අයි නෝ ද ලෝ යැයි කියූ සැණින් අපේ මතකය දශකය කීපයක් ඈතට රැගෙන යන ඔහු සැබැවින්ම රංගන ප්‍රතිභාව දෝතදරා ජන්මලාභය ලද්දෙකි. තමා රඟපාන කුමන චරිතයක් හරහා වුවද ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ගැඹුරුම තැනට කතා කරන ඔහු නමින් හේමසිරි ලියනගේ.
දිල්ෂාර ජයමාන්න අධ්‍යක්ෂණය කරනු ලබන රසිත ජිනසේන නිෂ්පාදනය කළ ක්‍රිකට් සාදු චිත්‍රපටයේ ලොකු සාදුගේ චරිතයෙන් කාලෙකට පස්සේ අපිට හේමසිරි ලියනගේව දැකගත හැකිය. ඉතිං අපිත් කාලෙකට පස්සේ දකින්න ලැබුණ මේ දැවැන්තයා සමග ක්‍රිකට් සාදු වගේම ඔහුගේ රංගන ජීවිතයේ විවිධ ඉසව් ගැන පුංචි කතාබහක නියැළුණා.
මේ දවස්වල මාසයක් තිස්සේ මම චිත්‍රපටයක වැඩ. ක්‍රිකට් සාදු චිත්‍රපටයේ ප්‍රතිචාර ගැන කියනවා නම් ගොඩාක් දෙනෙක් හිතුවේ මේ වයසට මේ වගේ චරිතයක් රඟපාන්න පුළුවන්කමක් තියේවිද කියලා නොදැනයි හිටියේ කියලා. හැබැයි ඒ චරිතයට හොඳට කරලා තියෙනවා කියලා කිව්වා. ඇත්තටම දැන් මගේ වයසත් එක්ක මම දැන් චරිත තෝරාබේරාගෙන තමයි භාරගන්න. ලොකු වැඩ කරන්න බැහැ. සමහරුන්ගෙන් නම් ගොඩාක් හොඳ ප්‍රතිචාර මට ලැබුණා. ඔන්න ඔහොම තමයි ක්‍රිකට් සාදුට ලැබුණ ප්‍රතිචාර ගැන ඔහු අපිට කිව්ව.
ක්‍රිකට් සාදුවල වැඩේට මට සම්බන්ධවෙන්න ලැබුණේ මෙන්න මේ ආකාරයටය.
පිටපත අතට ලැබුණාට පසුව කියවාගෙන යනකොට මට හිතුණා මේක ලස්සන වැඩක් කියලා. ඒ අනුව තමයි මම මේ වැඩේ භාරගත්තේ. මම මේ චිත්‍රපටයේ යම් ප්‍රමාණයක තමයි වැඩකළේ. සම්පූර්ණ චිත්‍රපටය බැලුවාට පසුව මට හිතුණේ ඒක හොඳ චිත්‍රපටයක් කියලයි. ඒක මම විතරක් නෙමෙයි පොඩි දරුවා දමිතු එහෙමත් හොඳට රඟපාලා තියෙනවා. ඒ වගේම ප්‍රියන්ත සිරිකුමාර” උදයන්ති කුලතුංග” ගයනා සුදර්ශනී” චින්තක කුලතුංග” සම්පත් ජයවීර” දිනක්ෂි ප්‍රියසාද් වගේම සනත් ගුණතිලක යන සියලුම දෙනා හොඳට තමන්ගේ වැඩේ කරලා තියෙනවා.
ඇත්තටම බොහොම සන්තෝෂයෙන් සතුටෙන් කරපු චිත්‍රපටයක්. අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා වගේම සියලුම කාර්ය මණ්ඩලයෙන් ලොකු සහයෝගයක් ලැබුණා. දිල්ෂාර නමැති නවක අධ්‍යක්ෂවරයා මම මුලදී එච්චර අඳුරගෙන තිබුණේ නැහැ. මම වැඩකට යන්නේ පිටපත බලලා තමයි. වැඩේ කරගෙන යද්දී මට අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙනුත් යම්කිසි පැහැදීමක් ඇතිවුණා. අධ්‍යක්ෂවරයා හොඳ වුණොත් වැඩකරන සෙසු අයත් හොඳට වැඩකරනවා වගේම චිත්‍රපටයත් හොඳ වෙනවානේ. මමත් ඇත්තටම දිල්ෂාර කියන අධ්‍යක්ෂවරයා සමග කැමැත්තෙන් වැඩකළා. හොඳ දැක්මක් තියාගෙන වැඩකරපු දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. දිල්ෂාර ගැන වගේම චිත්‍රපටය ගැන ඔහුට තියෙන්නේ ඒ වගේ අදහසක්.
