මීට කලින් මම ෆිල්ම්ස් දෙකකට සහභාගි වෙලා තියෙනව. නමුත් ලීඩින් රෝල් එකක් විදිහට මම සම්බන්ධ වෙන්නෙ ‘මං හොයන්නෙ ප්‍රේමයක්’ ෆිල්ම් එකට. මේ නිර්මාණයේදි තමයි වෙනදාට වඩා වැඩි ස්ක්‍රීන් ටයිම් එකක මට මාව දැකගන්න ලැබෙන්නෙ. ඒ වගේම චරිතය තුළ ලොකු පරාසයක දේවල් මට කරන්න ලැබුණා. පටන්ගැන්මෙදි තිබුණ චරිතය නෙමෙයි අවසානයේදි තියෙන්නෙ. ඒ ගැන ගොඩක් සතුටුයි. මාධ්‍ය දර්ශනය දවසෙ ඇවිත් හිටපු ප්‍රවීණ, නවක ශිල්පීන් ගොඩක් දෙනකුගෙන් මට ඉතාමත් හොඳ කමෙන්ට්ස් ලැබුණා. ඉතිං ඒ දේවල් එක්ක මම හිතනව හැකි උපරිමයෙන් මම චරිතයට සාධාරණයක් කරල තියෙනව කියල. ඇත්තටම එදා මගේ කලා ජීවිතයේ ලස්සන දවසක්.
පූජනී භාග්‍යාට ලැබුණ භාග්‍ය, ‘මං හොයන්නෙ ප්‍රේමයක්’. වයස අවුරුදු දොළහෙදි ඇය ‘දරුවනේ’ චිත්‍රපටයට සෙසු චරිතයකින් සම්බන්ධ වෙනව. ඉන්පස්සෙ 2018 වසරේදි අවුරුදු කුමරිය ලෙස කිරුළු පළඳින පූජනී ගුත්තිල චිත්‍රපටයේ මල්මදිරා චරිතයෙන් ප්‍රේක්‍ෂකයන්ට දැකගන්න ලැබෙනව. විවාහයෙන් පස්සෙ ටෙලි නාට්‍යයෙන් ඈත්වෙන ඇය 2026 වසරේදී ‘මං හොයන්නෙ ප්‍රේමයක්’ චිත්‍රපටයෙන් නැවතත් ප්‍රේක්‍ෂකයන් හමුවට එනවා.
මගේ සැමියා ගයාන් මුල්ම වතාවට තමයි බිග් ස්ක්‍රීන් එකක මාව දකින්නෙ. ඇත්තටම මේ වෙලාවෙ ආදරෙන් ඔහුව මතක් කරන්න ඕන. මොකද ගයාන් තමයි හැම දේකදිම මාව මෝටිවේට් කරන්නෙ. කාලයත් තිස්සෙ අතහැරල හිටපු ක්‍ෂේත්‍රයට නැවත යන්න කියල මාව දිරිගන්වන්නෙ ඔහු. ෆිල්ම් එක බලල ගයාන් කිව්වෙ ෆ්‍රේම් එකට ලස්සනයි, මං බලාපොරොත්තු වුණාට වඩා ලොකු- දෙයක් ඔයා කරල තියෙනව කියල. මේ අවස්ථාවෙදි මටත් වඩා සතුටු වුණේ එයා.
‘මං හොයන්නෙ ප්‍රේමයක්’ සිනමා නිර්මාණයේදී පූජනීට ලැබෙන චරිතයත් පූජනී. තමන්ගෙ නමින්ම චරිතයක් ලැබීම රංගන ශිල්පියකුට ලැබෙන විරල අවස්ථාවක්.
මේ කතාව ලස්සනට ලියන්නෙ අනෝමා අක්කා. ඇය මුණගැසුණ වෙලාවකදි මම ඇහුවෙ, අක්කේ ඔයා මාවම හිතේ තියාගෙනද මේ චරිතය ලියන්නෙ කියල. නමුත් ඇත්ත කතාව මට හිතුන දේ නෙමෙයි. ඇයගේ මනසට ආපු අදහසක් එක්ක තමයි මගේ නමින් මේ චරිතය ලියල තියෙන්නෙ.
