෙන තිබුණා. ඒ ගැනත් සතුටුයි. මම කොන්දේ අමාරුවකට ප්‍රතිකාර කරන ගමන් ඉන්නේ. ඒත් ඒ ලැබුණ අවස්ථාව මඟ හරින්න බැරි නිසා හරිම කැමැත්තෙන් ඒ සඳහා ඉදිරිපත් වුණා. මාත් එක්ක නර්තනයේ යෙදුණේ නෙත්මි රොෂෙල්. ඇයගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම නර්තන අධ්‍යක්ෂණය කළ කවිඳු මධුෂාන් සොහොයුරාගෙනුත් ලැබුණ සහය අති මහත්. ඉතා කෙටි කාලයකින් ඔහු අපිව පුහුණු කළා. ඒ වගේම හොඳම නර්තන අධ්‍යක්ෂවරයා ලෙස සරසවිය සම්මානය දිනා ගන්නත් ඔහුට හැකිවුණා. මමත් ඒ ගැන සතුටු වෙනවා. ඔහුගේ වෘත්තියත් නර්තනයයි. මමත් රංගනයේ යෙදෙන්නේ රැකියාවක් කරන ගමන්. මම ඉගෙන ගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න අවශ්‍යයි. කලාවෙන් පමණක් ජීවත් වෙන්න බැහැ. අපේ රට උවදුරු කිහිපයකට මුහුණ දුන්නා. ඒ අවස්ථාවේ කලාකරුවන් අසරණ වුණා. ඒ නිසා කලාවෙන් ජීවත්වීම අවිනිශ්චිතයි. මේ වන විට මගේ රැකියා ආයතනයේ සන්නාම තානාපති විදිහටත් ගිවිසුම් ගතවුණා. මගේ රැකියා ආයතනයෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා රංගනයත් , රැකියාවත් සමබරව කරගෙන යනවා.
මම රඟපාපු මේඝ වර්ෂා , රැජිනියේ චිත්‍රපට ඉදිරියේ දී තිරගත වීමට නියමිතයි. මේ හැම කටයුත්තක් අතරේදීම සරසවිය ජනප්‍රිය නළුවා කියන සම්මානය ලැබීම මගේ සිනමා ජීවිතයේ සන්ධිස්ථානයක්. චූටි කාලේ අපිව ළං කරගෙනයි අම්මා , තාත්තා සම්මාන උලෙළ නැරඹුවේ. සරසවිය සිනමා සම්මාන උලෙළ තමයි ලංකාවේ තියෙන ඉහළ සම්මාන උලෙළ. සිනමා කර්මාන්තය රැක ගැනීමට සරසවිය පුවත්පත රැකුලක් වෙලා තියෙනවා. ඒ නිසා මම සරසවියට කවදත් ආදරෙයි. සරසවිය සම්මානයක් ඇතැතිව සිටින මේ වෙලාවේ මට සහයෝගය දුන් මගේ මව්පියන්ට, සහෝදරයන්ට, මගේ රසික රසිකාවයන්ට, රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන් ඇතුළු සියලුම දෙනාට, විදෙස් රටවල සිට මට සුබ පතන්නන්ට මම මගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා.
ඉදිරියේදී තවත් නිර්මාණවල යෙදෙමින් සිනමාව වෙනුවෙන් මගේ හැකියාව කැප කිරීමට මම සූදානම්.