මේ දවස්වල කරන වැඩ ගැනත් අපි පුංචි කතාබහක නිරතවුණා.
මම දැන් ඇත්තටම ලොකු විදිහට වැඩ කරන්නේ නැහැ. ක්‍රිකට් සාදු එකේ වැඩකළේ හුඟාක් කාලෙකට පස්සේ. පසුගිය කාලයේ නම් යම් යම් ටෙලිනාට්‍යවලත් වැඩකළා. මේ දවස්වල නම් ඉලංගෝ රාම් කියන අධ්‍යක්ෂවරයාගේ අලුත්ම චිත්‍රපටයක් වන ප්ලේන්ටි කියන චිත්‍රපටයේ රූගත කිරීම්වලට තමයි සම්බන්ධවෙලා ඉන්නේ. ඉලංගෝ කියන්නෙත් අමුතු විදිහට චිත්‍රපට දකින හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඔහුත් එක්ක පළමුවැනි වතාවට මාසයක් තිස්සේ වැඩ. තවත් දවස් කිහිපයක් ඉතුරුවෙලා තියෙනවා රූගත කිරීම්වලට. ඉතිං අපි හොඳින් වැඩකරගෙන යනවා. ඔහු මට ආරාධනා කළාට පස්සේ කිව්වේ මගේ වයසත් එක්ක දැන් මට ලොකූ වැඩ කරන්න බැහැ කියලයි. පසුව ඔහු කිව්වා නෑ” නෑ” එහෙම නෙමෙයි හොඳ චරිතයක් තියෙනවා කියලා කිව්වා. ඇත්තටම මමත් සන්තෝසයෙන් කරපු වැඩක්.
ඇයි වැඩිපුර වැඩකරන්නේ නැත්තේ කියලා ඇහැව්වාම ඒකටත් ඔහුට හරි අපූරු උත්තරයක් තිබුණා.
ඇත්තටම දැන් මම වැඩි වැඩියෙන් වැඩවලට යන්නේ නැහැ. අනිත් එක අපිට දැන් එහෙම ආරාධනා ලැබෙන්නෙත් නැහැ. දැන් අලුත් පරපුර ලියන ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තමයි තියෙන්නේ. අලුත් පරපුර කරන නිර්මාණ බොහෝ වෙලාවට නරඹනවා. තරුණ කාලේ වගේ නිතර නිතර ගිහිල්ලා චිත්‍රපට බලන්නේ නැහැ. තෝරාබේරාගත්තු චිත්‍රපට ළමයි එක්ක තමයි බලන්න යන්නේ.
කලා ක්‍ෂේත්‍රය ගැනත් අද වෙනකොට ඔහුට තියෙන්නේ මේ වගේ අදහසක්.
දැන් අලුත් පරපුර අලුත් විදිහේ අලුත් නිර්මාණ එක්ක එනවා. අනික දැන් අලුත් චිත්‍රපට හුඟාක් නිෂ්පාදනය වෙනවා. ටික කාලයක් නැවතිලයි තිබුණේ. ටෙලිනාට්‍ය නම් ඕනෑතරම් නිෂ්පාදනය වෙනවා. ඒවායින් හුඟාක්ම වාණිජ පැත්තට බර ඒවාත් තියෙනවා. තැනින් තැන හොඳ නිර්මාණත් බිහිවෙනවා. හැමදේම ඒකාකාරී විදිහට වෙන්නේ නැහැනේ. ටෙලිනාට්‍ය චිත්‍රපට ක්‍ෂේත්‍රයට දියුණුවෙන වාතාවරණයක් දැන් රටේ තියෙනවා. ඉතිං අපි බලන දෘෂ්ටිකෝණයෙන් අපි තෝරාගත්තු ඒවා අපි හොඳයි කියනවා. අපි තෝරා නොගත්ත ඒවා නොබලාම අයින් කරනවා. ඔයවගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඕනෑම රටක එහෙමයි කියලා හිතෙනවා.