මේ වෙලාවෙ මම ඇත්තටම දෙයක් කියන්නම්… මේ අවස්ථාව මගේ හිතේ තිබුණ පුංචි හීනයක්. ඒ තමයි චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක පූජනී නමින් චරිතයක් කරන එක. අවුරුදු ගණනකට පස්සෙ මේ වගේ දැවැන්ත නිර්මාණයක මගේ නමින් මටම ඒ චරිතය රඟපාන්න ලැබෙනව. ඒක මට හිතාගන්න බැරි අවස්ථාවක්. ඒ අවස්ථාව මට ලබාදෙන්නෙ තිළිණ බොරලැස්ස.
හීනයක් වුණත් දවසක සැබෑවක් වෙන්න පුළුවන්. පූජනීට පූජනීව මුණගැහෙන්නෙ ඒ විදිහට.
රූගතකිරීම්වලටත් විශාල දින ගණනක් ගත වුණේ නැහැ. සීමිත දින ගණනක වුණත් අපි වැඩි කලබලයක් නැතිව බොහොම සාමකාමීව උපරිම කැපවීමෙන් අපි හැමෝම වැඩ කළා. සමහර දවස්වලට රෑ එලිවනතුරු පාරවල්වල ෂූට් කරපු අවස්ථා තිබුණා. නමුත් අපිට වෙහෙසක් දැණුනෙ නැහැ. තිළිණ අයියත් නිවුණ නිහතමානී මනුස්සයෙක්. ඔහුත් සමග වැඩකරන්න ලැබුණ අත්දැකීම හරිම සුන්දරයි.
කාලෙකින් රංගනයට එකතුවෙන පූජනී ‘මං හොයන්නෙ ප්‍රේමයක්’ සමගින් සුන්දර අත්දැකීම් සමුදායක් ලබනව. ඉතිං නැවතත් ඇයට රංගනයෙන් ඈත් වෙන්න හිතේවිද.
2024 අවුරුද්දෙ මම රංගනයෙන් දායක වුණ ‘සංවරය’ ටෙලි නාට්‍ය දැන් අයි.ටී.එන්. නාළිකාවේ විකාශය වෙනව. මේ දවස්වල සිදුකෙරෙන්නෙ එහි අවසන් රූගතකිරීම්. ඉන් පස්සෙ මම කිසිම නිර්මාණයකට සහභාගි වුණේ නැහැ. අවුරුදු ගණනාවක් පුරාවට ඇදෙන මෙගා නාට්‍යවලට ආරාධනා ලැබුණත් මම භාරගත්තෙ නැත්තෙ පුද්ගලික ජීවිතයේ වැඩකටයුතුත් එක්ක කාලය වෙන්කරගන්න අපහසු නිසා.
මේ චිත්‍රපටය තිරගතවීමත් එක්ක මට ලැබුණ ප්‍රතිචාර සහ ආරාධනා නිසා චිත්‍රපට ක්‍ෂේත්‍රයෙන්ම ඉදිරියට යන්න තිබුණා නම් කියන ආසාව මට ඇති වුණා. ඒ නිසා ඉදිරියේදී සිනමාවට ආරාධනා ලැබුණොත් බාර නොගෙන ඉන්නෙ නැහැ. නමුත් දොඩංගොඩ බදාගත්තා වගේ හැමදේම බදාගන්න යන්නෙ නැහැ.
නිර්මාණයකදි ලැබෙන චරිතයත්, සැබෑ ජීවිතයේ චරිතයත් සමාන වන අවස්ථා රංගන ශිල්පියකුට තියෙන්න පුළුවන්.
වැරදි පාරක මිනිස්සු යනවාට අකමැති, ඔවුන්ව වැරදි පාරෙන් හරි පාරට ගන්න කැමති, වැරැද්ද වැරදි විදිහට වගේම හරි දේ හරි විදිහටත් දකින, අසාධාරණය වෙනුවෙන් හැම තැනකදිම පෙනී සිටින, කතාකරන, තමන්ගේ ආත්ම ගරුත්වය රැකගන්න චරිතයක් තමයි රියල් ජූජනී කියන්නෙ. චිත්‍රපටයේ මුල් අවධියත් ඒ සමානව ගතවෙනව කියල මට හිතෙනව. ඒ වගේම කාලෙකට පස්සෙ එකතු වුණ මේ අලුත් නිර්මාණයත් එක්ක කලා ජීවිතය තුළ මම රීස්ටාර්ට් වුණා වගේ හැඟීමක් මට දැනෙනව.
මහේෂ් එදිරිසිංහඡායාරූප – උදිත උමේෂ්