රංගන ජීවිතය ගැන ආපසු හැරී බැලුවහම හේමසිරි ලියනගේට තියෙන්නේ මේ වගේ උත්තරයක්.
මම ඇත්තටම තෘප්තිමත්. මට වැඩකරන්න පුළුවන් කාලේ මම හුඟාක් වැඩකළා. මගේ දරුවොත් විවිධ ක්‍ෂේත්‍රවල හොඳින් වැඩකරගෙන යනවා. හරිම සන්තෝසයෙන් ජීවිතය ගෙවනවා. කිසිම කලකිරීමක් නැහැ. මම වැඩකළා කියලා විශ්වාසයක් තියෙනවා. ඒවායේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒත් මමත් කාලයක් තිස්සේ වැඩකළානේ. ඉස්සරහටත් මට තව වැඩ කිහිපයක් කරන්නත් තියෙනවා.
අපේ මේ කතාබහේදී හේමසිරිගේ ජීවන ගමන් මග ගැනත් කියැවුණා.
මම හොරණ විද්‍යාරත්නයෙන් තමයි උසස් පෙළ කළේ. කැලණිය විද්‍යාලංකාරයට ගියේ උපාධිය හදාරන්න. 1967 දී විද්‍යාලංකාරයෙන් උපාධිය හදාරලා පිටවෙන්නේ ආපහු හොරණ විද්‍යාරත්නයේ ගුරුවරයෙක් විදිහට.
එතැනදී අද කාලේ ඉන්න දැවැන්ත කලාකරුවන් රැසකගේ ගුරුවරයා බවට ඔහු පත්වෙනවා.
එහිදී ඇත්තටම මට හොරණ විද්‍යාරත්නයේ පත්වීම ලැබුණේ නාට්‍යකරණයත් සමගයි. ඉස්කෝලේ උදේ වරුවේ ඉගැන්නුවේ ආර්ථික විද්‍යාව” තර්ක ශාස්ත්‍රය විෂයන්. හවස් වරුවේ නාට්‍ය කළා. එහිදී තමයි මට හම්බවුණේ ධර්මසිරි බණ්ඩාරනායක” ලාල් කුලරත්න” ඩග්ලස් සිරිවර්ධන. එතකොට ධර්මසිරි හිටියේ උසස් පෙළ පන්තියේ. මම එයාට තර්ක ශාස්ත්‍රය ඉගැන්නුවා. ඒ එක්කම මගේ නාට්‍යවලට සම්බන්ධ වුණා.
මම පාසලේ උගන්වන කාලේ තමයි ‘සුදුඇතා. නාට්‍යය නිර්මාණය කරන්නේ. පාසල් නාට්‍ය තරඟයට සුදු ඇතා සහ ජනත් මනුගන කියලා නාට්‍ය දෙකක් කළා. මම ඒකෙන් කතා කළේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන. ළමයින්ට ඔරොත්තු දෙන මාතෘකාවක් නෙමෙයි කියලා සමහරු ඒක විවේචනය කළා. ආණ්ඩුවේ අයයි ඇමැතිවරුයි පාසල්වල ගුරුවරුයි මේ නාට්‍ය පෙන්වන්න කැමැති වුණේ නැහැ. ඊට පස්සේ මාධ්‍යයත් මට උදව් කළේ නැහැ. ලොකු ආන්දෝලනයක්. හැබැයි ඉංග්‍රීසි පත්තරයක විතරක් සුදුඇතාට හොඳ කියලා කතුවැකි දෙකක් ලියලා තිබුණා. මම ඒ නාට්‍යය ලංකාවේ දර්ශනවාර සියයක් පෙන්නුවා.
ජනගන මන කියන නාට්‍ය ගැන තිස්ස කාරියවසම් විශ්වවිද්‍යාල දරුවන් ඉස්සරහ හොඳ පිටපතක් ඇවිත් කියලත් කතා කළා. හැබැයි නිෂ්පාදනයක් විදිහට ඒකේ එන්ටර්ටේනින් නැහැ. ඒ නිසා ඒක ටිකක් යටගියා.
පසුකාලයක ඔහු නරියා සහ කේජු නිර්මාණය කරනවා. ඒකටත් වුණේ දේශපාලන කතාන්දරයක්නේ. පිටපත මම දාපු ගමන්ම සීඅයිඩී එකෙන් මා ගැන හොයන්න හොරණට එව්වා. පසුව සී. අයි. ඩී. නිලධාරියා මුළු හොරණම ඇවිදලා මා ගැන විස්තර හොයලා තිබුණා. 1976 දී හොඳම නිෂ්පාදනයට මට සම්මාන පවා ලැබුණා. ඒකත් පෙන්වන්න බැහැ කියලා මට කිව්වහම මම රැඟුම් පාලක මණ්ඩලය සමග ගැටුම් ඇතිකරගත්තා. පස්සේ මට කොහොම හරි ඉඩදුන්නා. ඒ වුණාට පස්වතාවක් හමුදා නිලධාරීන්ට සහ ඒ. එස්. පී.ලාට නාට්‍ය පෙන්නුවා.
මෙවැනි දැවැන්ත වැඩකර කර ඉන්න අතරේ හේමසිරි අසූවේ ජූලි වර්ජනයට හසුවෙලා ගුරු රස්සාවත් නැතිවෙනවා.
ඔය කාලේ මම ඉංගිරිය මහා විද්‍යාලයේ තමයි ඉගැන්නුවේ. ඒකේ ගුරුවරු අසූගාණක් හිටියා. ඒකේ ගුරුවරු විසිගාණක් මාත් එක්ක ස්ට්‍රයික් කරන්න සූදානම් වෙලා හිටියා. අවසාන වශයෙන් මම විතරයි ස්ට්‍රයික් කළේ. අන්තිමේ මගේ රස්සාව නැතිවුණා. ගුරු රස්සාව නැතිවෙලා අවුරුදු හතරහමාරක් හිටියා. ඒ වකවානුව බොහොම අමාරු කාලයක් වුණා. ජූලි වර්ජනය හින්දා නාට්‍ය කෙරුවාව අන්තිමට අතහැරුණා. මොකද එතකොට සෞම්‍ය එහෙම පොඩියි. බිරිඳත් ගුරුවරියක්. එයා වැඩකළේ ලේලුපිටියේ. හොඳ වෙලාවට එයා ස්ට්‍රයික් කළේ නැහැ. අන්තිමේ මම ළමයි බලාගෙන ගෙදරට වෙලා හිටියා.
පස්සේ මම චිත්‍රාගේ ප්‍රේම කතාව කියලා නාට්‍යයක් කළා. ඒකේ පොඩි චරිතයක් සුදත් දේවප්‍රිය කළා. සුදත් මට හඳුන්වල දුන්නේ ධර්මසිරි බණ්ඩාරනායක. හමුදා නිලධාරියෙක් විදිහට තමයි මගේ නාට්‍යයේ රඟපෑවේ. අන්තිමේ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් විදිහට ආවාට පස්සේ තමයි අඹයාළුවෝ පිටපත අරගෙන අපේ ගෙදර ආවා.
මම ඒ වෙලාවේ සුදත්ට කිව්වේ මට ඕවා තේරෙන්නේ නැහැ. අනික මට රඟපාන්න බැහැ. වෙන කාවහරි ගන්න කියලා. පස්සේ සුදත්ගේ වදයට තමයි රඟපෑවේ. මට එතකොට වැඩකිරීමේ ආසාවක් තිබුණේ නැහැ.
අන්තිමට අපි ඇහැව්වා නාට්‍යකරුවෙක් වුණාට රඟපාන්න ආසාවක් නැතිද කියලත්.
කැමැත්තක් නෙමෙයි පොඩි මැලිකමක් තිබුණා මට මේක කරන්න පුළුවන්ද කියලා. මට වේදිකාවේ ඕනෑම දෙයක් ඔට්ටුයි. ටෙලිවිෂන් එක කියන්නේ අලුත් එකක්නේ. ඒ නිසා මට පොඩි ප්‍රශ්නයක් ආවා මට පුළුවන්ද කියලා. අන්තිමේ වැඩේට බැස්සාට පස්සේ මම බොහොම ආසාවෙන් වැඩේ කළා. ඉතිං එදා ඉඳලා අද වෙනකම් රඟපාන වැඩේ කරනවා.